18/08/2025
සතා සිවුපාවන්ට ආදරය කරුණාව පතුරවන දරුවකු වන්න෴🙏
මේ මිහිතලයේ ජීවය ර¼දා පවතින්නේ සොබාදහමේ ආශීර්වාදයෙන්. මේ ජීවය මත යැපෙන ජීවී කොට්ඨාස ලෙස මිනිසුන් සහ සතුන් හඳුනාගත හැකියි. ගහකොළ, සතා සිවුපාවා හා මිනිසා අතර පවතින්නේ නොබිඳිය හැකි සබඳතාවක්. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව මත මිනිසා විශ්වය ජයගනිමින් සිටියි. එම නිසාවෙන්ම අතීතයේ මිනිසා සහ සොබාදහම අතර පැවැති සබැඳියාවට වඩා දුරස්ථ බවක් මේ වන විට ඇතිව තිබෙනවා. මිනිසාගේ ජීවයේ ඇරැඹුම මේ සොබා දහමයි. නවීන තාක්ෂණික ලෝකය තුළ වේගවත් ගමනක යෙදෙන මිනිසාට තමාගේ උපත, මුල අමතරව ගිය සැටියක් පෙනෙනවා. ඒ නිසාම ගස්වැල්, සතා සිවුපාවා හා මිනිසා පවුලක් ලෙස එකට විසූ ඒ අතීතය අද වන විට බිඳී විසිරී ගිය බවක් දක්නට ලැබෙනවා. මිහිතලයේ ජීවයේ සමතුලිතභාවය ර¼දා පවතින්නේ ගස්වැල්, සතුන් සමඟ අප ජීවත්වන නිසයි. සොබාදහම හා එහි චමත්කාරය අහිමිව ගිය දිනෙක මිනිසා කෙසේ තම ජීවය පවත්වා ගනිවීදැයි සිතාගත නොහැකියි. ඇතැම් අවස්ථාවල ඒ බැඳියාවේ පලුදුවල දුර්විපාක අප අදටත් අත්දකිනවා.
පසුගිය දිනෙක කල්පිටිය මුහුදු වෙරළට තල්මසුන්ගේ ආගමනයක් සිදුව තිබූ බව අපට මාධ්‍ය හරහා අසන්නට, දකින්නට ලැබුණා. එහි කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපව සංවේදී කළ කාරණාවක් වූවා. ඒ සංවේදී සිද්ධිය හා සබැඳිව අපේ නව පරම්පරාව සොබාදහමට කෙතරම් සමීපද, සතුන්ට කෙතරම් සංවේදීද යන කරුණු පිළිබඳ නැවත වරක් සිතා බලන්නට යොමුවීම වැදගත් යන අරමුණ පෙරදැරිව අපේ දරු පරපුර සොබා දහමට, සතා සිවුපාවුන්ට කෙතරම් සමීප කළ යුතුද යන කාරණාව පිළිබඳ විමසන්නට අප අදහස් කළා.
අප ඕනෑම අයෙක් නිවෙසේ සුරතලයට සතුන් ඇති කරනවා. කවා පොවා නාවා උන් රැකබලා ගන්නවා. සුරතල් සතෙක් ඇතැමකුගේ ජීවිතයේ කොටසක් හා සම වන බව අප දැක තිබෙනවා. වැඩිහිටි, තරුණ, ළමා, මහලු වෙනසක් නොමැතිව සතුන්ට ආදරය කරුණාව දක්වන බව අප දකිනවා. එසේ සිටින බහුතරයක් අතර තවත් බොහෝ දෙනෙක් සතුනුත් අප සේම ජීවත්වීමට නිදහසට කැමැති බව නොහඳුනන සේ ක්‍රියාකරන ආකාරයක් දකින්නට පුළුවන්. ඇතැමුන් සතුන්ට හිතා මතාම හිංසා කර රිදවා සතුටු වෙනවා. තවත් අයෙක් තමන්ගේ විනෝදය සඳහා සතුන් යොදා ගන්නවා. තවත් අයෙක් සතුන්ව විහිළුවකට ලක්කර සතුටුවෙනවා. මේ හැසිරීම් පෙන්වන්නේ ඔබේ දුව පුතා වන්නට පුළුවන්. කිසිම විටෙක එවැනි
චර්යාවක් නිවැරැදි කරන්නට මෙතෙක් ඔබ උනන්දු නොවූවා විය හැකියි. කල්පිටිය මුහුදු වෙරළේදී ඇතැම් දරුවන් තල්මසුන්ට කළ පීඩාවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ දුටුවා නම් මේ බව පසක් වේවි. මේ හුදෙක් එකම එක සිද්ධියක් පමණයි. ඔබ යන විනෝද ගමන් බිමන් ගැන අවධානය යොමුකර බලන්න. සතුන්ට නිදහසේ සැරිසරමින් ජීවත්වන්නට වෙන්කර ඇති අභය භූමියකදී ඔබ දරුවන් හැසිරුණු ආකාරය ගැන සිතා බලන්න.
සතුන්ටත් නිදහසේ ඉන්නට ඉඩ දෙමින් ඔබත් සතුන් නිසා සතුටුවෙමින් ගත කළ අවස්ථා ඇති. ඒ සතුන්ගේ භූමිය තුළ දීම ඔවුන්ගේ නිදහස නැතිකර හිරිහැර කර හැසිරුණු අවස්ථාවත් ඕනෑතරම් ඇති. සොබාදහමට කරන හිරිහැරය එහි වෙසෙන මුළුමහත් සත්ත්ව සංහතියටම කරන හිරිහැරයකි. ඔබේ විනෝද චාරිකා අතර ඔබ මහමඟ වනපියස්වල දමා ගිය කැළිකසළ ගොඩගැසී ඇති. පසෙහි ජීවත්වන කුහුඹුවාගේ, පණුවාගේ පටන් විශාල අලි ඇතුන් දක්වාම ඒ නිසාම ඔබ කළ හිරිහැරය අසීමිත ඇති නැවත නැවතත් සිතා බලන්න. අතින් පයින් ඔබ හිරිහැරයක් නොකළත් ඔබ නිවැරැදි නොවන බවට ඔබ පරිසරයේ ඉතිරි කර ආ පාසටහන් හැර අනෙක් සියල්ල සාක්ෂි දරාවි.
ඇතැම් ප්‍රදේශවල ජීවත්වන දරුවන් තුළ ඔවුන් කුඩා කල සිටම ජීවත් වූ පරිසර අත්දැකීම් මත ඔවුන්ගේ ආවේදන හා චර්යා හැඩගැසෙනවා. බොහෝ විට ඔවුන් ජීවත්වන පරිසරය අනුව සතුන් හා සොබාදහම සමඟ ඔවුන් කරන ගනුදෙනුවල ස්වභාවය තීරණය වෙනවා. මේ පුංචි රටේ වුවත් විවිධ පැතිවල මේ විවිධත්වය දැකිය හැකියි. මුදල් වියදම් කර සුරතලයට ඇති කරන කුඩා මාළුන් තවත් ප්‍රදේශයක පිරිසකගේ ජීවනෝපාය සරිකරන ආහාරය රස කරන එක් කොටසක් පමණයි. මිනිසුන්ගේ ජීවන අරගලය සමඟ ඉදිරියට යන මෙවැනි ස්වභාවයන් සාමාන්‍යකරණය කරන්නට අපට සිදුවෙනවා.
එය එසේ වුවත් හිතාමතාම සතුන්ට කරන හිංසා, පීඩා කිසි විටෙක අනුමත කළ නොහැකිය. ඕනෑම ආගමක සත්ත්ව හිංසාව අනුමත කරන්නේ නැහැ. බෞද්ධ ධර්මය තුළ ‘අත්තානං උපමං කත්වා’ ලෙස තමා උපමාකොට අන් අය ගැන සිතිය යුතු බවත් ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දෙනවා. අපට දැනෙන රිදුම්, වේදනා සතුන්ට පමණක් නොව අජීවි වී යැයි ඔබ සිතන මේ සොබාදහමට පවා දැනෙන බව සිත්හි තබා ගන්න. වැඩිහිටි මවුපිය ඔබ තුළින් පුංචි දරුවන්ට මේ බව කියා දීමට උනන්දු වන්න. සත්ත්ව ලෝකයට සමීප වන්නට කුඩා කල සිටම දරුවන් හුරු කරවන්න. මුලින්ම සතුන්ව නිරීක්ෂණය කරන්න. ඔවුන්ගේ හැසිරීම් දෙස බලා සිට අත්දැකීම් ලබන්නට සතුන්ගේ චමත්කාරය අත්විඳින්නට දරුවා හුරු කරවීම වටිනවා. කූඹි ගුලක් හදන පුංචි කූඹින් වන මහන්සිය ගැන ඔවුන්ගේ එකමුතු බව, කඩිසර බව ගැන දරුවන්ට පෙන්වා දෙන්න. ඒවා අපටත් කියාදෙන පාඩම් බව දරුවන්ට කියා දෙන්න. ඒ පුංචි සත්ත්ව ලෝකය තුළත් අම්මා, තාත්තා, දරුවන් යන සබඳතා පවතින බව දරුවන්ට කියා දෙන්න. එවිට ඒ සතුන් තුළින් ඔබ හා ඔබේ දරුවන් අතර පවතින සබඳතා දකින්නට දරුවන් හුරුවේවි.
කුහුඹුවකු පවා පොඩිකර විනාශ කර දැමීම නරක ක්‍රියාවක් ලෙස දකින්නට දරුවන් හුරුවේවි. පුංචි දරුවන්ගේ සිත් තුළට මෙවැනි කාරණා සංවේදීව මෙන්ම නිර්මාණශීලීව කා වද්දන්නට අපට පුළුවන්. සොබාදහමේ සමතුලිතතාව රැකීම උදෙසා ඇතැම් ක්‍රියාවලින් සොබාදහම තුළින්ම නිර්මාණය කර අනුමත කර තිබෙනවා. ඒ සොබාදහමේ ක්‍රියාවලියට අප කවුරුත් යටත්වනවා. සොබාදහමට අහිතකර මිනිසා විසින් ක්‍රියාවට නංවන ලද ඇතැම් ක්‍රියාවන් සොබාදහමවත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසාම සොබාදහමටත් සොබාදහමේ සැබෑ අයිතිකරුවන් වූ සත්ත්ව ප්‍රජාවටත් හිංසා කිරීම අනුමත කළ නොහැකියි. ගුවනේ, දියඹේ මෙන්ම පොළොවේ සැබෑ අයිතිකරුවෝ සත්ත්ව ප්‍රජාවයි. ඔවුන්ගෙන් බලහත්කාරයෙන් උරුමකර ගත් උරුමයන් අපේ කරගත් නිසා අද සතුන් අපට එරෙහි වී තිබෙනවා. අලි-මිනිස් ගැටුම වුවත් එහි ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකියි. වනාන්තරවලට සීමා වී නිදහස් ඔවුන්ටම ආවේණික ජීවිතයක් ගත කළ සතුන් අද මිනිසුන් අතරටවිත් පොරබදන්නේද උන්ගෙන් උදුරාගත් නිදහස සොයා විය හැකියි. එහි ප්‍රතිඵල ලෙස සතුන්ගේ සේම මිනිසුන්ගේද වටිනා ජීවිත අපට අහිමිවනවා. දෙපිරිසම පීඩාවට ලක්වනවා.
මිනිසා වචනාර්ථයෙන්ම මනසින් උසස්. සතුන්ට මිනිසාට තරම් කල්පනා ශක්තියක්, බුද්ධියක්, මනසක් හිමි නොවූ නිසා උන් මිනිසුන් හා සම වන්නේ නැහැ. එසේ වුවත් මිනිසා යන හැඳින්වීමට උචිත නොවූ ක්‍රියා මිනිසුන් අතින් සතුන්ට සිදුවනවා. ඒවා සිදු නොවිය යුතුයි. එවැනි දුර්වල ක්‍රියාවන් තුළ නිරතවීම හෙට දවසේ ඔබේ දරුවන්ව මෙහෙයවීම ඔබ කළ යුතුයි. මිහිතලයේ පැවැත්මට සොබාදහමේ සමබරතාව අත්‍යවශ්‍ය වන නිසා එය හෙට දවසටත් රැකගැනීම අප කාගේත් වගකීම වෙනවා.
මිනිසුන් වන අපට දැනෙන වේදනා පීඩාවලදී අප ඊට එරෙහි වෙනවා. ඒවාට විරුද්ධව ක්‍රියා කරනවා. වේදනවා පිට කරනවා. අවශ්‍ය විටදී ප්‍රතිකාර ගන්නවා. කළ හැකි සෑම දෙයක්ම සිදු කරනවා.
සොබා දහමේ ගහකොළවලටවත්, සතා සිවුපාවටවත් මේ හැකියා සියල්ල ලැබී නැහැ. නිහඬව වේදනා විඳ දරා සිටිනවා. කෑ ගසා කිව නොහැකි නිසා නිහඬව සිටිනවා. නමුත් සොබාදහමේ ඉවසීම පවා පුපුරා යන අවස්ථාවක් පැමිණෙනවා. සතුන් තම ඉවසීම ඉක්මවා යන අවස්ථා පැමිණෙනවා. ඔවුන්ට හැකි උපරිමයෙන් එතැනදී මිනිස්සු යට කර මිනිසුන් පීඩාවට පත් කර සොබාදහම නැඟී සිටිනවා. එවිට අපට බොහෝ දේ අහිමිවනවා. ඒ නිසාම මේ සබැඳියාව ඉතා කල්පනාවෙන් පවත්වාගත යුතු වෙනවා. ඒ සඳහා හෙට ලෝකය ගොඩනඟන ඔබේ දරුවන්ට මේ බව හොඳින් පසක් කළ යුතු වෙනවා. අතීතය ගෙවී හමාරයි. වර්තමානය අභියෝග මැද ඔහේ ගෙවී යනවා. අනාගතය ඉතුරු කරගත යුතුයි. අනාගතය අපේ දරු පැටවුන්ගේයි. ඔවුන්ගේ ලෝකය අඳුරු නොවිය යුතුයි. සොබාදහමට පිටුපා ගමනක් යෑම නොකළ හැකියි. ඒ නිසාම අප සැමගේ හුස්ම රැකී තිබෙන්නේ සොබාදහම මත බව අවබෝධ කර දෙමින් සොබාදහමට මිතුරුව සංවේදීව එක්ව අත්වැල් බැඳ ගනිමින් සත්ත්ව ලෝකයටද අපට හා එම උරුමයන් මේ මිහිමත ඇතැයි සිතමින් හදවත් තුළට කා වද්දමින් අනාගත ලොව ගොඩනඟන්නට වෙහෙස දරමු.