16/02/2022
ඕවාද පාතිමෝක්ෂය පැන වූ නවම් පොහොය දින
ලාංකේය ඉතිහාසය බොදු සංසිද්ධීන් හා බැඳී පවති. නවම් පොහොය යෙදෙන අද දවස බෞද්ධ සංස්කෘතිය තුළ සුවිශේෂි සිදුවීම් රාශියක් සිදු වු ශාසනික වශයෙන් වැදගත්කමක් උසුලන පුරපසලොස්වක් පොහොය දවසකි.
රජගහ නුවර වේළුවනාරාමයේ ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූයේ ද එම අවස්ථාවට උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන් ද, සැරියුත්, මුගලන් දෙනම ද සහභාගි වූහ. එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේණාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙන ම පිළිවෙළින් දකුණත් සව් සහ වමත් සව් තනතුරුවලට පත්කරන ලද්දේ නවම් පොහොය දවසේ ය.
සංඝ ශාසනයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු කීප නමක් ම සිටිය දී, ජ්‍යේෂ්ඨත්වයක් නැති සැරියුත්-මුගලන් දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාදීම පිළිබඳ භික්ෂූන් අතර විවිධ කතා ඇති විය. බුදු දහමේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක් නම්, කිසියම් සැකයක් ඇති වූ විට ඒ ගැන ප්‍රශ්න කරන්නට ඇති අයිතියයි. බුදුන් වහන්සේ කරුනු පැහැදිලි කරමින් වදාළේ,
මහණෙනි, පංචවාර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂුහු තුන් බෑ ජටිල යන සෑම අයෙකු ම විවිධ ප්‍රාර්ථනා සහිතව පින් කළහ. අග සව් පදවි පතමින් පින් කළ දෙදෙනා වූයේ සැරියුත් – මුගලන් දෙනමයි. එමනිසා ඒ දෙනම එකී තනතුරුවලට පත් කළ වග බුදුන්වහන්සේ පැහැදිලි කර දුන් සේක.
සැරියුත් හිමියන් බමුණු මහ සල් කුලයෙහි උපන්නේ මෙයට අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ය. එදා ඔහු ‘සර්දා’ නම් විය. මුගලන් හිමියන් ද උපන්නේ මහසල් කුලයේ ය. හෙතෙම සිරිවඩ්ඩ නම් විය. මේ දෙදෙනා අඹ යහළුවෝ වූහ. සර්දා, තම පියාගේ ඇවෑමෙන් ලද ධනය දුගී, මගී, යාචකයන්ට බෙදා දෙමින් මෝක්ෂය සොයා යමින් පැවිදි විය.
එම අවදියේ අනෝමදස්සි නමින් බුදු කෙනෙක් පහළ වූහ. උන්වහන්සේගේ අග සව්වන් වූයේ නිසග සහ අනෝම යන දෙදෙනා ය. අනෝමදස්සි බුදුන් වහන්සේ සාරද තවුසන් හමුවන්නට වැඩම කළහ. උන්වහන්සේ දහම් දෙසුමට සවන් දුන්න ද රහත් ඵලයට පත්නොවිණ. එයට හේතුව, සාරද අනාගතයේ බුදුබව ලබන ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළ බැවින් ය.
මුගලන් තෙරුන් ගෞතම බුදුරදුන් පහළ වූ කල උපත ලැබුවේ කෝලිත බමුණු ගමේ ය. මොග්ගලී නම් බැමිණියගේ පුත්‍රයා වූ බැවින් ඔහු මොග්ගල්ලාන නමින් ප්‍රසිද්ධ විය. රූපසාරී නම් බැමිනියගේ පුත්‍රයා සාරිපුත්ත නම් විය.
පසුව ධරම සේනාධිපති වූ සැරියුත් මාහිමියෝ ප්‍රඥාව අතින් අග තැන සිටි ශ්‍රාවකයාණෝ වූහ. සෘද්ධිවන්ත භික්ෂූන් අතර ප්‍රමුඛයා වූයේ මුගලන් මහතෙරුන් ය.
ආයු සංස්කාර අත්හැරීම සිදු වූ දවස ද නවම් පොහොය දවසයි. සැරියුත් – මුගලන් යන අග සවු හිමිවරුන් පිරිනිවන් පෑමෙන් පසුව, ගෞතම බුදුන් වහන්සේ රජගහනුවරින් පිටත්ව ගොස් චාපාල චෛත්‍යය අබියස දී ආනන්ද හිමිපාණන් හමුව සතර ඉර්ධිපාද වැඩු අයකුට අවශ්‍ය නම් කල්පයක් වුව ද ජීවත්විය හැකි බව ප්‍රකාශ කළහ. එහෙත් ආනන්ද හිමියන්ට බුදුරදුන් කරන ලද ඉල්ලීම පැහැදිලි නොවිණි. එබැවින් නවම් පුණු පොහෝ දිනක බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක.
නවම් පුන් පොහෝ දින සිදු වූ තවත් වැදගත් සිද්ධියක් ලෙස මහා සංඝයා වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කිරීම සැළකිය හැකි ය. බෞද්ධ ශාසනයේ මුල් වසර විස්සක කාලය තුළ දී විනය කර්‍ම කිරීමේ සිද්ධීන් නොවූ නිසා ශික්ෂාපද පැනවීමක් සිදු නොවීය. ඒ කාලයේ ශ්‍රාවකයන්ට හික්මීම පිණිස උපයෝගී වූයේ, ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. සංසාරයෙහි දීර්ඝ කාලයක් ප්‍රාර්ථනා කිරීමෙන් මගඵල ලැබීමට සුදුසු ව සසුන්ගත ව සිටින පිරිසක් නිසා පළමුවන විසි වසර තුළ එතරම් වරදක් සිදු වූයේ නැත. මෙනිසා භික්ෂූන්ගේ මනා සංවරය සඳහා විසිවසරක් යනතුරු මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රමාණවත් විය.
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං - එතං බුද්ධ ශාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී - සමණෝ හෝති පරං විහේඨයන්තෝ
ඉවසීම උතුම් තපසයි. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා නිවන ම උතුම් කියලයි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන්ට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් වෙන්නෙ නෑ.
අනූපවාදෝ අනූපඝාතෝ - පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ - ඒතං බුද්ධාන සාසනං
කිසිවෙකුට නින්දා අපහාස නොකිරීම. කිසිවෙකුගේ ජීවිත හානිනොකර. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වී අවබෝධයෙන් යුක්තව දානය ගෙන, දුර ඈත වන සෙනසුන්වල කල් ගෙවීම. චිත්ත සමාධිය මැණවින් පුරුදු වී. බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි.ආණා ප්‍රාතිමෝක්ෂ දේශනාවක් එකල සිදු නොවී ය.
බොදු ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සංස්කෘතික වටිනාකමකින් අපට දායාද කළ උතුම් නවම් පුර පසලොස්වක් පුන් පෝදා ඔබත් ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරගැනීමට උත්සාහ කරන්නේ නම් හෝ කුසලමූල ක්‍රියාවන් හා සම්බන්ධ වන්නේ නම් ලොව්තුරු බුදුපියාණන්ට සිදුකරන ඉහළම ගෞරවය එය බව සිහි තබාගන්න. සිරිලක වෙහෙර විහාර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන දිනයක් ලෙස නවම් පොහොය දිනය දාන-ශීල-භාවනා-ආදී වටිනා කාර්යයන්හි යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ එක ම අදිටන මුලු මනින් බෞද්ධ ප්‍රතිපත්තිවලට මෙදින මුල්තැන දීමයි.
www.wisuddhimagga.com