27/07/2020
මොකක්ද මේ හොජ්කින් ලිම්ෆෝමා (Hodgkin Lymphoma) කියන්නේ?
කෙනෙකුගේ සිරුරේ ඕනෑම පටකයක සෛලවල අසාමාන්‍ය සහ අක්‍රමවත් බෙදීයාම තුළින් පිළිකාවක් ජනිත වෙන්න පුළුවන්. අස්ථි මධ්‍යයේ තිබෙන ඇට මිදුළු තුළ නිපදවන රුධිරයේ සංඝටක සෛල වර්ගයක් වන වසා සෛල (Lymphocytes) වඩාත් පරිණත සෛල බවට පත් වන්නේ වසා ග්‍රන්ථි නැත්නම් වසා ගැටිති තුළ. මේවා ජන වහරේ කුද්දෙටි වශයෙනුත් හදුන්වනවා. මෙවැනි වසා සෛලවල විකසනයේ යම් අවස්ථාවකදී සිදුවිය හැකි ජානමය විපර්යාසයන් නිසා මේ වසා සෛල අසාමාන්‍ය ලෙස බෙදී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් වසා පද්ධතිය ආශ්‍රිත පිළිකා ඇති වෙනවා. මේවා ලිම්ෆෝමා (Lymphomas) වශයෙන් හඳුන්වනවා. මෙවැනි ලිම්ෆෝමා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් හදුනා ගන්න පුළුවන්.
01. හොජ්කින් ලිම්ෆෝමා (Hodgkin Lymphoma)
02. හොජ්කින් නොවන ලිම්ෆෝමා (Non-Hodgkin Lymphoma)
ශ්‍රී ලංකාවේ සංඛ්‍යා ලේඛන අනුව 2017 වසරේදී පමණක් අළුතෙන් වාර්තා වුනු හොජ්කින් ලිම්ෆෝමා රෝගීන් ගණන 106 ක්. මෙය ඒ වසරේ අළුතෙන් වාර්තා වුනු සමස්ථ පිළිකා රෝගීන් අතරින් 0.6% ක පමණ ප්‍රතිශතයක්. ඒ වගේම, මෙය ඒ වසරේ අළුතෙන් රෝග විනිශ්චය වුනු මුළු ලිම්ෆෝමා රෝගීන්ගෙන් 20% ක්.
මේ පිළිකා තත්වය සුලබවම දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 10 ත් 30 ත් අතර යොවුන් වියේ පසුවන අය අතරයි. වයස අවුරුදු 50 ට වඩා වැඩි අය අතරත් යම් තරමක් මෙය සුලබයි. මේ පිළිකා තත්වයේ තියෙන සුවිශේෂත්වය තමයි 85% ක් ම අවස්ථාවලදී අවුරුදු 60 ට වඩා අඩු රෝගීන් අපට 100% ක් ම නිට්ටාවට සුව කළ හැකි වීම.
මේ රෝගය බොහෝ විට සොයා ගන්නේ කෙනෙකු අසාමාන්‍ය වසා ගැටිති ඉදිමීමක් සමග වෛද්‍යවරයෙකු කරා යොමු වූ විටයි. මෙවැනි වසා ගැටිති වර්ධනයන් වැඩිපුර බෙල්ල සහ කිහිලි ප්‍රදේශවල ඇතිවෙන්න පුළුවන්. ඒවා බොහෝවිට කැක්කුමක් ඇති කරන්නේ නැහැ. උරස් කුහරය තුළ ඇති වසා ගැටිති සුලබව මේ රෝගයේදී ඉදිමිය හැකියි. මේ සමග කෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුව, හතිය, කල්පවතින කැස්ස, පපුවේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වීම, උණ හෝ ඇඳුම් තෙත්ව යන තරම් රාත්‍රියට සිදුවන අධික දහඩිය දැමීම, සිරුර පුරා කැසීම ආදිය මේ රෝගයේ ලක්ෂණ වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බව අවධාරණය කළ යුතුයි. ඉදිමුනු වසා ගැටිති ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර පරීක්ෂා කිරීමෙන් රෝග විනිශ්චය සිදු කළ හැකියි. නමුත්, ශල්‍ය කර්මයක් මගින් මේ පිළිකාවට සුව කරන්න බැහැ.
මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂාවයි. මේ රෝගයේ ප්‍රතිකාර රැඳී පවතින්නේ වරින් වර සිදු කරන පෙට් පරීක්ෂාවන්වල ප්‍රතිඵල මතයි. මීට ප්‍රතිකාර කරන මූලිකම ක්‍රමය වන්නේ පිළිකා නාශක ඖෂධ සංයෝජනයන්. මේවා වට වශයෙන් දෙවරක් ලබා දීමෙන් පසුව නැවතත් අතරමැදි පෙට් පරීක්ෂාවක් සිදු කරනවා. මෙහි ප්‍රතිඵල, පළමු පෙට් පරීක්ෂාවේ ප්‍රතිඵල සමග සැසඳීමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාරවල ස්වභාවය නිගමනය කරන්නේ. ලබා දෙන මුළු පිළිකා නාශක ඖෂධ වට ගණන තීරණය වන්නේ රෝගයේ පැතිරීයාම (Stage) මතයි. ඇතැම් විට විකිරණ ප්‍රතිකාර (Radiotherapy) ලබා දීම අවශ්‍ය වෙනවා.
බොහෝ දෙනෙකුට නිවැරදිව ප්‍රතිකාර කිරීමෙන් මේ රෝගය නිට්ටාවටම සුව කළ හැකි නිසා රෝගීන් දිගු කාලයක් ජීවත්වන නිසා පිළිකා නාශකවල දිගු කාලීන සංකූලතාවයන්වලට මේ රෝගීන් ගොදුරු වීම සුලබව දකින්න පුළුවන්. මෙන්න මේ නිසාවෙන්ම, නූතන ප්‍රතිකාර ක්‍රම හැම විටම පදනම් වන්නේ ප්‍රතිකාරවලින් ලැබෙන අවසන් ප්‍රතිඵලය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගන්නා අතරතුර සංකූලතා අවම කිරීම සදහා පෙට් පරීක්ෂාව නිසි ආකාරයෙන් යොදා ගැනීම තුළයි. විශේෂයෙන්ම මේ පිළිකා නාශක ඖෂධ නිසා හෘදය වස්තුවේ සහ පෙනහළුවල ක්‍රියාකාරීත්වයට දිගුකාලීන බලපෑම් එල්ල විය හැකියි. ඒ වගේම මදසරු බව, වෙනත් පිළිකා ඇතිවීමේ අවදානම වගේ සංකීර්ණ සංකූලතාවයන් පවා ඇති විය හැකියි. මේ නිසා ප්‍රතිකාර ලබා දීමේදීත් ඉන් පසුවත් මේ අවයවවල ක්‍රියාකාරීත්වය නිතිපතා මැන බැලීමක් සිදු කළ යුතුයි.
කලාතුරකින් 5-10%ක් පමණ රෝගීන් අපේ ප්‍රතිකාරවලට ප්‍රතිරෝධීතාවයක් දක්වන්නට පුළුවන් වගේම 10-15% ක් අතර පමණ රෝගීන් මුලදී සුව වුවත් නැවත රෝගයට ගොදුරු වෙන්නටත් පුළුවන්. ඒ සදහා නැවතත් පිළිකා නාශක සංයෝජනයන් ලබා දීමෙන් පසුව ස්වයං පූර්වජ සෛල බද්ධයක් (Autologous Stem Cell Transplant) සිදු කිරීමත් අවශ්‍ය වෙනවා. කලාතුරකින් මෙවැනි රෝගීන් සදහා දායක පූර්වජ සෛල බද්ධයක් (Allogeneic Stem Cell Transplant) හෝ නවීන ඖෂධ (Nivolumab, Pembrolizumab, Brentuximab Vedotin) අත් හදා බැලීමක් අවශ්‍ය වන්නට පුළුවන්.
බහුතරයක් රෝගීන් නිට්ටාවට සුවකළ හැකි නිසා නිසි සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු කරා ඉක්මණින් යොමු වී නිසි ප්‍රතිකාර ලබා ගැනීමයි වඩාත් වැදගත් වන්නේ.
- වෛද්‍ය බුද්ධික සෝමවර්ධන
- රුධිරගත පිළිකා සහ ඇට මිදුළු බද්ධය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Consultant Haemato-Oncologist)