11/09/2021
By Rashika Jayakodi......
වසංගතය නිසා දරුවන් හැදීම අවුරුද්දකට පමා කරන්නැයි විශේෂඥ වෛද්‍යවරයෙකු කළ ඉල්ලීමට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර දිහා විමසිල්ලෙන් බැලුවොත් අපේ රටේ මිනිසුන් දරුවන් හදන විදිහ ගැන ලොකු කතාවක් තේරුම් ගන්න පුළුවන්.
හුඟක් දෙනා ඒ කතාවට ප්‍රතිචාර දක්වන්නේ අවුරුද්දක් යන තුරු ලිංගික සම්බන්ධතා නොපවත්වන්නැයි ඒ වෛද්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි ගානටයි. මට ඒ ගැන ඇත්තට ම විශාල පුදුමයක් නැත්තේ හුඟ දෙනෙකුට ඒ කාරණා දෙක අතර ලොකු පරතරයක් නැති නිසා.
ඇත්තට ම අප දරුවන් හදන්නට හේතුව මොකක්ද? හුඟක් අය දරුවන් හදලා, උස්මහත් කරලා, දරුවන්ගේත් දරුවන් බලලා මැරිලා යන තුරු ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයන්නට මහන්සි වෙන්නේ නැහැ.
ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා දරුවන් හදන්න පෙළඹෙන්නේ ප්‍රධාන කාරණා තුනක් නිසා.
එයින් පළමුවෙනි ම හේතුව තමයි තමන් වටේ ඉන්න අය, දෙමව්පියන්, නෑදෑයින්, යාළුමිත්‍රයන්, පිටස්තරයන් "තාම ළමයි නැද්ද" කියලා අහන ප්‍රශ්නයට සතුටුදායක උත්තරයක් දෙන්න ඕනෙ නිසා.
කසාද බැඳපු දෙන්නෙක් මගුල් ගෙදරක, මළ ගෙදරක, දානේ ගෙදරක, උපන් දින සාදයක ගියත් අහන පළවෙනි ම ප්‍රශ්නය වෙන්නේ ළමයි හදන්නේ නැද්ද කියන එක. ඒ වගේ ම බැඳපු දෙන්නාගේ දෙමව්පියන් ජීවත් වෙලා ඉන්නවා නම් ඔවුන් තමන් මැරෙන්න කලින් මුණුපුරු මිණිපිරියන් ගේ මුහුණු බලන්න ඕනා යැයි කියමින් තමන් ගේ දරුවන් ඉතා අහිංසක ස්වරූපයකින් මානසිකව බ්ලැක්මේල් (blackmail) කරනවා. මෙකී නොකී සියලු ම දේවල් නිසා කසාද බැඳපු දෙදෙනෙකුට ඔවුන් කැමති වුණත් නැතත් ඉක්මනට දරුවන් හදන්න පීඩනයක් ගොඩනැගෙනවා. ඒ පීඩනය විසින් දරුවෙකු හදන තැනට ඔවුන් තල්ලු කරවනවා.
බොහෝ විට මෙලෙස අනුන්ට දරුවන් හදන්නැයි වක්‍රාකාරයෙන් බලපෑම් කරන වියපත් ගැහැනුන් සහ පිරිමින් තමන් ගේ දරුවන් සම්බන්ධයෙන් ප්‍රසන්න අත්දැකීම් ඇති අය නෙවෙයි. හුඟක් වෙලාවට ඔවුන් තමන් ගේ දරුවන් නිසා විවිධාකාරයේ සිත් පීඩාවන්ට මුහුණ දුන් අය. ඒත් ඔවුන් අලුතෙන් විවාපත් වන අයත් තමන් ගිය චක්‍රයේ ම යනවා දකින්න ආසයි. එය හරියට ම ළිඳකට වැටුණු කෙනෙක් ළිං කටට එන හැමෝමත් කෙසේ හෝ තමන් ගේ ළිඳ තුළට ම දමාගන්නට උත්සාහ කරනවා වැනි දෙයක්.
දෙවැනි හේතුව තමයි තමන් වයසට යනකොට බලා කියාගන්න කවුරුත් නැති වෙයි කියන බිය. වයස්ගත වෙනකොට හුදෙකලා වීම පිළිබඳ බිය යමක් කමක් තේරෙන වයසේ සිටින කාට වුණත් දැනෙනවා. විවාපත් වී දරුවන් හැදීම මේ බියට පිළියමක් ලෙස හුඟක් දෙනා වැළැඳගන්න ජනප්‍රිය විසඳුමක්. එතකොට ඔවුන්ට දරුවන් කියන්නේ තමන් ගේ 'රක්ෂණ සැලසුමට' සමාන දෙයක්.
එහෙත් ඔවුන්ට නොතේරෙන කරුණ නම් රක්ෂණ සැලසුම කල්පිරී තමන් ගේ අතට මුදල් ලැබෙනවා වගේ තමන් ගේ දරුවන් ලොකුමහත් වුණාට පසු තමන්ට වුවමනා විදියට ම වැඩ කරන්නේ නැති බවයි. දරුවන්ට ඔවුන්ගේ ම ජීවිත සහ ඔවුන් ගේ ප්‍රමුඛතා තියනවා. තවත් අවුරුදු 20-30කින් මේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. ඒ නිසා "රක්ෂණ සැලසුමක්" විදියට විතරක් හිතුවොත් දරුවන් කියන්නේ ඉතා ම අවිනිශ්චිත රක්ෂණ සැලසුමක්.
තුන්වෙනි හේතුව තමයි legacy project එකක් විදියට, එහෙමත් නැත්නම් මරණයෙන් පස්සේ තමන් ගේ උරුමය ඉදිරියට ගෙනයන්න දරුවන් හදන එක. මේකට විවිධාකාරයේ ලස්සන නම් දෙන්න මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඇත්තට ම මේක පිටුපස තියෙන්නේ තමන් ගේ මරණයෙන් පසුවත් කිසියම් විදියකින් පවතින්න මිනිසුන්ට ඈත අතීතයේ පටන් ම තිබුණු ආශාව. මරණයෙන් පසුවත් පවතින්න හුඟක් ම ආසා කරන්නේ මරණයට වඩාත් ම බය මිනිස්සු. කෙසේ වෙතත්, කෙනෙකුට ඒ ආසාව ඉටු කරගන්න තියෙන සුලබ ම විදියක් තමයි තමන්ගෙන් පසු පවතින දරු පරපුරක් සැදීම. මේක අවිඥානකව අපේ මනසේ තැන්පත් වෙලා තියෙන දෙයක්.
මේ දේවල්වලට අමතරව දරුවන්ට ඇත්තට ම ආස නිසා දරුවන් හදන, තමන් ගේ ගරාවැටෙන විවාහ ජීවිත අලුත්වැඩියා කරගන්න අරමුණෙන් දරුවන් හදන, ඒකාකාරී වෙමින් පවතින ජීවිත අලුත් කරගන්න අරමුණෙන් දරුවන් හදන අයත් අප අවට ඉන්නවා. මේ වගේ තවත් බොහෝ පෞද්ගලික හේතු එක් එක් අය ගේ ජීවිතවල තියෙන්න පුළුවන්.
දරුවන්ට ඇත්තට ම ආසා නිසා දරුවන් හැදීම පැත්තකින් තියමු. ඒක වෙනත් දවසක වෙනම කතා කළ යුතු දෙයක්. ඒත් අනෙක් කුමන හේතුවක් මත දරුවන් හැදුවත් ඒක දරුවන්ට කරන බලවත් අසාධාරණයක්. ඒ අසාධාරණයේ ප්‍රතිඵල කොහොමටත් සමාජය දිහා බැලුවම පෙනෙන්න තියෙනවා. ඒ කොහොම වුණත්, වඩා වැදගත් ම දේ තමයි ඇත්තට ම අලුත් මිනිස් ප්‍රාණියෙකු මේ ලෝකයට ගෙන ආ යුත්තේ ඇයි කියන කාරණය ගැන වඩා ගැඹුරින් සිතන්න පටන් ගැනීම.
දරුවෙකු හදන එක මහපොළොවේ පැළයක් සිටුවීම වැනි ම දෙයක්. පැළය සිටවීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ මිහිතලයට ජීවය ගෙන ඒම මිස අනෙක් කිසිවක් නෙවෙයි. ඒ පැළයේ ගෙඩි හැදෙනවාද, මල් පිපෙනවාද වැනි කිසිවක් අපට අයිති දේවල් නෙවෙයි. පිපෙනවා නම් පිපෙන්නේ මොන මල් ද, ඒ මල්වල පාට කුමක් ද වගේ හැම දෙයක් ම පැළයත් සොබාදහමත් අතර ඇති ගනුදෙනුවක් මිස අපට මැදිහත් විය හැකි දෙයක් නෙවෙයි. අපට කළ හැක්කේ නිසි වෙලාවට වතුර සහ පොහොර යෙදීමත්, යම් ආරක්ෂාවක් පැළයට සැලසීමත් පමණයි. දරුවෙකු හැදීමත් මෙයින් වෙනස් වන්නේ නැහැ.
ඒත් මේ විදියට දරුවන් හදන්න අප අවට ඉන්න හුඟක් අයට අමාරු බව මම දන්නවා.
ඒකට හේතුව තමයි මේ විදියට දරුවෙකුට වැඩෙන්න ඉඩ දෙන්නට දෙමව්පියන්ටත් කිසියම් මට්ටමක මානසික විනයක් අවශ්‍ය වීම - කිසියම් මට්ටමක නිදහස් බවක් අවශ්‍ය වීම. ඒ විනයවත් නිදහසවත් අප අවට සමාජයේ තවමත් පැළ වෙලා නැහැ. ඒ වෙනුවට අප පුරුදු වී ඉන්නේ සිංහබාහු නාට්‍යයේ සිංහයා වගේ දරුවන් ගල් ලෙනක දාලා, දොර වහලා, කන්න බොන්න දීල, ඔවුන්ට ආදරය කරනවයි කියලා හිතාගෙන බයෙන්, සැකෙන් සහ ආතතියෙන් ජීවත් වෙන්න. මෙය ආදරය කරන අයටත්, ලබන අයටත් කරදරයක්.
සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ ආකෘතියට අනුව ආදරය කරන බොහෝ දෙමාපියන්ට අන්තිමේ දී එක එක විදියට මුහුණ පාන්නට සිදුවන්නේ සිංහයා මුහුණ දුන් ඉරණමටමයි. ඇතැම් ඛේදනීය මරණ කායිකයි. ඇතැම් ඒවා මානසිකයි. ඇතැම් නොමරා මැරීම් මේ දෙකට ම වඩා සාහසිකයි.
-
රසික ජයකොඩි
10 - 09 - 2021
ඔබේ වටිනා අදහස් comment කරන්න.