21/02/2026
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්: දිවයිනේ ප්‍රථම 'සයික්ලොට්‍රෝනය' (Cyclotron) ගැන ඔබ දැනගත යුතු දේ
ශ්‍රී ලංකාවේ විකිරණ විද්‍යා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, පිළිකා රෝග විනිශ්චය සඳහා භාවිතා කරන ඖෂධ නිෂ්පාදනය කරන දිවයිනේ ප්‍රථම 'සයික්ලොට්‍රෝන්' (Cyclotron) මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මේ හරහා මෙරට විකිරණ විද්‍යාවට සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්වන වාසි පිළිබඳව සාමාන්‍ය ජනතාවට නැගෙන ගැටලු කිහිපයක් සහ ඊට පිළිතුරු අපි කතා කරමු
________________________________________
🔰මෑතකදී විවෘත වූ 'සයික්ලොට්‍රෝනය' (Cyclotron) යනු සරලවම කුමක්ද?
සයික්ලොට්‍රෝනයක් යනු අංශු ත්වරකයකි (Particle accelerator). මෙය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේදී (Nuclear Medicine) අත්‍යවශ්‍ය වන විකිරණශීලී සමස්ථානික (Radioisotopes) නිපදවීමට භාවිතා කරන අති නවීන තාක්ෂණික උපකරණයකි. විශේෂයෙන්ම පිළිකා රෝග විනිශ්චයේදී සිදුකරන ස්කෑන් පරීක්ෂණ සඳහා රෝගීන්ට ලබා දෙන විකිරණශීලී ඖෂධ දේශීයව නිපදවනු ලබන්නේ මෙම යන්ත්‍රය මගිනි.
🔰විකිරණවේදයේදී සිදුකරන සාමාන්‍ය විකිරණ පරීක්ෂණ සහ මෙම යන්ත්‍රය හා බැඳුණු PET ස්කෑන් පරීක්ෂණයක් අතර ඇති වෙනස කුමක්ද?
සාමාන්‍ය X-ray, CT හෝ MRI පරීක්ෂණ මගින් ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ සිරුරේ අභ්‍යන්තර ව්‍යුහය හෙවත් අවයවවල හැඩයයි (Anatomy). නමුත් PET (Positron Emission Tomography) ස්කෑන් පරීක්ෂණයක ඇති සුවිශේෂීත්වය වන්නේ, ඉන් සිරුරේ සෛල වල සිදුවන ක්‍රියාකාරිත්වය (Metabolism) සජීවීව පෙන්නුම් කිරීමයි. සිරුරේ සැඟවී ඇති පිළිකා සෛල ඉතා කුඩා අවධියේදීම සහ ඒවායේ සක්‍රීයභාවය නිවැරදිව හඳුනාගැනීමට විකිරණ තාක්ෂණවේදීන්ට සහ වෛද්‍යවරුන්ට මෙමගින් හැකියාව ලැබේ.
🔰PET ස්කෑන් පරීක්ෂණයේදී භාවිතා කරන FDG ඖෂධය යනු කුමක්ද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
සයික්ලොට්‍රෝනය මගින් නිපදවන ප්‍රධානතම ඖෂධය වන්නේ FDG (Fluoro Deoxy Glucose) යන්නයි. සරලව කිවහොත් මෙය විකිරණශීලී ද්‍රව්‍යයක් බද්ධ කරන ලද විශේෂිත ග්ලූකෝස් (සීනි) සංයෝගයකි.
🔰එය ක්‍රියාත්මක වන ආකාරය පියවර කිහිපයකින් සිදුවේ:
• පිළිකා සෛල වල ස්වභාවය: පිළිකා සෛල යනු ඉතා වේගයෙන් වර්ධනය වන සෛල විශේෂයකි. මේ නිසා සාමාන්‍ය සෛල වලට වඩා විශාල ශක්තියක් හෙවත් ග්ලූකෝස් ප්‍රමාණයක් ඒවාට අවශ්‍ය වේ.
• ඖෂධය ලබා දීම: රෝගියාගේ සිරුරට මෙම FDG ඖෂධය එන්නත් කළ විට, සිරුරේ ඇති පිළිකා සෛල ඉතා වේගයෙන් මෙම විකිරණශීලී ග්ලූකෝස් උරා ගනී.
• රූපගත කිරීම: ඉන්පසු රෝගියාව PET ස්කෑනරය වෙත යොමු කෙරේ. පිළිකා සෛල තුළට එක්රැස් වූ FDG ඖෂධයෙන් නිකුත් වන විකිරණ, PET යන්ත්‍රයේ ඇති සංවේදක මගින් ග්‍රහණය කර ගනී. ඒ හරහා සිරුරේ පිළිකාව පවතින නිශ්චිත ස්ථානය සහ එහි පැතිරීම ඉතා පැහැදිලි ත්‍රිමාන රූපයක් ලෙස සිතියම් ගත කෙරේ.
🔰සයික්ලොට්‍රෝනයක් නොමැති වීමෙන් අතීතයේදී අපේ රටේ සෞඛ්‍ය අංශය මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව කුමක්ද?
මීට පෙර මෙම අත්‍යවශ්‍ය FDG ඖෂධය ආනයනය කරනු ලැබුවේ විදේශ රටවලිනි. මෙම ඖෂධයේ ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ එහි විකිරණශීලීතාවය ඉතා වේගයෙන් ක්ෂය වී යාමයි (Short half-life). විදේශයක සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් රෝගීන්ට ලබා දීමට ගතවන කාලය හේතුවෙන් ඖෂධය රෝගියාට ලබා දෙන විට එහි සක්‍රීයතාවයෙන් බහුතරයක්ම විනාශ වී අවසන්ය. මේ නිසා දිනකට පරීක්ෂණ සිදු කළ හැකි වූයේ ඉතා සීමිත රෝගීන් පිරිසකට පමණක් වූ අතර, විශාල රෝගීන් සංඛ්‍යාවකට මාස ගණන් පෝලිම් වල රැඳී සිටීමට සිදු විය.
🔰මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ රෝගීන්ට අත්වන වාසි මොනවාද?
ප්‍රධාන වශයෙන් වාසි කිහිපයක්ම අත්වේ:
• ඖෂධය දේශීයව නිෂ්පාදනය කර සුළු වේලාවක් තුළ රෝහල් වෙත සැපයිය හැකි බැවින්, එහි ගුණාත්මකභාවය ඉහළම මට්ටමක පවතී. එමගින් පිළිකා සෛල වඩාත් නිවැරදිව හඳුනාගත හැක.
• හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයිය හැකි වීම නිසා, දිනකට වැඩි රෝගීන් සංඛ්‍යාවකට PET ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමට හැකි වේ.
• විදේශයන්ගෙන් ගෙන්වීම සඳහා වැය වූ අධික පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වන අතර, මිල අධික ඖෂධ ආනයනය නැවැත්වීම නිසා රටේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමටද හැකියාව ලැබේ.