10/01/2026
තරවටු නොකර දරුවෙකු හදන්නේ කොහොමද?
දෙමාපියන් විදිහට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි දරුවාට "විනය" කියන දේ උගන්වන එක. ගොඩක් වෙලාවට අපේ ඉවසීම සීමාව ඉක්මවා ගියහම අපි කරන්නේ දරුවාට සැර කරන එක, බනින එක එහෙමත් නැත්නම් පාරක් ගහන එක. නමුත් ඔබ දන්නවාද? මනෝවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව "දඬුවම" මගින් දරුවෙකුගේ චර්යාව තාවකාලිකව පාලනය කළ හැකි වුවත්, දිගුකාලීනව එයින් දරුවා තවත් මුරණ්ඩු වන බව?
තරවටු නොකර, දරුවාගේ මනසට සමීප වෙලා විනය උගන්වන්න පුළුවන් ක්‍රමවේදයන්.
1. දරුවාගේ හැඟීම මුලින්ම හඳුනාගන්න
දරුවෙක් මුරණ්ඩු වෙන්නේ හෝ අඬන්නේ නිකම්ම නෙමෙයි. ඒ පිටුපස යම් හේතුවක් තියෙනවා (බඩගින්න, නිදිමත, අවධානය ඉල්ලීම හෝ යම් දෙයක් කරගන්න බැරි වීම).
වැරදි ක්‍රමය- "දැන් ඕක නවත්තනවා. ඔය බොරු අඬියාව."
නිවැරදි ක්‍රමය- "පුතා/දූ ඉන්නේ ගොඩක් කේන්තියෙන් කියලා අම්මට තේරෙනවා. ඔයාට ඒ සෙල්ලම් බඩුව ගන්න බැරි වුණ එකට නේද ඔය දුක?" දරුවාට තමන්ව තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කියලා දැනුණම, ඔවුන්ගේ කේන්තිය ඉක්මනින් පහව යනවා.
2. "ධනාත්මක විනය" භාවිතා කරන්න
අපි නිතරම දකින්නේ දරුවා කරන වැරදි විතරයි. දරුවා හොඳ දෙයක් කළාම ඒක අගය කරන්න අපි අමතක කරනවා.
දරුවා තනියම සෙල්ලම් බඩු අස් කළොත්, "මගේ පුතා අද තනියම කාමරේ ලස්සනට අස් කළානේ, අම්මට හරිම සතුටුයි" කියලා අගය කරන්න. එවිට ඒ හොඳ දේ නැවත නැවත කිරීමට දරුවා පෙළඹෙනවා.
3. "නැහැ / එපා" වෙනුවට විකල්ප ලබා දෙන්න
දරුවෙකුට නිතරම "එපා" කියන විට ඔවුන් තුළ කුතුහලය සහ මුරණ්ඩුකම වැඩි වෙනවා.
එපා-"බිත්තියේ අඳින්න එපා!"
විකල්පය-"බිත්තියේ ඇන්දොත් කැත වෙනවානේ, අපි මේ කොළේ ලස්සනට අඳිමුද?"
4. දරුවා සමඟ "සම්බන්ධය" ගොඩනගා ගන්න
විනය ඉගැන්වීමට පෙර දරුවා සමඟ ඇති බැඳීම ශක්තිමත් විය යුතුයි. දවසට අවම වශයෙන් විනාඩි 15ක්වත් දරුවා සමඟ පමණක් කාලය ගත කරන්න (සෙල්ලම් කරන්න, කතා කරන්න). ඔබ සමඟ සමීප බැඳීමක් ඇති දරුවා, ඔබ කියන දේ අහන්න වැඩි කැමැත්තක් දක්වනවා.
5. දඬුවම වෙනුවට "විපාකය" ඉගැන්වීම
දඬුවම කියන්නේ දරුවාට රිදවන එක. විපාකය කියන්නේ ඔහු කළ දේ නිසා සිදුවන ප්‍රතිඵලය අත්විඳින්න දෙන එක.
උදාහරණයක්-දරුවා සෙල්ලම් බඩු පොළොවේ ගහනවා නම්, "පුතා සෙල්ලම් බඩු පොළොවේ ගැහුවොත් ඒවා කැඩෙයි, එතකොට ආයෙ සෙල්ලම් කරන්න බැරි වෙයි. ඒ නිසා අම්මා මේවා ටික වෙලාවකට අරන් තියනවා" කියලා ඒවා ඉවත් කරන්න. මෙය තරවටුවක් නෙමෙයි, වැරැද්දේ ප්‍රතිඵලය ඉගැන්වීමක්.
6. ආදර්ශමත් දෙමාපියන් වන්න
දරුවා ඉගෙන ගන්නේ ඔබ කියන දේට වඩා ඔබ "කරන" දේ දෙස බලාගෙනයි. ඔබ කේන්ති ගියහම කෑගසනවා නම්, දරුවාත් ඉගෙන ගන්නේ කේන්ති ගියහම කෑගසන්නයි. විනය උගන්වන්න කලින් අපි අපේ හැඟීම් පාලනය කරගන්නා ආකාරය දරුවාට පෙන්විය යුතුයි.
දරුවන් කියන්නේ හරියට නොපිපුණු මල් කැකුළු වගෙයි. මලක් බලෙන් විකසිත කරන්න බැහැ වගේම, දරුවෙකුගේ විනයත් බලහත්කාරයෙන් හදන්න බැහැ. අප කළ යුත්තේ ඒ මලට අවශ්‍ය ආදරය, රැකවරණය සහ නිවැරදි මඟ පෙන්වීම නමැති සූර්යාලෝකය ලබා දීමයි. එවිට ඔවුන් නිතැතින්ම ගුණ සුවඳ විහිදුවන යහපත් දරුවන් ලෙස මෙලොවට විකසිත වනු ඇත.
ඔබේ අදහස කුමක්ද? ඔබත් දරුවාට දඬුවම් කරන කෙනෙක්ද? නැත්නම් මේ වගේ විකල්ප ක්‍රම අත්හදා බලන කෙනෙක්ද? පල්ලෙහායින් Comment එකක් දාන්න. ඒ වගේම තවත් දෙමාපියෙකුට බලන්න මේ ලිපිය Share කරන්න. ❤️
(කරැණාකර උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
#මනෝවිද්‍යාත්මකඋපදේශනය