23/05/2022
පැපොල් -(ගස්ලබු) - (Carica papaya)
නිවර්තන අමෙරිකානු සම්භවයකින් යුතු පැපොල් ශාකය මෙරට පහසුවෙන් වැවෙන්නක් සේ ම රස ගුණැති පලතුරු ලබා දෙන්නක් බවත් ප්රකට කරුණක්.
එය විටමින් A C K E සහ B- තයමින්, නියැසින්, රිබොෆ්ලේවින්, පැන්ටොතෙනික්, මෙන්ම යකඩ කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් මැන්ගනිස්, පොස්පරස් සින්ක් ෆෝලේට් කාබොහයිඩ්රේට් ආදි පෝෂක ගණනාවකින් හා ප්රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත් ශාකයක්.
ප්රතිශක්තිය වඩමින් සිරුර නිරෝගි කරන්නක්. ශක්තිය වඩන්නක්. රුව ඔප්නංවන්නක්. තරුණ පෙනුම ලබා දෙන්නක් හා මානසික ආතතිය අවම කරන්නක්.
නිතිපතා ආහාරයට ගැන්මෙන් ප්රතිශක්තිය වර්ධනයවී නිතර සෑදෙන සෙම්ප්රතිශ්යාව ඇතුළු තවත් විවිධ රෝග වලින් මිදීමට හැකිවෙනවා.
ඉදුණු ගෙඩි පලතුරක් ලෙස කෑමට ත් සලාද හා බීම සැකසීමටත් යොදා ගැනෙනවා. අමු ගෙඩ් හා මල්වලින් වෑංජන අච්චාරු ආදිය සකසා ආහාරයට ගන්නවා. මවුකිරි වර්ධනයට උපකාරිවන අමුගෙඩි මැල්ලුමක් සේද සකසා ගතහැකියි
ආයුර්වේදය , චර්මාබාධ අර්ශස්, උගුරේ අමාරු, වකුගඩු පණු රෝග ආදි රෝග ගණනාවකට ප්රතිකාර සඳහා අමු ගෙඩි , කොළ, මුල්, කිරි, ඇට ආදි ශාක කොටස් යොදාගන්නවා.
කොළ ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා වැඩීමටද උණ 50%කි න් අඩු කිරීමටද, රක්තපාත අවම කිරීමටද , හේතුවන බව මෙරට පැවැතී පර්යේෂණයකින් අනාවරණය වූ අතර ඉන් පපායා කැප් නමින් ඖෂධයක් ද නිපදවා තිබෙනවා.
ඇස් ආරක්ෂා කිරීමේ සුවිශේෂ ගුණ පැපොල් සතුයි. A විටමින් සමග ඇති බීටා කැරොටින් , සියාසැන්තින් ක්රිස්ටොසැන්තින් ලුටෙයින් යන ෆ්ලේවනොයිඩ ඇස්වල ශ්ලේෂ්මපටල හා කහ ලපයේ සෞඛ්යය රැක දෙනවා. එමගින් ඇස් නොපෙනීයන මැකියුලා වැනි රෝග වළින් වැළකීමේ හැකියාව ලැබෙනවා.
පැපොල් කොලෙස්ටරෝල් පාලනය කරමින් හදවත් රෝගවලට ද වැට බඳිනවා.රුධිර නාල බිත්ති ඝනවීමෙන් වැළැක්වීමට ඊට හැකියි. ඒවායේ ඇති fibrin එන්සයිමය සිරුර ඇතුළත ලේ කැටි ගැසීම් වළකන අතර එමගින් ආඝාත අවදානම ද අවම වෙනවා.
ප්රතිප්රදාහ ගුණැති පැපොල්වල ඇති C විටමින් බහුලතාව රූමැටික ආතරයිටිස් පාලනය කරන්නට හේතුවනවා. එහි ඇති papein හා chimopapein මගින් සිරුරේ දැවිලි ඉදිමුම් අඩුකර දෙනවා
. එහි ඇති වේදනා නාශක ගුණයෙන් ආතරයිටිස් වේදනා වැනි දැඩි වේදනාවන් අවමකර දෙනවා. ගැබිණි මවුන්ට ස්වල්ප වශයෙන් ගත්විට ඔක්කාර අපහසුතා ත් අඩුවනවා.
පැපොල්වල අඩංගු lycopene සෛලවලට සිදුවන හානි වළකන අතර එමගින් පිළිකා රෝග පාලනය වනවා. ඉන් පුරස්ථි ග්රන්ථි පිළිකා ඇතිවීමේත් වැඩිවීමේත් අවදානම 86% කින් පහල දැමිය හැකි බව සඳහන්. දිනපතා කොළ තේ( green tea) පානය කිරීමෙන් එම ඉලක්ක ළඟාකර ගැනීම වඩා පහසුවනවා.
ආහාර ජීර්ණ පද්ධතිය කාර්යක්ෂ්ම කිරීමටද පැපොල් වලට හැකියි. තෙල් පිටි වැනි ආහාරවලින් අඩපණවන ජීර්ණ ක්රියාවලිය. පණගැන්වීමට එහි අඩංගු පැපේන් සමත්. එමගින් මලබද්ධය ද දුරුවනවා.
විටමින් C E A -බීටා කැරොටින්, පැපේන් එන්සයිම ආදියෙන් සන්නද්ධ පැපොල් , සම ආරක්ෂාකිරීමේ විශේෂ මෙහෙයුමක නියුක්තයි. ඒවා සමේ පැරණි සෛල ඉවත්කර අළුත් සෛල වේගයෙන් වඩනවා. දුර්වර්ණ හා ආසාදන පෙදෙස් කරා ගමන්කොට ප්රකෘතිමත් කරමින් සම නිරෝගිකර පැහැපත් කර දෙනවා. රැලි වැටීම් වළකා තරුණ පෙනුම රඳවනවා.
ඒ වාසි හොඳින් ලබාගැන්ම සඳහා ඉදුණු පැපොල් මද මාස්කයක් මසකට වරක්වත් යොදාගැන්ම ඉතා පලදායකවන බව සඳහන්.
හිසකේ වර්ධනයට ද පැපොල් උපකාරිවනවා. විටමින් A ඇතුළු උපකාරක මගින් හිසකේ වැටීම් , අකලට පැසීම්, නවතා ඉස්සොරි වළකා කෙස්මනාව වඩා දීමට ඊට හැකියි.
පැපොල්වල ඇති තන්තු මගින් කුසගිනි පාලනයක් සිදුවන බැවින් එය බර අඩුකර දීමට ද උපකාරිවනවා.
පැපොල් ඇට, බරපතල රෝග ගණනාවකට එරෙහිව ප්රතිචාර දක්වන්නක් .
එහි ඇති සුවිශේෂි සංයෝග මගින්
*දිලීර හා පරපෝෂිතයන් විනාශකිරීමට ,
*අක්මාවේ හා වකුගඩුවල විෂ දුරුකිරීමට,
* රක්තවාතය ,මලබද්ධය, ඇදුම, හා ආතරයිටිස් පාලනයට
*පිළිකා සෛල මන්දගාමි කිරීමට
හැකි බව සඳහන්.
රාත්රි ආහාරයෙන් පසු පැපොල් ඇට 8ක් 10ක් ජලය සමග ගන්නේ නම් එය ඊට හිතකර ලෙස සැළකෙනවා.
පලතුරු මද සමග ඇට අමුවෙන් ආහාරයට ගත හැකි සේම වියළා වංගෙඩියක කොටා, සලාද සුප් ආදියට එක්කරගන්නටද හැකියි.
ඉන් මල බුරුල්වන බැවින් දිනකට මේස හැඳි 1 -2ක සීමාව නො ඉක්මවීම සුදුසුයි.
පැපොල්වලින් අත් බෙහෙත්
*අක්මාවේ තෙල් තැන්පත්වීමේ රෝගයට
පැපොල් ඇට කුඩු මීපැණි සමග ආහාරයට ගැන්ම
* පාදයේ ගැඹුරට කටුවක් ඇනුණුවිට ඇදී ඒමට
පැපොල් මුල් පෙරංගා , පොල්කිරෙන් තම්බා බැඳීම
*සම නිරෝගිවීමට පැහැපත්වීමට,
රුව වැඩුමට
ඉදුණු පැපොල් මද, මීපැණි හා දෙහි යුෂ එක්කර පල්පයක් සාද ආලේප කිරීම
*හිස්සොරිවලට
ඉදුණු මද හිසගා සම්භාහනය කරන්න .
සැකසුම :- හොරිවිල වෙද ගෙදර සදුන් සේනානායක පොඩි වෙද මහතා