07/03/2026
අද කාලයේ බොහෝ දෙමාපියන් තම දරුවා කතා කිරීමට "ප්‍රමාද" වීම ගැන කනස්සල්ලට පත්ව සිටිනවා. ඔවුන් දරුවාගේ වර්ධන සන්ධිස්ථාන සංසන්දනය කරනවා, දරුවා කතා කරන වචන ගණන් කරනවා, සහ දරුවා කතා කරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
නමුත් බොහෝ විට අපට වැදගත් ප්‍රශ්නයක් මග හැරෙනවා. දරුවා සැබැවින්ම කතා කිරීමට ප්‍රමාදද — නැතිනම් අප පෙරට වඩා දරුවන් සමඟ කතා කරන ප්‍රමාණය අඩු වී තිබේද යන්න.
නූතන ජීවිතය තුළ දරුවන් ශබ්ද, වීඩියෝ සහ විවිධ උපකරණවලින් වටවී සිටියද, ඔවුන්ට සෘජු හා අර්ථවත් සංවාද ලැබෙන්නේ ඉතා අඩුවෙන්. භාෂාව වර්ධනය වන්නේ හුදු ශබ්ද මඟින් නොවේ. එය වර්ධනය වන්නේ සම්බන්ධතාවය මඟිනි.
භාෂාව වර්ධනය වන්නේ අන්තර්ක්‍රියා මඟිනි.
දරුවන් කතා කිරීමට ඉගෙන ගන්නේ වචන ඇසීමෙන් පමණක් නොවේ. ඔවුන් ඉගෙන ගන්නේ:
⭕යමෙකු ඔවුන් දෙස බලා කතා කරන විට,
⭕ යමෙකු ඔවුන්ගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටින විට,
⭕ ඔවුන් සන්නිවේදනය කිරීමට දරන උත්සාහයට යමෙකු ප්‍රතිචාර දක්වන විට,
⭕ යමෙකු ඔවුන් පවසන දේ නැවත පවසමින් එය පුළුල් කරන විට.
තිරයකට (Screen) දරුවෙකුට ඇසෙන සේ කතා කළ හැකිය. නමුත් දරුවෙකු සමඟ කතා කළ හැක්කේ මනුෂ්‍යයෙකුට පමණි. දරුවන්ට අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනය ප්‍රමාණවත් ලෙස නොලැබෙන විට, ඔවුන් වීඩියෝ හෝ රූපවාහිනියෙන් දිනකට වචන දහස් ගණනක් ඇසුවද, ඔවුන්ගේ භාෂා වර්ධනය අඩාල වෙනවා.
අපගේ නිවෙස් කෙතරම් ඝෝෂාකාරී වුවද ශබ්දවලින් පිරී තිබුණද, බොහෝ විට සංවාදවලින් තොරයි.
දෙමාපියන් කාර්යබහුලය, වෙහෙසට පත්ව සිටි. එකවර වැඩ රාශියක නිරත වේ.
ආහාර ගන්නා වේලාවන් කෙටි වී තිබේ, නැතහොත් නිහඬ වී තිබේ.
ක්‍රීඩා කරන කාලය වෙනුවට තනිවම තිරය දෙස බලා සිටින කාලය (Screen time) ආදේශ වී ඇත.
වැඩිහිටියන් දරුවා සන්නිවේදනය කරන තෙක් නොසිට, ඔවුන්ගේ අවශ්‍යතා කලින්ම හඳුනාගෙන ඉටු කර ගන්නවා.
එම නිසා දරුවන්ට යමක් ඉල්ලීමට, විස්තර කිරීමට හෝ සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවේ — ඔවුන් කරන්නේ ඇඟිල්ලෙන් පෙන්වීම, තිරය ස්වයිප් (Swipe) කිරීම හෝ ලබා දෙන දේ ලබා ගැනීම පමණි. ශාරීරික මාංශ පේශි මෙන්ම, භාෂා මාංශ පේශිද භාවිත නොකරන විට දුර්වල වේ.
දරුවන්ට වචන අවශ්‍ය නොවන විට, ඔවුන් ඒවා පුහුණු කරන්නේ නෑ.
දරුවෙකු යමක් දෙසට ඇඟිල්ල දිගු කළ සැණින් එය ලැබෙන්නේ නම්, ඔවුන් වචනවල ඇති බලය ඉගෙන ගන්නේ නෑ. වැඩිහිටියන් ඉක්මන් වී දරුවාගේ වැකිය සම්පූර්ණ කිරීමට හෝ අනුමාන කිරීමට ගියහොත්, දරුවාට පහත අවස්ථා මග හැරේ:
⭕ උත්සාහ කිරීම
⭕ වැරදි කිරීම
⭕ තමන් පවසන දේට සවන් දෙන බව දැනීම
⭕ දියුණු වීම
අපි බොහෝ විට ඉතා ඉක්මනින් දරුවාට උදවු කිරීමට යාමෙන්, නොදැනුවත්වම ඔවුන්ගේ සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය නැති කර දමනවා.
වැඩියෙන් කතා කිරීම සහ නිවැරදිව කතා කිරීම එකක් නොවේ.
මෙහි අදහස දරුවා වටා නිතරම කියවීම නොවේ. එය ප්‍රතිචාරාත්මක කතාබහ (Responsive talking) පිළිබඳවයි:
⭕ දරුවා ඔබ දෙස බලන තෙක්, සංඥාවක් කරන තෙක් හෝ ශබ්දයක් කරන තෙක් රැඳී සිටින්න.
⭕ දරුවා අවධානය යොමු කර ඇති දේට ප්‍රතිචාර දක්වන්න.
⭕දරුවා භාවිතා කළ වචනවලට වඩා මදක් වැඩිපුර වචන එකතු කරන්න.
උදාහරණයක් ලෙස:
දරුවා: "බෝල."
වැඩිහිටියා: "ඔව් — රතු බෝලයක්! බෝලය දානවා!"
මෙය ස්වභාවිකවම වචන මාලාව, වාක්‍ය ව්‍යුහය සහ විශ්වාසය ගොඩනංවයි.
මෙය ඔබට කෙරෙන දෝෂාරෝපණයක් නොව, අවබෝධ කර දීමකි.
දෙමාපියන් මෙහිදී අසාර්ථක වී නැත. ඔවුන් දරුවන් ඇති දැඩි කරන්නේ පෙරට වඩා බෙහෙවින් වෙනස් ලෝකයක. මෙම පණිවිඩය වරදකාරී හැඟීමක් ඇති කිරීමට නොව, අවස්ථාවන් පෙන්වා දීමටයි. හොඳම දේ නම්, අන්තර්ක්‍රියා වැඩි කරන ඕනෑම අවස්ථාවක භාෂා වර්ධනය සිදු විය හැකි වීමයි. කුඩා වෙනස්කම්වලින් විශාල වෙනසක් කළ හැකිය.
අපට කළ හැකි වෙනස්කම් මොනවාද?
✅ එදිනෙදා වැඩ කටයුතු අතරතුර දරුවා සමඟ කතා කරන්න (නාන විට, උයන විට, ඇඳුම් අන්දවන විට).
✅ දරුවා ප්‍රතිචාර දක්වන තෙක් මඳක් රැඳී සිටින්න.
✅ ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට දරුවාට සුළු වෙහෙසක් ගැනීමට ඉඩ දෙන්න.
✅ නිෂ්ක්‍රීයව තිරය දෙස බලා සිටින කාලය (Screen time) අඩු කරන්න.
✅ එකට පොත් කියවන්න, සින්දු කියන්න සහ සෙල්ලම් කරන්න.
✅දරුවා උනන්දු වන දේ ගැන ඔවුන් සමඟ කතා කරන්න.
දරුවන් දුර්වල නැත. ඔවුන් කම්මැලි නැත. ඔවුන්ට හැකියාවන් නැතිවා නොවේ. ඔවුන් හුදෙක් හැදී වැඩෙන්නේ, ඔවුන් සමඟ කතා කරන ප්‍රමාණය අඩු සහ ඔවුන්ට පෙන්වන (දර්ශන) ප්‍රමාණය වැඩි ලෝකයක ය.
අපි දරුවන්ට නැවත සංවාදය ලබා දෙන විට, අපි ඔවුන්ට ඔවුන්ගේ හඬ නැවත ලබා දෙනවා.
සටහන,
නදීෂා බණ්ඩාර
කථන හා භාෂා චිකිත්සක
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala