14/12/2025
විද්‍යාවට අනුව, අප සුනඛයින්ට ආදරය කරන්නේ ඇයි?
මිනිසුන් විසින් හීලෑ කරන ලද පළමු සත්ව වර්ගය සුනඛයින් බවට විශ්වාස කෙරේ
ඇතැම් විට විශ්වාස කිරීමට අපහසු නමුත් චිවාවා ඇතුළු සියලු ම සුනඛයෝ වෘකයන්ගෙන් පැවත එන්නන් වෙති.
ඔවුන්ගේ පුරාණ මුතුන් මිත්තන් දැන් වඳ වී ගොස් ඇත්තේ සිය සමීපතම ඥාතියා වන අළු වෘකයා පමණක් ඉතිරි කරමිනි. අළු වෘකයා අදටත් වනයේ සැරිසරන බලවත් විලෝපිකයෙකි.
නමුත් වෘකයන් අපට මෙතරම් සමීපව ජීවත් වීමට පටන් ගත්තේ කුමන අවස්ථාවේ සිට ද, සහ ලොව පුරා මිනිසුන් බොහෝ දෙනෙකු සුනඛයින්ට ආදරය කරන්නේ මන්ද? යන්න අපි සොයා බැලුවෙමු.
අපි මෙතනට ආවේ කොහොම ද?
මිනිසුන් විසින් හීලෑ කරන ලද පළමු සත්ව විශේෂය බල්ලන් බව විශ්වාස කෙරේ.
2017දී, ආදි සුනඛයින්ගේ DNA පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, එම සත්වයින් බොහෝ විට වසර 20,000 සිට 40,000 දක්වා කාලයකට පෙර යුරෝපයේ එක ම ස්ථානයක සිටි වෘකයන්ගෙන් පරිණාමය වී ඇති බව ය. මීට පෙර, සුනඛයින් හීලෑ කර ඇත්තේ එකිනෙකට සැතපුම් දහස් ගණනක් දුරින් ජීවත් වන වෘක ජනගහන දෙකකින් බවට විශ්වාස කෙරිණි.
නමුත් මුල් සුනඛයන් වෘකයන්ගෙන් වෙන් කර හීලෑ කර ගත් ආකාරය පිළිබඳ කතාව උණුසුම් ලෙස විවාදයට ලක්වන අඛණ්ඩ පර්යේෂණ ක්ෂේත්‍රයකි. ඒ සම්බන්ධයෙන් බොහෝ න්‍යායන් පවතී.
උදාහරණයක් ලෙස, එක් ප්‍රමුඛ න්‍යායකින් කියැවෙන්නේ මිනිසුන් වෘකයන් හීලෑ කළේ වෘක පැටවුන් අල්ලාගෙන ඇති දැඩි කිරීමෙන් බවත්, දඩයම් කිරීමට උපකාරී වන පරිදි කාලයත් සමග ආක්‍රමණශීලී බැවින් අඩු පැටවුන් තෝරා ගෙන බෝ කළ බවත්ය.
තවත් ප්‍රමුඛ න්‍යායකට අනුව වෘකයෝ මූලික වශයෙන් තමන්ව ම හීලෑ කර ගත්හ. බියගුළු බවින් අඩු වෘකයන් ආහාර සොයා මිනිස් ජනාවාස වෙත ළඟා වූ අතර, යම් අවස්ථාවකදී, මෙම සම්බන්ධතාව ප්‍රයෝජනවත් බව මිනිසුන්ට වැටහෙන්නට පටන් ගත්තේ ය. මානව ජනාවාස වෙත යාමට තරම් නිර්භීත වූ වෘකයෝ නොනැසී පැවතුණු අතර වැඩි වැඩියෙන් පැටවුන් බිහි කළහ. මෙම 'හීලෑ' ලක්ෂණ ස්වාභාවික වරණය හේතුවෙන් පරම්පරා ගණනාවක් පුරා සම්ප්‍රේෂණය විය.
විද්‍යාවට අනුව, අප සුනඛයින්ට ආදරය කරන්නේ ඇයි?
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥ සහ පරිණාමීය ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ග්‍රෙගර් ලාර්සන් විශ්වාස කරන්නේ, එය අහම්බෙන් සිදුවූ හමුවීමක් බවයි. එය ආරම්භ වූයේ එකිනෙකාට උදව් කළ හැකි බව අපට වැටහුණු විට යැයි ඔහු සිතයි.
"අපි වෘකයන් හීලෑ කළා කියන එකෙන්, අපේ ජීවිතවල බොහෝ සබඳතාවල නැති චේතනාන්විත බවක් අඟවනවා. ඒ නිසා, අපි කරන දේ අපි දැනගෙන හිටියා වගේ දැනෙනවා කියලා අපිට ආරෝපණය කරන්න පුළුවන්, අපිට සැලැස්මක් තිබුණා, ඒ වගේ ම අපි ඒ ගැන බුද්ධිමත් වුණා," මහාචාර්ය ලාර්සන් පැහැදිලි කරයි.
සම්බන්ධතාවයේ ආරම්භයේදී වඩා හොඳ දඩයම් කිරීම වැනි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තිබූ බව ඔහු පවසයි. "ඒ වෘකයන් අපිව එයාලගේ කියලා දැක්කා ම, එයාලා මුරකරුවන් විදිහට වැඩ කරන නිසා, හැමදේම ටිකක් ආරක්ෂිත වෙන නිසා, අපිට ඒකෙන් ප්‍රයෝජන ලැබුණා කියලා මම හිතනවා." "වෘක දෘෂ්ටි කෝණයෙන් බලන කල, නිශ්චිත ආහාර සැපයුමක් තිබුණා වෙන්න පුළුවන්," මහාචාර්ය ලාර්සන් තවදුරටත් පවසයි.
මිනිසුන් සුනඛයින් යොදා ගත් ආකාරය
ගුහා ආරක්ෂා කිරීමට ඔවුන් භාවිත කළ කාලයේ සිට දැන් ගුවන්තොටුපළවල ගමන් මලු පරීක්ෂා කිරීම ඇතුළු භූමිකා දක්වා පරිණාමය වී ඇත
වසර දහස් ගණනක් පුරා, මිනිසුන් දඩයම් කිරීම හෝ ගව පට්ටි පාලනය වැනි නිශ්චිත කාර්යයන් සඳහා තෝරාගත් සුනඛයන් බෝ කිරීමට පටන් ගත්හ. ගුහා ආරක්ෂා කිරීමේ කාලයේ සිට මෙම සත්වයින්ගේ වෘත්තීය භූමිකා සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර, දැන් එම සත්වයෝ මාර්ගෝපදේශක සුනඛයින් ලෙස වැඩ කිරීම මෙන් ම ගුවන් තොටුපළවල සැක සහිත ගමන් මලු පරීක්ෂා කිරීම වැනි භූමිකා සිදු කරති.
ස්වභාවික වරණය සඳහා මෙම මානව මැදිහත්වීම හරහා අද වන විට විවිධ සුනඛ වර්ග සිය ගණනක් දක්නට ලැබෙන්නේ එබැවිනි. මානව සත්ව විද්‍යාඥ ජෝන් බ්‍රැඩ්ෂෝට අනුව, අනෙකුත් ඕනෑ ම ක්ෂීරපායියෙකුට වඩා පුළුල් පරාසයක ශරීර ප්‍රමාණයන් ඇති සතුන් ඔවුන් අතර දක්නට ලැබේ.
සුරතල් සතුන් හරහා ආ හැකි 'මාරයාගෙන්' ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?
ඉතිහාසයේ යම් අවස්ථාවකදී, සුනඛයකුගේ භූමිකාව අපට උපකාර කිරීමේ සිට පවුලේ කොටසක් වීම දක්වා වෙනස් විය.
2020දී, එක්සත් රාජධානියේ නිව්කාසල් විශ්වවිද්‍යාලය විසින් සුරතල් සතුන්ගේ සුසාන භූමියක් විශ්ලේෂණය කරන ලද අතර එහිදී අනාවරණය වූයේ, 1881 මුල් වරට සුරතල් සතුන් සඳහා සුසාන භූමියක් විවෘත කරන ලද දා සිට සුරතල් සතුන් කෙරෙහි අපගේ ආකල්පවල සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බව ය. එම පර්යේෂණයට අනුව, වික්ටෝරියානු යුගයේදී, සුරතල් සතුන්ගේ සොහොන් කොත්වල බොහෝ විට ඔවුන් සහකරුවන් හෝ මිතුරන් ලෙස හඳුන්වා දී තිබුණු නමුත්, පසුව භූමදාන කිරීමේදී සතුන් පවුලේ සාමාජිකයන් ලෙස සැලකිණි. එමෙන් ම දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුන් පවුලේ සාමාජිකයන් ලෙස සැලකීම වැඩි වූ ආකාරය එහි සඳහන් විය.
20 වන සියවසේ මැද භාගය වන විට සුරතල් සතුන්ගේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසය වැඩි වෙමින් පවතින බව පර්යේෂණය මගින් පෙන්වා දී තිබේ.
පිටුපාන්න නොහැකි තරම් හුරුබුහුටියි?
කෝනෙල් විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාලයට අනුව, සුනඛ පැටවුන් උපතින් පසු සති අටත් 12ත් අතර කාලයක් තම මව සහ සහෝදර පැටවුන් සමග සිටීම සුදුසු වේ. මෙය ඔවුන්ගේ සමාජගත වීම සහ සංවර්ධනය සඳහා තීරණාත්මක කාල පරිච්ඡේදයකි.
මේ අතර, 2018දී ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මෙම අවස්ථාවෙහිදී සුනඛයින් ද ඔවුන්ගේ හුරුබුහුටි බවේ උච්චතම මට්ටමට ළඟා වන බව ය.
"ඒ තීරණාත්මක කාලයේදී පැටවු ගොඩක් දුර්වලයි. අම්මා නැතුව ජීවත් වෙන්න බැහැ. ඒ කාලයේදී තමයි මිනිස්සුන්ට වැඩියෙන් ම එයාලා හුරුබුහුටියි කියලා පේන්නේ, ගෙදර අරගෙන ගිහින් කන්න බොන්න දීලා බලාගන්න," මහාචාර්ය ලාර්සන් පවසයි.
තව ද, 2019දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සුනඛයින්ගේ ඇස් වටා පිහිටි මාංශ පේශි පරිණාමය වී ඇති බව ත්, එමගින් 'puppy dog eyes' වැනි මිනිසුන්ට විශේෂයෙන් ආකර්ශනීය ප්‍රකාශන කිරීමට ඔවුන්ට ඉඩ සලසන බවත් ය. මෙම අධ්‍යයනයෙන් කියැවෙන්නේ මෙය ගෘහාශ්‍රිත බල්ලන්ට මිනිසුන් සමග බන්ධනය වීම සඳහා උපකාරී වූ බවයි.
"මිනිසුන් මිත්‍රශීලීයි කියලා බලු පැටියෙක් දැන ගත්තා ම, උගේ සහජ බුද්ධිය ඌට කියනවා, ඌට ජීවත් වෙන්න තියෙන හොඳ ම අවස්ථාව පුද්ගලයෙක් එක්ක බැඳීම කියලා," මානව සත්ව විද්‍යාඥ බ්‍රැඩ්ෂෝ පවසයි.
බොහෝ අය තම සුනඛයින් තමන්ට ආදරය කරන බව විශ්වාස අතර සුනඛයෙකුගේ එම හැසිරීමට බොහෝ දුරට හේතු වන්නේ මිනිසුන් කෙරෙහි ඇති සෙනෙහස බවට විද්‍යාඥයින්ට දැන් සාක්ෂි ලැබී තිබේ.
එමරි විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු සහ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ග්‍රෙගරි බර්න්ස්, සුනඛයින් සහ මිනිසුන් අතර සම්බන්ධතාව ගැන අධ්‍යයනය කරයි. සුනඛයින්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට පහසුවන ලෙස ඔහු fMRI පරීක්ෂාවලදී නිශ්චලව වාඩි වී සිටීමට ඔහු සුනඛයින් පුහුණු කර ඇත. ධනාත්මක අපේක්ෂාවන් සමග සම්බන්ධ මොළයේ කොටසක් බොහෝ දුරට හුරුපුරුදු මිනිසෙකුගේ ගන්ධය මගින් සක්‍රීය වූ බව ඔහුගේ පර්යේෂණයෙන් සොයාගෙන ඇත.
ඒ නිසා අප ඔවුන්ට ආදරය කිරීම වැළැක්විය නොහැකි අතර එම හැඟීම අන්‍යෝන්‍ය වශයෙන් පොදු විය හැකිය.
(Coppy BBC News)