01/11/2025
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා රාජ්‍ය ඔසුසල් ජාලයේ 67 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව මඩකලපුව නගරයේ දී විවෘත විය.
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල - මඩකලපුව ශාඛාව ඔක්තෝබර් 31 දින විවෘත
කරන ලදී.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 67 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව මෙය වන අතර අංක 233,237, ත්‍රිකුණාමලය පාර මඩකලපුව යන ස්ථානයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නවතම ඔසුසල ශාඛාව විවෘත විය.
මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා සහ රණවිරු විරුසර කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.
නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේදී අවස්ථා හතරකදීම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් ඖෂධ ලබාගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිළට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් 1971 වර්ෂයේ දී ආරම්භ කල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 54 කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිළට සැපයීම සිදුකරයි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු භා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා,මඩකළපු දිස්ත්‍රික් දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් ජේ.එස්. අරුල් රාජ් මහතා,
මඩකළපුව මහ නගරයේ නගරාධිපති සිවම් පාක්‍යනාතන් මහතා , මඩකළපුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මුරලිස්වරම් මහතා , මඩකළපුව නගරසභාවේ නාගරික කොමසාරිස් එන්.ධනංජයන් මහතා ,නැගෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්‍ය තිල්ලෙයිනාදන් සදානන්දන් මහතා, නැගෙනහිර විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, මඩකළපුව මහජන බැංකු ශාඛාවේ විශ්‍රාමික සංසදයේ සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ඖෂධ නීතිමය සභාවේ සභාපති මනූජ් සි. වීරසිංහ මහතා, කළමනාකරණ අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහ ආරච්චි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ සභාවේ නිලධාරීන් සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ වෙළද ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.