New Sahana Osusala

New Sahana Osusala We provide Pharmaceutical items and grocery items. We are a branch of Sahana Osuala located in Minuwangoda

14/02/2022

කොවිඩ් - 19 රෝගී තත්ත්වයට හේතුවන නව කොරෝනා වෛරසය චීනය වූහාන් නගරයෙන් වාර්තා වීමත් සමග බෝවන රෝග පිළිබඳ නැවතත් ලොව පුරා කතිකාවතක් නිර්මාණය වුනා.

කොවිඩ් ආසාදන තත්ත්වයෙන් මියයන පුද්ගලයින් සහ එමගින් රෝගාතුර වන පුද්ගලයින් පිළිබඳ දෛනික දත්ත ගැන සියලු දෙනාම සාකච්ඡා වෙනවා. කොවිඩ්-19 කියන්නේ වෛරසයකින් ඇතිවන රෝගී තත්ත්වයක්. ඒ වගේම පහුගිය කාලය තුල දක්නට ලැබුණු SARS, ඉබෝලා, කුරුළු උණ වැනි රෝග තත්ත්ව පවා වයිරස වලින් ඇතිවන ඒවා. ලෝක ඉතිහාසයේ අවුරුදු සීයකට එපිට කාලයක් තුළ මහා ව්‍යසනයන් ඇති කළ ඇතැම් බැක්ටීරියාවන් අද බොහෝ දුරට පාලනය වී පවතින්නේ අපි හැමෝම හොඳින් අඳුනන ප්‍රතිජීවක ඖෂධ, එහෙම නැත්නම් ඇන්ටිබයොටික් නිසාවෙන්.

එහෙත් වර්තමානය වන විට මේ ඇතැම් බැක්ටීරියාවන් ඒවා පාලනය කිරිමට යොදා ගැනුන ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ගොඩනඟා ගනිමින් පවතින බව පෙනී යනවා. මෙය අති භයංකර වසංගතයක පෙර නිමිත්තක් විය හැකි බව කියවෙනවා.

මේ උවදුරට පිළියම් සෙවීමට් නම් , මේ තරම් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී (ඔරොත්තු දෙන ) රෝගකාරක අප අතරට එන්නට හේතුව කුමක් දැයි අප මුලින්ම සොයා බැලිය යුතු වනවා.

අපි භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ හමුවේ රෝගකාරක විෂබීජ එක්වරම පරාජය භාර ගන්නේ නැහැ. ඔවුන් නැවත ප්‍රතිජීවක ඖෂධ සමඟ සටන් කරනවා කරනවා. ප්‍රතිජීවක මගින් අඩපණ කෙරෙන ජීව ක්‍රියාවලි සඳහා වෙනත් විකල්ප ක්‍රම භාවිතය, ප්‍රතිජීවක ඖෂධය හානි කිරීමට පෙර බිඳ හෙලීම, සෛල තුළට ඇතුළු වීමට නොහැකි පරිදි බාධක නිර්මාණය කිරීම, ප්‍රතිජීවක ඉලක්කය ලබාගත නොහැකි පරිදි එය වෙනස් කිරීම සහ හැකි ඉක්මනින් ආක්‍රමණික සෛලයෙන් පිටතට පොම්ප කිරීම රෝගකාරක ජීවීන් විසින් සුලබවම භාවිතා කරන සටන් උපක්‍රම වනවා. එවැනි හැකියාවන් ලබා ගැනීමෙන් පසු ඒවා ඉදිරි පරම්පරාවට උරුමකර දීමටත්, ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමෙන් මේ භයානක හැකියාවන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත් මෙම ක්ෂුද්‍ර ජීවීන් ට හැකියාව තිබෙනවා. කොයිතරම් කාර්යක්ෂම සහ අලුත් ප්‍රතිජීවක ඖෂධ සොයාගත්තත්, ඒවා වගකීමකින් යුතුව භාවිතා නොවන පරිසරයක දී ඉක්මනින්ම ඊට ඔරොත්තුදීමේ හැකියාව ලබාගන්නට රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ට හැකියාව ලැබෙනවා.

බොහෝවිට වෛරස ආසාදන නිසා ඇතිවන, සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන්ට පවා "ඇන්ටිබයොටික් කරල්/ පෙති" සොයා යන සහ ඒවා අනවශ්‍ය පරිදි නිර්දේශ කරන සියලු දෙනා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධීතාව සඳහා කෙලින්ම වග කිව යුතු වෙනවා. මීට අමතරව සත්ව පාලනයේ දී සතුන් ඇති කරන්නන් විසින් නිර්දේශිත මාත්‍රාවන් ඉක්මවමින් සහ හිතුමතයේ සිදුකරන ප්‍රතිජීවක ඖෂධ සතුන්ට ලබාදීම නිසා ද මෙම තත්වය තවත් තීව්‍ර වෙමින් තිබෙනවා.

ලෝකයම වසර දෙකකට ආසන්න කාලයක් අඩපණකල කොවිඩ්-19 වසංගත රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ලෙස භාවිතා කළහැකි ඖෂධ ගණනාවක් ගැන ලෝකය මේ වනවිට බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අතරින් සමහරක් දැනටම භාවිතයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබීම සහ ඉතා ඉහළ මටමකින් අසාධ්‍යවීම් සහ මරණ වළක්වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබීම සතුටුදායක තත්වයක්. අනාගතයේ අප විසින් භාවිතයට ගනු ලැබීමට ඉඩ ඇති එවැනි ඔසු මෙන්ම දැනට භාවිතයේ ඇති ප්‍රතිජීවක ඖෂධ සියල්ලේම ඉරණම රැඳී පවතින්නේ ඒවා කොතෙක් වගකීම් සහගතව භාවිතා වන්නේද යන්න මත බව ඔබට දැන් වැටහෙනවා ඇති.

වෛද්‍ය නිර්දේශයකින් පමණක්, අත්‍යාවශ්‍ය අවස්ථාවල ප්‍රතිජීවක ඔසු භාවිතය, නිර්දේශිත මාත්‍රාව නිවැරදිව සම්පූර්ණ කාලයම භාවිතා කිරීම, සතුන් සඳහා භාවිතයේ දී වගකීම් සහගත වීම, පරිසරයට එකතු නොවන පරිදි නිසි ආකාරයෙන් බැහැරකිරීම වැනි පියවර සැමවිටම අනුගමන කිරීම, තනි තනිවත් සමාජයක් ලෙසත් අපේ දැඩි අවධානයට යොමු විය යුතු වගකීමක් වෙනවා.

එසේ නොවුවහොත්, අප මේ දුටු වෛරස වසංගතයට වඩා ඉතා භයානක සහ මාරාන්තික බෝවන රෝග සහිත ලෝකයක් අපේ අනාගත පරපුරට උරුම වීමත්, ප්‍රතිරෝධී වූ විෂබීජ හමුවේ බෙල හීන වූ ප්‍රතිජීවක ඖෂධ සමඟ ඔවුන් අසරණ වීමත් වළක්වන්නට නොහැකිවනු ඇති බව අප යළිත් අවධාරණය කරනවා.

28/11/2021

"ඔමික්‍රෝන්" ගැන ඔබ දැනුවත් ද?

කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.

අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. 'ඔමික්‍රොන්' (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රොගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.

ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.

රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.

ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර "අවධානය යොමු කළ යුතු ප්‍රභේද" වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.
පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.

සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි.

සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.

16/07/2021

ශ්‍රී ලංකාවට ලඟදීම එන මොඩර්නා (Moderna) එන්නත ..

මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබෙනවා. එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.

ෆයිසර් (Pfizer) එන්නතට සමාන තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම එන්නත ගබඩා කිරීම සඳහා සෙල්සියස් අංශක -50 සිට -20 අතර අධි ශීත තත්වයක් පවත්වා ගත යුතු බව දක්වාත් තිබූ නිසා මුල් අවස්ථාවලදී අදාළ යටිතල පහසුකම් නොමැතිව බොහෝ රටවලට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුනා. නමුත්, පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් දින 30 ක කාලසීමාවක් පුරාවට සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක විවෘත නොකළ එන්නත් මාත්‍රා තබාගත හැකි බව සොයා ගැනීමත් සමග බොහෝ රටවලට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ගැටළුවට විසඳුම් ලැබුණා.

ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත යන දෙකම mRNA එන්නත් ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ ප්‍රතිදේහජනක ය ලෙස අඩංගු වනුයේ කොරෝනා වෛරසයේ spike ප්‍රෝටීන කොටස නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ගබඩා වූ mRNA කොටසක් පමණයි. වාහකයක් ලෙස වෙනත් කිසිදු වෛරසයක් භාවිතා නොකර මෙම mRNA කොටස ආවරණය කිරීම සඳහා lipid nanoparticle (LNP) ආවරණයක් පමණක් යොදාගෙන තිබීම මෙහි විශේෂත්වයක්.

මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට තිබෙනවා.

අනෙක් එන්නත් ලබා ගැනීමෙන් පසුව මෙන්ම මෙම එන්නතෙන් අනතුරුව ද සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් ඉතා කෙටි කාලයකින් සුව වී යන බව නිරීක්ෂණය කර තිබෙනවා. එලෙස ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ ලෙස වාර්තා වී ඇත්තේ,
එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම සහ රතු පැහැ ගැන්වීමට, උණ, හිසරදය, වමනය සහ ඇගපත වේදනාව සහ තෙහෙට්ටු ගතියක් ඇතිවීමයි.

කෙසේ නමුත් අනෙකුත් එන්නත් මෙන්ම මොඩර්නා එන්නත මගිනුත් කොවිඩ් - 19 රෝගයෙන් 100% ක ආරක්ෂාවක් නොලැබෙන නිසා, එන්නතෙන් පසුවත් මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යය පුරුදු අඛණ්ඩව පිළිපැදීම ඔබේත් ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු බව අප නැවතත් මතක් කරන්නට කැමතියි.

04/07/2021

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත් කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමේදී අපි මුලින්ම දැන ගත යුතු කරුණු දෙකක් තියෙනවා.

1. මෙම ඩෙල්ටා ප්‍රභේදය ලෝකය පුරා විද්වතුන් තුළ කැළඹීමක් ඇති කරන්නට හේතු වෙන්නේ ඇයි? මින් පෙර වාර්තා වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද ?

2. එන්නත්කරණය මගින් කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලබාදෙන්නේ කෙලෙසද? එන්නත්කරණය සම්පූර්ණ කළ කෙනෙක් කෝවිඩ් වෛරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද ? ඩෙල්ටා ප්‍රබේධයට කොව්ඩ් එන්නත් වලින් ලබාදෙන ආරක්ෂාව කෙබඳු ද?

ප්‍රථම කාරණය ගත්තොත් මේ ප්‍රභේදය මෙයට පෙර සොයාගත් කොවිඩ් වෛරස ප්‍රබේධවලට වඩා සුවිශේෂ වීමට කාරණා දෙකක් බලපානවා. මේ දක්වා කරන ලද පරීක්ෂණ වලින් පැහැදිලිව පෙනෙන කරුණක් තමයි මේ ප්‍රභේදය මෙයට පෙර සොයාගන්නා ලද ප්‍රභේදවලට වඩා ඉතා වේගයෙන් පැතිර යන බව. පසුගිය අලුත් අවුරුදු සමයෙන් පසුව රට පුරා වේගයෙන් පැතිර ගිය ඇල්ෆා ප්‍රභේදය ටත් වඩා මේ කියන ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම වේගවත්.

මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය යම් රටකින් වාර්තා වී සාපේක්ෂව කෙටි කාලයක් තුළ එම රට තුළ දක්නට ලැබෙන ප්‍රධානම ප්‍රභේදය බවට පත්වන වෙන අවස්ථා අප බොහොමයක් දැක තිබෙනවා. එමෙන් ම මෙය නුදුරේ ම ලොව ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන කොවිඩ් වෛරස ප්‍රභේදය වනු ඇති බවට විද්වතුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇත.

අනෙක් කාරණය තමයි මෙම ඩෙල්ටා ප්‍රභේදය නිසා රෝග ලක්ෂණ උත්සන්න වීමට ඇති හැකියාව වැඩි බවට සාක්ෂි මතු වෙමින් පැවතීම. මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය බහුල රටවල් වල කෝවිඩ් රෝගීන්ට රෝහල් ප්‍රතිකාර, ඔක්සිජන් සහ දැඩි සත්කාර අවශ්‍ය වීම අනෙක් රටවලට වඩා බහුල වනු ඇතැයි සිතිය හැකියි.

එන්නතක් මගින් සිදු වන්නේ කුමක්ද?

එන්නතක් මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ යම් රෝගකාරකයකට එරෙහිව අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිය තීව්‍ර කිරීමක් කියලා කියන්න පුළුවන්.

කෝවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය තුළින් අප විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බරපතළ රෝග තත්ත්වයක් ඇති නොවී කොවිඩ් රෝගය මැඩ පවත්වා ගැනීමට ශරීරය සූදානම් කිරීමයි. වාසනාවකට වගේ, එන්නත්කරණය සම්පූර්ණ කරන ලද අය ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවද ඉහල ආරක්ෂාවක් ලබාගන්නා බවට දැනට ලැබෙමින් තියන පර්යේෂණ සාක්ෂි මගින් පෙනී යනවා.

කෙසේ වුවත් තවමත් සාපේක්ෂව මුල් අවස්ථාවල පවතින මේ බොහෝ සාක්ෂි පදනම් වෙන්නේ, දැනට ඩෙල්ටා රෝගය සැලකිය යුතු ලෙසට පැතිර ගිය රටවල නිරීක්ෂණ මත හා ඒ රටවල දැනට ලබාදී ඇති එන්නත් වර්ග වලට සාපේක්ෂව යි. ඉදිරියේදී අපට මේ පිළිබඳ වඩ වඩාත් පැහැදිලි සාක්ෂි දක්නට ලැබේවි.

එන්නත්කරණය මගින් Delta ප්‍රභේදයට එරෙහිවද ඉතා ඉහල ආරක්ෂාවක් සැපයීම අප බොහෝ දෙනාගේ අස්වැසිල්ලට කාරණාවක් වුවද, මෙහිදී අප සිහි තබා ගත යුතු ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා.

වැදගත්ම කාරණය වන්නේ එන්නත්කරනය සම්පූර්ණ කළ අයෙකුට වුව ද කොරෝනා රෝගය ආසාදනය වීමට සැලකිය යුතු ඉඩකඩක් තිබීමයි. එවැනි අය හරහා තවත් බොහෝ දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට අවස්ථාවක් තිබෙනවා. ජනගහනයෙන් ඉතා ඉහල ප්‍රතිශතයක් එන්නත් ලබා ඇති රටවල පවා ඩෙල්ටා ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය වැඩි වීමක් නිරීක්ෂණය වී ඇත. මෙහි සුබදායි තත්ත්වය වනුයේ මෙම රටවල රෝගීන් වාර්තා වීම වැඩි වුවද දරුණු කෝවිඩ් තත්ත්ව සහ මරණ ඇති වීම ඉතා විශාල ලෙස එන්නත්කරණය සමගම අඩු වී ගොස් තිබීමයි.

එන්නත්කරණය නිසා රෝගය උත්සන්න වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහෝදුරට අවම වුනත් එය 100%කින් සිදු වන්නෙ නෑ. ඒ නිසා ඇතැම් අයට එන්නතක් සම්පූර්ණයෙන් ලබා තිබියදීත් රෝගය වැළඳෙන්න වගේම අසාධ්‍ය වෙන්නත් ඉඩ තියෙනවා. එන්නත යනු කොවිඩ් පැරදවීමට කරන සටනේ දී අප සතුව ඇති බලවත් ම අවියක් වුවත් එය ලබාගනීමෙන් පසුවත් දිගින් දිගටම නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වන්නේ මේ නිසා යි. එන්නත්කරනය වගේම සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීම නිසා පවතින තත්ත්වය පාලනයකට ලක් කර ගැනීමට හැකි වුවහොත්, ඒ කාලයට උචිත ලෙස වසංගත පාලන විධිවිධාන ලිහිල් කිරීමක් දකින්නට පුළුවන් වේවි.

මෙය රඳා පවතින්නේ අපගේ වගකීම්සගත හැසිරීම මතයි. ඉදිරියේදී තව දුරටත් පුළුල් වීමට නියමිත එන්නත්කරණ ක්‍රියාවලියට, සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන පුරවැසි අපගේ සහයෝගයත් එක්වුවහොත් නව සාමාන්‍ය ජීවන රටාවට අනුගතව රටක් ලෙස ඉදිරියට යන්න අපට හැකිවනු නොඅනුමානයි!

01/07/2021

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් පසු?

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ තත්ත්වයන් සමගම හටගත් ගෝලීය එන්නත් හිඟය නිසා එම එන්නත් ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය හට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති වන ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. මෙවැනි පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා පළමුවන මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැන්න සඳහා වෙනත් එන්නත් වර්ග භාවිතා කළ හැකිද සහ කොපමණ කාල පරාසයක් ඇතුළත දී දෙවන මාත්‍රාව ලබා දුනහොත් හොදම ප්‍රතිදේහ ජනනය සිදුවේ දැයි කියන කාරණා ගැන සඳහන් පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය සති කිහිපය ඇතුළත දී වාර්තා වුණා

මේ සියලු පර්යේෂණ තවමත් පවතින්නේ ඉතාමත් මූලික අවස්ථාවල වුණත්, ඒවායින් දැනට ලැබෙමින් පවතින සාක්ෂි ඉතාමත්ම සුබදායී වෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මෑතක පළකල පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව අතර කාල සීමාව සති 45 දක්වා දිගු වුව ද සාර්ථකව ප්‍රතිශක්තීකරණයක් ඇති කරන බව දැක්වෙනවා. ලෝකය පුරා නොසිතූ ආකාරයට ඇති වූ එන්නත් හිඟයත් සමඟ දෙවන මාත්‍රාවේ ප්‍රමාදයන් ඇති වූ බොහෝ රටවලට මෙය සුභදායී ආරංචියක් වුණා.

තවත් පර්යේෂණ මාලාවකින් මතුවෙමින් පවතින නිරීක්ෂණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් වැනි එම්.ආර්.එන්.ඒ එන්නතක් ලබාදීමෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනයයි. තවම ව මූලික අවස්ථාවල පවතින ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා දෙකකින්ම පෙනී යන කාරණය වන්නේ මෙහිදී සිදුවන ප්‍රතිශක්ති ජනනය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්ති ජනනයට සමාන හෝ එයටද වඩා සාර්ථක විය හැකි බවයි.

තවමත් ඉතා මූලික අවස්ථා වල පැවතියත් මේ පර්යේෂණ වලින් ලැබෙන සාක්ෂි ගෝලීය එන්නත් හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත් වී පවතින රටවලට අස්වැසිල්ලක් වෙනවා වගේම ලෝකයේම කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය නව දිශානතියකට යොමු කරවනු ඇතැයි සිතන්නට පුළුවන්.

-අදාල පර්යේෂණ පත්‍රිකා හා පළ කිරීම්:

AstraZeneca පළමු මාත්‍රා හා දෙවන මාත්‍රාව අතර පැවතිය හැකි කාල සීමා පරාසය පිළිබඳ Oxford විශ්වවිද්‍යාලයේ පළ කිරීම

https://www.ox.ac.uk/news/2021-06-28-delayed-second-dose-and-third-doses-oxford-astrazeneca-vaccine-lead-heightened-0

AstraZeneca පළමු මාත්‍රාවෙන් පසු වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබාදීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා (මූලික අවස්ථාවේ)

https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3874014

https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3854768

👏👏👏
01/07/2021

👏👏👏

Whenever the 🌎 has needed them they've come forth, always putting the patients first, living by their 'Oath'.

Thank you dear DOCTORS, for tirelessly & selflessly serving society! 🙏🏻

16/06/2021

කොරෝනා වසංගතය හිස ඔසවලා තියෙන මේ වේලාවේ,
එදිනෙදා තමන්ගේ රැකියාව කරගන්න බැරිව අසරණ වුනු අපේම මිනිසුන් කීදෙනෙක් නම් ඇතිද?

ඉතින් අපි හිතුවා අපිට ඇති හැකි පමණින් ඔවුන් හට මේ වෙලාවේ යම් විදියකින් හරි ශක්තියක් වෙන්න.

ඔයාලටත් පුළුවන් අපිත් එක්ක ඒ සදහා ඔයාගේ නොමසරු දායකත්වය ලබාදෙන්න.

විස්තර දැනගන්න අපේ කණ්ඩායමේ සාමාජිකයන් කිපදෙනේක්ගේ නම්බර්ස් මේ පොස්ට් එකේ තියෙනවා. ඔවුන් ව අමතලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්.

14/06/2021

Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද?

කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!

අපි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙල බිදිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කල හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි. මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වන්නේ නෑ. මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කල යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් සියට සියයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වනවා.

09/06/2021

We provide Pharmaceutical items and grocery items.
We are a branch of Sahana Osuala located in Minuwangoda

30/04/2021
We're open from today onwards.
16/04/2021

We're open from today onwards.

Address

136/A/1 Aluthapola
Dunagaha

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94776287437

Website

Alerts

Be the first to know and let us send you an email when New Sahana Osusala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram