10/04/2026
සැබෑ අවුරුද්දකට...
https://www.facebook.com/share/1DcYmWpbpe/
අවුරුදු
ශශිනි ජනවාරියේ ආයතනයේ කොළඹ කාර්‍යාලයට ආවේ අලුතෙනි. කාර්‍යාලයේ ප්‍රධානියාගේ ලේකම්වරිය වශයෙන් උසස්වීමක් ද සමගිනි.ඇගේ ප්‍රධානියා වූ සාරංග වැඩි කතාබහක් නැති සේවකයන් සමග ගණුදෙනු අඩු වයස අවුරුදු තිස් පහක් පමණ වූවෙකි.ඔහු අති දක්ෂයෙක් බව ආයතනයේ ශාඛා ජාලය පුරාම පැතිරී තිබුණේය.ලේකම්වරියන්ට සමහර ප්‍රධානීන්ගෙන් වන අයුතු බලපෑම් ගැන අසා තිබූ ශශිනි සාරංග සර් ගැන කල්පනාවෙන් ම සිටියත් ඔහුගෙන් ඇයට අනිසි බැල්මක් හෝ යෙදුණේ නැත.
ඔවුන්ගේ කාර්‍යාලය පිහිටා තිබුණේ කොළඹ මධ්‍යයේ තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මාලයකය. එතැන් සිට පහළ බලද්දී ජනාකීර්ණ නගරයේ සෑහෙන දුරක් පෙනෙයි.වැඩ අඩු වේලාවට එහි ජනේලයකින් පහළ යන එන අය දිහා බලා ඉන්න ශශිනි පුරුදු වූවාය.
"අවුරුදු කියන්නෙ සා.ප.යක්!!"
එසේ බලා ඉන්නා වෙලාවක ඇයට පිටුපසින් එසේ ඇසුණේය.ඇය ගැස්සී හඬ ආ දෙස බැලුවාය.
ඇගේ ප්‍රධානියා ද ඈ මෙන් ම වීදුරු ජනේලයෙන් පහළ බලා සිටින ගමන් කියූවකි ඒ.ඔහු බලා ඉන්නේ කඩ පේළියක ඇඳුම් තෝරන ජනකායක් දෙසය.
"ඇයි සර් එහෙම කියන්නෙ?"
"තියෙන සේසත ඉවර වෙනකල් රෑ දොළහටත් පොර කකා පි.ස්සුවෙන් වගේ බඩු ගන්නවා.අවුරුදු කන්න. මිනිහෙක්ට වෙන අත්‍යවශ්‍ය දෙයක් ගන්න හරි කඩයක් ඇතුළට යා ගන්න ඉඩ නෑ.අප්‍රේල් දහයෙ ඉඳන් දවස් දහයක් නිවාඩු දානවා අවුරුදු කන්න ලෑස්ති වෙන්න.ඔෆිස් වල වැඩ ගොඩ ගැහෙනවා.ඒ දවස් වලට බස්,ට්‍රේන් වලට කිට්ටු කරන්න බෑ.අවුරුදු කන්න ගමේ යන අයත් එක්ක.අප්‍රේල් දොළහෙ විතර ඉඳන් සතියක්වත් ටවුම එක දිගට ඇඳිරි නීතිය වගේ. කඩ සාප්පු වහලා ......කට්ටිය අවුරුදු කන්න ගිහින්. වාහනයක් පාරෙ නෑ. අවුරුදු සමරන්න ගොහින්. ඔක්කෝටම හපන් රෑ දවල් නැතුව රතිඤ්ඤා පුපුරනවා. මිනිහෙක්ට තියා සතෙක්ටවත් උහුලන් ඉන්න පුලුවන්ද?වි.කා.ර......... අවුරුද්ද......... කනවා බොනවා පාටි දානවා.ඕපදූප කියෝනවා.අන්තිමට රටට ණය වෙනවා ඔච්චරයි."
සරදම් ස්වරයෙන් පැවසූ ඔහුගේ දිගු විස්තරය ඇය අසා සිටියේ විස්මයෙනි. රැකියාව නිසා කොළඹ බෝඩින් කාමරයක හිර වූ ඇයත් ඇඟිලි ගණින්නේ අප්‍රේල් නිවාඩුවට ගෙදර යන්නය.තමන්ට නැතත් ගෙදරත් නෑදෑ හැමෝටමත් පුළුවන් හැටියට තෑගි ගෙන නෑදෑ ගෙවල් වල යන්නය. තෑගි ලබන්නය, තෙල්,සීනි,ඩයට් ප්ලෑන් නොසලකා ඇති වෙනතුරු අවුරුදු කැවිලි කන්නටය. රැකියා,විවාහයන් නිසා රට පුරා විසිර සිට කාලෙකින් හමු වන අයියලා අක්කලා නංගිලා මල්ලිලා සමග අවුරුද්දක ඕපාදූප කියවන්නය. ඒ රිෆ්‍රෙශ් වීම තුළින් තව අවුරුද්දක් ජීවිතය ඇදගෙන යා හැකි බව ඇය අත්දැකීමෙන් දනියි. කාර්‍යාලයේ අනෙක් අයටත් ඒ හා සමාන ප්‍රාර්ථනා අවුරුද්ද වෙනුවෙන් ඇත.
අවුරුදු නිවාඩුව දිගට ගන්න ඕනෑ නිසා ඇය මේ දවස් වල සති අන්තයේත් වැඩ කරයි.දොළොස් මාසෙකට සැරයක් එන මෙහෙමත් දවසට සා.ප.යක් කියන්නේ කොහොමද?
එවෙලේ කිසිවක් නොකී ඈ පසු ව සාරංග සර් ගැන මේ ටික දවසට කාර්‍යාලයේ හොඳම මිතුරිය වූ සාදනාගෙන් ඇසුවාය.
"සාරංග සර්ගෙ ගෙවල් කොහෙද සාදි?"
"ගෙවල් නම් කොහේද මන්දා.දැනට පදිංචි නම් කොට්ටාව පැත්තෙ ඇනෙක්ස් එකක බව දන්නවා"
"ඇනෙක්ස් එකක ඉන්නවා නම් සර්ගෙ වයිෆ් බබාලා හෙම ඒකෙ නැතුව ඇති නේද?"
සාදනා මූණ අමුතු කර ඇය දෙස බලා සිනාසුණාය.
"මොකද මොකද ලේකම් නෝනාට සර්ගෙ ගෙදර ගිහින් කරන්නත් රාජකාරි තියෙනවද?"
"විකාරද බං......සර් සිංහල අවුරුද්ද ගැන හරි තරහයි.........."
ශශිනි ඔහු කී දේවල් ඇය හා කීවාය.
"හ්ම්........මෑන් ඔහොම න.රු.ම කතා කියනවා තමයි.අවුරුද්ද විතරක් නෙවේ වෙසක්,පොසොන්,නත්තල් උත්සව වලටත් ඔහොම කියනවා"
"ඇයි ඒ?"
"කවුද දන්නේ.එයාගෙ ඔහොම කතා නිසා වෙන්න ඇති තාම මැරි කරන්න කෙනෙක්වත් නැත්තෙ.අපිට නම් ඕවා හුරුයි. ඔයාටත් කල් යද්දි හුරු වෙයි"
සාදනා එසේ කීවාට ශශිනිට හිත හදා ගන්න නොහිතේ.නිකමට කෙනෙක් ඔවැනි දේ කියන්නේ නැත.මේ කියන දේවල් වලින් පෙනෙන්නේ ඔහු සමාජයට වෛ.ර කරන්නෙකු බව නොවේද?එසේ වීමට හේතුව කුමක්ද?ඇය මේ තොරතුරු හොයා ගන්නා ක්‍රමයක් දිවා රෑ නැතුව කල්පනා කළාය.සෑහෙන වෙහෙසකින් පසු ඇය ඔහුගේ විශ්ව විද්‍යාලයත් එහි උගත් කාල සීමාවත් සොයා ගත්තාය.
හොඳ වේලාවට ඒ විශ්ව විද්‍යාලයේ ම උගත් නෑදෑ අයියෙක් ඇයට හිටියේය.
"නාරද අයියෙ,පොඩී කාරණයක් දැන ගන්න ඕන.ඔයාලගෙ කැම්පස් එකේ ඔයාලගෙ ජූනියර් බැච් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ කෙනෙක් ගැන විස්තර දැන ගන්න ඕන."
"ආ.....ආ........මොකද මංගල්ලයක්ද?" ඔහු සිනාසී ඇසුවේය.
"මංගල්ලයක් තමා.......මට නෙවේ මගෙ හොඳම යාළුවෙක්ට.ප්‍රපෝසල් වෙබ් සයිට් එකකින් අඳුන ගත්ත කෙනෙක්ලු. මනමාලයා මගෙ බොස්.ඉතිං ඒකයි මගෙන් විස්තර ඇහුවෙ. ඕවායෙ ඇත්තද බොරුද දාලා තියෙන්නෙ දන්නෙ නෑනේ.ඒ වුණාට ඔෆිස් එකේ බොස්ගෙ පුද්ගලික දේවල් මං දන්නෙත් නෑ"
ශශිනි කලින් ම ගොතා ගත් කතාව කීවාය.
"ම්ම්.......හරි දන්න විස්තර ටිකයි මෑන්ගෙ ෆොටෝ එකකුයි එවන්න බලන්න.මං හෙල්ප් එකක් දෙන්න බලන්නම්"
"අනේ ලොකු උදව්වක් අයියෙ.හැබැයි කාටවත් කියන්න හෙම එපා.මගෙ යාළුවා මා.ර ලැජ්ජයි"
"අහ්.......හරි හරි මං පුලුවන් දෙයක් කරන්නම්"
නාරද අයියාගෙන් උත්තරයක් ලැබෙන තුරු ශශිනිට තිබුණේ පුදුම හදිසියකි.අවසානයේ ඔහු කතා කළේය.
"මේ සෙනසුරාදා යාලුවාත් එක්ක අපේ දිහා වරෙන් නගා"
"ඔයා හොයා ගත්තද මං කියපු විස්තරේ?"
"ඔයාට ඒ ගැන කියන්න හොඳම කෙනා හම්බ වුණා.එයාට අපේ ගෙදර එනවා මේ සෙනසුරාදා"
"කවුද ඒ?"
"එහෙම කියන්න බෑ.ඔයා එන්න යාළුවාත් එක්ක"
නාරද අයියා ශශිනිගේ කුතුහලය වැඩි කරමින් කීවේය.ශශිනි සෙනසුරාදා තනියෙන් නාරද අයියාගේ ගෙදර ගියාය.
"යාළුවාට අදත් ඔෆිස් එකේ වැඩ. අහන්න ඕන ඒවා මං අහගත්තා එයාගෙන්.කවුද කියන්නකෝ ඔයාගෙ සම්පත් දායකයා?"
"ඔයාලගෙ බොස්ගෙ කැම්පස් එකේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්!!"
"මොකක්?" ශශිනිට එය අදහා ගත නොහැක.
"එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉඳලාද? ඇයි ඒ දෙන්නා මැරි කරලා නැත්තෙ?"
"ඒ ඔක්කොම අහගන්න පුලුවන් එයාගෙන්ම ඔයාට"
"කීයටද එයා මෙහෙ එන්නෙ?" ශශිනි උනන්දුවෙන් ඇසුවාය.
"එයා මැරි කරලා ඕස්ට්‍රේලියා ඉන්නෙ.මං බැන්දෙ මගෙ කැම්පස් ලව් එක.වයිෆ් තමා ඔයාගෙ කතාව කිව්වම මට මතක් කළේ එයාව.මගෙ වයිෆුයි ඒ නංගී දෙන්නා එක බැච් එකේ. අමාරුවෙන් නම්බර් එක හොයන් වයිෆ් කතා කළාම එයා කැමති වුණා විස්‍තර කියන්න. ඔන්න ලංකාවේ වෙලාවෙන් හවස හතරට වට්ස්ඇප් කෝල් එකක් දෙන්න කිව්වා"
ශශිනි වෙලාව බැලුවාය.තව විනාඩි තිහක් ඇත.ඇය හරිම අමාරුවෙන් ඒ විනාඩි තිහ දවස් තිහක් මෙන් ගෙවා ගත්තාය.හරියටම හවස හතරට සුන්දර කාන්තාවක් ලැප්ටොප් තිරයට ආවාය.
"මොනවද නංගි,ඔයාට සාරංග ගැන දැන ගන්න ඕන?"
"අක්කාට කියන්න පුලුවන් ඕනෑම දෙයක් අක්කේ.මොකද මගෙ යාළුවාට සර් ගැන හොයා ගන්න වෙන විදියක් නෑලු"
"හ්ම්.......ඔව් සාරංග ගැන දන්නෙ එයාම විතරයි.........මං දන්නෙත් එයා මට කිව්ව දේවල්...........සාරංගගෙ අම්මයි තාත්තායි මැරි කරලා තියෙන්නෙ ප්‍රපෝසල් එකකින්.දෙමාපියන්ගෙ ඕනකමට එයාලගෙ ගැලපීම් වලට මැරි කළාට ඒ දෙන්නා කවදාවත් ගැලපිලා නෑ.දෙන්නා ර.ණ්ඩු වෙද්දි ඒ දෙමාපියෝ කිව්වලු ඉක්මනට දරුවෙක් හදාගත්තා නම් ඔය ර.න්ඩු සරුවල් ඔක්කෝම ඉවරයි කියල "
"මොන මෝ.ඩ කතාවක්ද ඒ?" ශශිනිට එක වර කියැවිනි.
"ඒක තමා නංගි,එහෙම හදා ගත්ත දරුවා තමා සාරංග.කවුරු අනාවැකි කිව්වත් දරුවා ලැබුණට පස්සෙ දෙන්නා සමගි වෙලා නැහැ.ර.ණ්ඩු තවත් උග්‍ර වෙලා.අන්තිමට සාරංගට අවුරුදු පහක් වෙද්දි දෙන්නා වෙන් වෙලා.සාරංග පොඩි කාලෙ ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ආච්චි අම්මා ගාව ඉඳන්. පස්සෙ බෝඩිම් වල හොස්ටල් වල. අම්මයි තාත්තයි ආයෙ වෙන දෙන්නෙක් කසාද බැන්දලු.නිවාඩු කාලෙට ඒ දෙන්නගෙන් කාගේ හරි ගෙදරකට ගියාට එයාට දැනිලා තියෙන්නෙ එයාලා ඔක්කෝම එක පවුලක්.මෙයා පිටස්තරයෙක් විදියට. ඒ නිසා ටිකක් ලොකු වෙද්දි නිවාඩු කාලෙත් බෝඩිමේම ඉන්න පුරුදු වෙලා.මොනවා වුණත් සාරංග හරි දක්ෂ විදියට ඉගෙන ගත්තාලු.හොඳ රෑන්ක් එකකින් කැම්පස් ඇවිත් තිබුණේත්.කැම්පස් එකෙත් හරි දක්ෂයි.මගෙ සීනියර් බැච් එකේ.අපිට කුප්පිත් දැම්මා...........එයත් එක්ක මගෙ එෆෙයාර් එක අවුරුදු දෙකක් විතර තිබුණා.එයා පුරුදු වෙලා තියෙන්නෙ තනියෙන් ජීවත් වෙන්න. හැම දෙයක්ම තීරණය කළේ එයාට ඕන විදියට.තවත් කෙනෙක් එක්ක ජීවිතේ දේවල් බෙදා ගන්න විදිය එයා දන්නෙ නෑ.ඒ එෆෙයාර් එක තිබ්බ කාලෙ පුරාම ඉවසීම,කැප කිරීම,දරා ගැනීම උපරිමෙන් කරන්න වුණා මට. මගෙ කිසි දෙයක් වෙනුවෙන් සාරංග සංවේදී වුණේ නෑ.එෆෙයාර් එක ඇතුලෙවත් මොනම දේකදි වුණත් එයා ගත්ත තීරණයක් වෙනස් කරන්නෙ නෑ. උපන්දිනේට මට තෑග්ගක් දෙන්න ඕන කියන එකවත් එයාට ගානක් නැහැ.මං ඒවා පස්සෙ කිව්වත් එයාට තේරුම් ගියේ නෑ.අ.ඬලා වැ.ළ පිලා හූ.ල්ලලා අවසානයේ මං තීරණේ කළා එෆෙයාර් එක නවත්තන්න.........පව් ඒ ජීවිතේ එක අතකට.මහ මිනිස්සුන්ගෙ වැරදි නිසා අසරණ වුණ මනුස්සයෙක්!ඇත්‍තටම නම් සාරංග හොඳ කෙනෙක්.එයාට මිනිස්සු එක්ක හොඳ රිලේශන්ශිප් තියාගන්න දැනෙන්නෙ නෑ.එයාව තේරුම් අරන් එයා එක්ක ජීවත් වෙන්න පුලුවන් කෙනෙක්ව මැරි කරන්න ලැබුණොත් වාසනාවක් !"
සියල්ල සාවධානව අසා සිට ඇයටත් නාරද අයියාටත් ඔහුගේ බිරිඳටත් නොසෑහෙන තරම් ස්තූති කර ශශිනි පිට ව ආවාය.
මේ ප්‍ර.ශ්නයට කුමක් කළ යුතුද?ආයතන ප්‍රධානියාගේ ගතිගුණ ගැන හිතීම තමන්ට කිසිසේත් ම අදාල රාජකාරියක් නොවේ.එහෙත් තමන්ගේ දෙමාපියන් විසින් ම තළා පෙළා දැමීමෙන් සමාජයටත්,මිනිස් සම්බන්ධතා වලටත් වෛ.ර කරන න.රු.ම පුද්ගලයෙක් දශමයකින් හෝ යහපත් පැත්තට ගත හැකි නම්.........???
ශශිනි සඳුදා වැඩට ගියේ සැලසුමක් සහිතවය.
"මේ සැරේ සිංහල අවුරුද්දට අපි අළුත් වැඩක් කරමු?" ඇය තමන්ගේ සැලසුම කියා ඒ ගැන කාර්‍යාල සගයන්ගෙන් ඇසුවාය.
"අපි අවුරුදු කෑම මේසයක් දානවානෙ. ඒ මදෑ"
"අවුරුදු උත්සවේ කොහොමත් කරන්නනෙ ඉන්නෙ"
"ලොක්කා කැමති වෙයිද?වැඩ කරන කාලේ නාස්ති කරනවා කියයි"
"ඒකට නම් මමත් කැමතී.මමත් ඕක හිත හිතා හිටියෙ"
"අනේ ශෝක්නේ"
ශශිනිගේ යෝජනාව අදහස වෙනුවෙන් විවිධ ධන රිණ අදහස් යෝජනා විය. ඇය කෙසේ හෝ රිණ පැත්ත අඩු කරගෙන ධන පැත්ත ඉහළ නංවා ගත්තාය.
සංවිධානය ඇය විසිනි.වියදම සියළු දෙනාගෙන් වන විට ලොකු ගාණක් වැය වෙන්නේ නැත.එකම කොන්දේසියකි. සියල්ල නිසි වේලාව එනතුරු සාරංග සර්ට නොදන්වාය.
*********
අවුරුද්දට කලින් කාර්‍යාලයට එන අවසන් දවසේ උදේ අමුතු කළබලයක් වගේය.කාගෙත් මුහුණේ සඟවාගත් උද්‍යෝගයක් ඇත.ඇස් වල බැබළීමක් පෙනේ.ශශිනි කිසිත් නොදත් ලෙසින් ප්‍රධානියාගේ කාර්‍යාල කාමරයට වී ඔහු සමග බරපතල රාජකාරි කතාවකි.
උදේ දහය වෙද්දී කාර්‍යාලයේ ජ්‍යේෂ්ඨම නිලධාරිනිය නුවන්ති දොරට තට්ටු කළාය.
"සර්.......පොඩි පාටියක් තියෙනවා...... එනවද?"
කාගේ හෝ උපන්දිනයක් ඇත්නම් එය කේක් ගෙඩියකට ඉටිපන්දමක් ගසා හැපි බර්ත්ඩේ කියා සැමරීම ඉඳහිට හෝ සිදු වූ නිසා එහි අරුමයක් නැත.යොදා ගන්නේ තේ විවේකය නිසා සාරංගගේ වි.රෝධයක් ද නැත.ඔහු කිසිත් නොකියා නැගිට ආවේය. ශශිනිත් අනාරාධිතව ම ඒ පිටුපස ආවාය.ලන්ච් රූම් එකේ බිම තහඩුවක් තබා ඒ මත කුඩා මැටි ලිපක නැවුම් කුඩා මැටි කලයක කිරි ඉතිරවීමක් පටන්ගෙනය.
"මේ මොකද මේ?" සාරංගට කියවිණ.
"අළුත් අවුරුද්දට ගෙවල් වල කිරි උතුරවලා විතරක් මදිනෙ සර්, ආයතනේට හරි ගියොත් තමා අපේ ගෙවල් වලත් හැමදාම කිරි උතුරවන්න පුලුවන් වෙන්නෙ"
එවන් ප්‍ර.ශ්නයක් ඇසුවොත් කියන්න ලෑස්ති වී සිටි උත්තරය කෙනෙක් වහා කීවේය.
කිරි මුට්ටිය උතුරා හතර වටින් කිරි ගලා ගියේ හැමෝගේම අත්පොළසන් හඬ මැදිනි.නුවන්ති මෙතෙක් පත්තර කොළ වලින් වසා තිබූ මේසය විවෘත කළාය.කාර්‍යාලයේ අනෙක් බොහෝ දෙනෙක්ගේ ද ඇස් නළලට ගියේය.එය වෙනදාටත් වඩා සරු අවුරුදු මේසයකි.
"ඔෆිස් එක කියන්නෙ අපි ඔක්කොගෙම පවුල. කොතනටත් කලින් අපි එතන අවුරුදු සමරන්න ඕන........ ගෙවල් වල ගෘහ මූලිකයා තාත්තා වගේ අපි ඔක්කොගෙම මේ පවුලෙ ප්‍රධානියා සර්.මේ පහන පත්තු කරන්න සර්"
නුවන්ති ගිනි පෙට්ටිය ප්‍රධානියාගේ අතින් තැබුවාය.සාරංග ව්‍යාකූල වෙමින් නමුත් වෙනසක් නොපෙන්වා ඉන්න තැත් කරමින් මේසය මත තිබූ පිත්තල පහන දැල්වූවේය.පසුපස හැරුණ ඔහු තමන් ඉදිරියේ බුලත් අතක් ගෙන ජ්‍යේෂ්ඨත්වයේ පිළිවෙලට ඉන්නා සේවක පිරිස දැක තිගැස්සුණේය.
"ගෘහ මූලිකයාට වැඳලානේ අලුත් අවුරුද්දක් පටන් ගන්නෙ.ඒ ආශිර්වාදය තමා මුළු අවුරුද්දටම අපිට තියෙන සෙත් කවිය."
නුවන්ති ගාවට ජ්‍යේෂ්ඨ කමල් බුලත් හුරුල්ල පිළි ගන්වා බිමටම නැවී සාරංගට වැන්දේය. සාරංගට වැඩිමල් සියළු දෙනාම ඊට සමාන ඉරියව් වලින් ඔහුට වඳිද්දී ශශිනි ඇතුළු බාලයෝ පසඟ පිහිටුවා ම ඔහුට වැන්දෝය.ඔහු අපහසුවෙන් යන්තමින් කොන්ද නවා ඔවුන්ගේ ඔලුවට නොගෑවෙන ගානට අත තියා බුදු සරණයි කියා තමන්ට වත් නෑසෙන ගානට තොල මැතිරුවේය.
නුවන්ති පවුලේ අම්මාගේ භූමිකාව නිවැරදිව පෙන්වමින් පිඟානකට කිරිබත් කැට දෙක තුනක් තබා සර්ගේ අතට පිළිගැන්වුවාය.
"එන්න ළමයි සර්ගෙ අතින් කිරිබත් කටක් කන්න"
ඇය සියලු දෙනාට ආරාධනා කළාය. නුහුරු ලෙස වුවත් ඔහු ඔවුන්ට කිරිබත් කැව්වේ දිළිසෙන ඇස් වලින් හා පිපුණ මුහුණකින් යුතුවය.
"එහෙනම් දැන් හැමෝම කන්න බොන්න" ඒ ආරාධනාව කළ යුතු එකක් නොවීය.
"අවුරුදු දවසෙ රෑ කෑමට සර් එන්න ඕන අපේ ගෙදර.සර් තමා මේ පාර අපේ පවුලෙ ලොකුම නෑයා.වයිෆුත් කිව්වා සර්ට කියන්නමයි කියල" කමල් ඔහුට ආරාධනා කළේය.
"පහුවදා ලන්ච් එකට සර් මේ ඔක්කොමත් එක්ක අපේ දිහා එන්න ඕන එහෙනම්.මං ලොකේශන් දාන්නම්"
නුවන්ති ද කීවාය.
සාරංග කිසිත් නොකියා සතුටින් හිස වැනුවේය.
*****************
"ඔයා කරපු වැඩේ හරියට හරි ශශී"
එදා හවස වැඩ ඇරී යද්දී සාදනා ශශිනිට කීවාය.
"මොන වැඩේද?"
"සර්ට අවුරුදු දුන්න එක!......මට කවුදෝ කිව්වා සර් අවුරුද්දටවත් ගෙදර යන්නෙ නෑලු.මොකක් හරි ලොකු අවුලක් ඇති ගෙදර එක්ක.......අපි අපේ පවුල් එක්ක උත්සව සැමරුවාට මේක තමා සර්ගෙයි අපෙයි පවුල.ඒ මනුස්සයාව අයින් කරලා ඒවා කරන එක හරිම වැ.රදී"
ශශිනි නිහඬව සිනාසුණාය.ඒ වගේ ලෝකයේ කාගේවත් ආදරයක් හිමි නැති සමාජයෙන් ම මුළු ගැන්වී තමන්ව කොන් කළ සමාජයට වෛ.ර කරන කෙනෙක්ට සමාජය ගැන,සමාජ සම්බන්ධතා ගැන ඔක්කෝටම වඩා අවුරුද්ද ගැන පහන් හැඟීමක් ඇති කරන්න හැකි වූවා නම් ඇයට ඒ ඇතිය.
අවුරුදු සාදයේ ප්‍රතිඵල හරියටම දැක්කේ එදා හවස ගෲප් චැට් එකේය.
"අ.ම්.ම.ට සි.රි.......මෙන්න.........!."
"අවුරුද්දෙන් පස්සෙ වැඩ පටන් ගන්න දවසෙ ලන්ච් එක සර් ගානෙ දෙනවලු.........!"
"අපිටමයි අපේ පවුල් වල හැමෝටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා කියල දැන්මම සුබ පතලා!!"
"මෙහෙ වැඩ කරපු අවුරුදු ගානටම සර්ගෙන් මොකකට හරි විශ් එකක් ආවාමයි!!"
"මොනවා වුණත් සාරංග සර් හොඳ මනුස්සයා නේද?"
--------------Shanika Tennakoon-------------------
ජීවිතේ ගැන අළුතෙන් හිතන්න, වැටුණු තැන් වලින් නැගී සිටින්න මගේ "ෆීනික්ස් කිරිල්ලී" පොත රු 790/=, "නුඹ මගේ ලෝකයයි" පොත රු 1200/= වට්ටම් එක්ක ගන්න ඉන්බොක්ස් මැසේජ් එකක් තියන්න.watsapp 078 506 4715