14/12/2025
අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ ඉතිහාසයෙන්…
මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මාසම්බුදු රජුන් ලෙස පහළ වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩසිට බුද්ධකෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ළය මඬලෙන් උපන් ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා විසින් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය.
එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා මගින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනුභාව සම්පන්නව බැබලෙමින් පවතින කල්හි යලිත් එයට අනතුරු පහළ වූ විට ධර්මාශෝක අධිරාජයාගේ සහායයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවෙන් යලිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුල පතුරුවා හැරීමේ පරම පිවිතුරු හැඟීමෙන් යුතුව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.
එහිදී අපගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ළය මඬලෙහි උපන් බුදු පුතුනුවන් වහන්සේ නමක් වූ හැම කල්හි පිවිතුරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහරහතන් වහන්සේව ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමඟ මෙම ශ්‍රී ලංකාවට එවා වදාරණ ලද්දේ ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරණ ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අපගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකමත් වූයේ ය.
එසේ උතුම් බුදු සසුන රක්ෂිතව ගෝපිතව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත්ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථිය පිණිස ම වන්නේ ය” කියා ලක්දිව එකඡත‍්‍ර කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඬුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇත එක්තරා අනාගත වාක්‍යයක් කියවන්නට ලැබුනේ ය.
එය වනාහි දෙවන පෑතිස් රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද අනාගත වාක්‍යකි. එනම් “පින්වත් මහරජාණෙනි, තොපගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. එමෙන් ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ නොයෙක් මාණික්‍යන්ගෙන් විභූෂිත වූ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නව මහලින් සුසැදි ලෝවාමහාප්‍රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය.” මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණි අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රීතියෙන් උද්දාමව අත්පොලසන් දුන්නේ ය. ඉක්බිති මහමෙවුනා උයනට රහතුන් වහන්සේලා ප්‍රධාන භික්ෂු සංඝයා රැස් කරවා “පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලාගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා!”
එකල්හි භික්ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී භරණී නම් දෙව් දුවගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැකගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේ ද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශණීය වූ දිව්‍ය විමානයක උපන්නී ය.
එකී දිව්‍ය විමායෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හි දහසක් දෙවඟනන් පිරිවරන ලද්දී ය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යමය දිව්‍යප්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කූටාගාර දහසකින් සැරසුනේය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වූයේ ය. සීහපංජරකාවාට නැමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූශිත වූ අම්බට්ඨික නම් වූ ප්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුවගේ ප්‍රාසාදය දැකගන්නට ලැබුනේ ය. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය වස්ත‍්‍රයක සටහන් කොට භික්ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක.
එකල්හි එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින්ම පැහැදී නවමහල් ලෝවාමහප්‍රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පවත්වා අපමණ ප්‍රීතියට පත්වූයේ ය. ඉක්බිත් දුටුගැමුණු නිරිඳුන් ලක්ෂයක් රන් කහවනු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියවන්නට ලැබුණේ ය. එහි සඳහන් වූයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේගේ අනාගත වාක්‍ය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.
එකල්හි ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් යුතු රජතුමා එදින රාත‍්‍රියේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. ‘මම් වනාහි ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ! එය මට මහත් ලාභයක්ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි’ සිතමින් සිටියේ ය.
එකල්හි මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව එකරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථූපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හි දෙදෙව්ලොවට අධිපති ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ “එම්බා දිව්‍ය පුත‍්‍රය, ගෞතම සසුනෙහි පහන්ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි” පවසා සිටියේ ය.
පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්තප‍්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන්ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තන්හි ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප‍්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහුය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප‍්‍රමාණ වූවාහුය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියළු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.
අනුරපුරෙන් නැගෙනහිර දිශායෙහි සත්යොදුනක් ගිය තන්හි මහවැලි ගෙඟන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහාසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතර යොදුනක් ගිය තන්හි සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තන්හි අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස්යොදුනක් ගිය තන්හි උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප‍්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලූ ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය.
අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප‍්‍රමාණයෙන් විශාල වූ දියබෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියළු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වූයේ ය.
මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය. එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.
අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප‍්‍රාඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙනා කල්හි නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි ඍද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසිදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මත ඍද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිඟු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියළු සිදුරු වැසෙන්නට ඒ මත නවනීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ‍්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වූ ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරිගල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය.
මේ ආකාරයෙන් ගෞතම බුදු රජුන් කෙරෙහි පිහිටි අපමණ ශ‍්‍රද්ධාවෙන් යුතුව අපගේ දුටුගැමුණු මහරජාණන් ඒ රිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලි මහාචෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වා”යි ආදර බැතියෙන් යුතුව භික්ෂු සංඝයාට ඇරයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද “පින්වත් ජනයනි, සෙට දිනයේ අපගේ බුදුඑරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා” යැයි කියා සිටියේ ය.
ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මග දෙපස අලංකාර කරවා මහාවිහාර භූමියට ඇතුලූ වන නුවර සතර දොරටුවහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත‍්‍ර තබන ලද්දේ ය. ප‍්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වී සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප‍්‍රාප්ත වන කල්හි සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කණ්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහැරේ ඉදිරිපස ගමන් කළාහු ය.
ගෞතම බුදු සසුනේ පිළිසරන ලැබූ ක්ෂීණාශ‍්‍රව මහරහතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක් දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.
විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත‍්‍ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තිණ්ණ රහතන් වහන්සේ එක්ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.
පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ධ්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප‍්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනූසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නොහැක්කේ ම ය.
මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදු රජුන්ගේ ශ‍්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිරිඳානෝ ශ‍්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව සුවඳ මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටවන බිමට පැමිණියාහු ය. ඒ බිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳින ලද රිදියෙන් නිමවූ සීමා දණ්ඩ ගෙන චෛත්‍ය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේය. එහිදී එහි ප‍්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේ ය. නොපසුබට වීර්යය ඇති ශ‍්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දාවූ රනින් ද රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය.
එකල්හි දුටුගැමුුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප‍්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේ ය. අනතුරුව රහතන් වහන්සේලා ප‍්‍රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවා ය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයන් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණ මාලී මහා ස්ථූපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන් ගේ සිත් නිවන් මඟට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ දේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වූවාහු ය. දහසක් ගිහි ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහඅට දහසක් භික්ෂූන් වහන්සේලා ද, දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වූවාහු ය.
මහා සෑයේ ධාතු ගර්භය කරවීම
ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමාගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස දහඅට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය. අනතුරුව දුටුගැමුණු මහ නිරිඳාණන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා විසින් බැල්ම හෙලන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. “පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දර සෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමියි” එම වඩුතුමා පැවසූ කල්හි නරේන්ද්‍ර තෙමේ අතිශයින්ම සතුටට පත්වූයේ ය.
සැදැහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නොපෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේ දැයි සිත සිතා සිටින කල්හි ඒ ඒ දිනයට වුවමනා සියළු ගඩොල් දේවානුභාවයෙන් මහාසෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේ ය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින් ම සන්තෝෂයෙන් යුක්ත වූයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නොකළ යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒ ඒ දොරටුවෙහි සොළොස්ලක්ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත‍්‍රාභරණයන් ද ප‍්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විළවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ බෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය කර්මාන්තය කරවන්නා වූ සියල්ලන්ට ම අනුකූල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.
මහා චෛත්‍ය කරවනු ලබන කල්හි ඒ සඳහා වෙහෙස මහන්සි වූ සියදහස් සංඛ්‍යාත අනේක ජනයා පහන් සිතුවිලි උපදවා ගනිමින් බොහෝ පින් රැස් කර ගත්තාහු ය. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් පිවිතුරු ශ‍්‍රද්ධාව හේතුවෙන් සුගතියේ උපදින්නේ යැයි දන්නා වූ සැදැහැවත් ජනයා සතුටු සිතින් පින්කම් කරන්නාහු ය.
මෙම ස්ථූපය වඩාත් සවිමත් වීම පිණිස මහා චෛත්‍යස්ථානයෙහි ගඩොලින් නිමවන ලද ප‍්‍රධාන මල් ආසන තුන ම ඍද්ධි සම්පන්න වූ රහතන් වහන්සේලා විසින් පොළොව සමකොට ගිල්ලවන ලද්දේ ය. මේ ආකාරයෙන් වාර නවයක් තුලදීම ඍද්ධිමත් රහතන් වහන්සේලා විසින් ඉදිකරන සියල්ල ගිල්ලවන ලද්දාහු ය. එවිට උන්වහන්සේලා කරා පැමිණි රජතුමා පසඟ පිහිටුවා වන්දනා කොට “ස්වාමීනී, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහුය. තනවන ලද සියල්ල පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැයි” විචාරන කල්හි පින්වත් මහරජාණෙනි තථාගතයන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහාසෑය නොගිලෙනු පිණිස ඍද්ධිමත් භික්ෂූන් විසින් මෙය කරන ලද්දේ ය. ඒ ගැන සංකා නොඋපදවා චෛත්‍ය කර්මාන්තය කළ මැනවැයි වදාළ සේක.
එය අසා චිත්තප‍්‍රසන්න වූ රජතුමා චෛත්‍ය කර්මාන්තය කරවන්නට පටන් ගත්තේ ය. එකල්හි භික්ෂු සංඝයා වහන්සේ උත්තර සුමන යන ඍද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවා “එම්බා ආයුෂ්මතුනි, මහාසෑයෙහි දාගැබ පිණිස මේඝ වර්ණ පාෂාණයන් ගෙන එනු මැනවැයි” වදාළ සේක. එකල්හි ඒ දෙදෙනා වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසූ රියන් දිය පළල ඇති මණ්ඩලාකාර වූ මනා පැහැයෙන් යුතු පාෂාණයන් ගෙන වැඩියාහු ය. ඍද්ධිමත් රහතන් වහන්සේලා මල් ආසන මත එක් ගලක් තැන්පත් කළ සේක. ගල් සතරක් සතර පසින් සවි කළ සේක.
සාසනමාමක වූ දුටුගැමුණු නිරිඳාණෝ ස්වර්ණමාලි මහා චෛත්‍ය ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දාහු ය. එම ධාතු ගර්භය මධ්‍යයෙහි රනින් නිමවූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවන ලද්දේ ය. ගර්භය මුදුනේ හිරු මඬල ද, සඳ මඬල ද, තාරකා පන්තීන් ද කරවන ලද්දේ ය. එම බෝධීන් වහන්සේ ගේ නැගෙනහිරින් ප‍්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේ ය. ඒ පිළිම වහන්සේට සුදු සේසත් දරන්නා වූ මහබඹු ගේ රුව ද කරවන ලද්දේ ය. විජයුත්තරා නම් වූ ශංඛය අතැති සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන් වන් වීණාවක් ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ඇතුපිට නැඟී සිටින අත්දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිතව පලා යන රුව ද කරවන ලද්දේ ය.
සහම්පතී බ‍්‍රහ්මරාජයා ප‍්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව වදාරන අයුරු ද කරවන ලද්දේ ය. යසකුල පුත‍්‍රයා ගේ උතුම් පැවිදි බව ද භද්දවග්ගිය කුමාරවරුන් ගේ උතුම් පැවිදි බව ද මෙම සසුනෙහි ප‍්‍රථම රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේ ය. සැරියුත්, මුගලන්, මහා කස්සප, අනුරුද්ධ, මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බිල, භද්දිය, ආනන්ද ආදී අසූ මහ රහතන් වහන්සේලා ගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.
රුවන් සක්මන ද කරවන ලද්දේ ය. රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දේ ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද, ගන්ඩබ්බ වෘක්ෂ මූළයේ ප‍්‍රාතිහාර්ය පෑම ද, දෙව්ලොව වැඩම කිරීම ද, දේවාරෝහන ප‍්‍රාතිහාර්යය ද, මහා සමය සූත‍්‍ර දේශනාව ද, රාහුලෝවාද සූත‍්‍ර දේශනාව ද, මහා මංගල සූත‍්‍ර දේශනාව ද, ධනපාල සමාගමය ද, අංගුලිමාල දමනය ද, ආලවක දමනයද, අපලාල දමනය ද, බාවරී බ‍්‍රාහ්මණයා ගේ ශිෂ්‍යන් වන අජිත මෛත්ත්‍යෙ ආදී පිරිස් තථාගත ශ‍්‍රාවකත්වයට පැමිණෙන පාරායන සමාගමය ද කරවන ලද්දාහු ය.
එමෙන් ම ආයුසංස්කාරය අත් හැරීම, චුන්දකම්මාර පුත්තගේ අවසන් දන් පිළිගැනීම, පුක්කුස මල්ල රජදරුවන්ගේ වස්ත‍්‍ර පිළිගැනීම, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ උතුරු දෙසට හිසලා තනවන ලද යහනේ සැතපී පිරිණිවනට වඩිනා රුව ද කරවන ලද්දාහු ය. දෙවි මිනිසුන්ගේ විලාපය ද මහාකස්සප මහරහතන් වහන්සේ සම්බුදු සිරිපා වන්දනා කිරීම ද සඳුන් දර සෑයේ ගිණි ඇවිලීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයා විසින් ධාතු බෙදා දීම ද කරවන ලද්දේ ය.
එමෙන් ම වෙස්සන්තර ජාතකය ද තුසිත දෙව් ලොව සන්තුෂිත දෙව් කුමරු ලෙස වාසය කිරීම ද, මහාමාය දේවිය කුස පිළිසිඳ ගැනීම ද, බෝසත් උපත ද, යශෝදරා සමඟ වන විවාහ මංගල්‍යය ද, මහා අභිනිෂ්ක‍්‍රමණය ද, දුෂ්කරක‍්‍රියාව ද, සුජාතා සිටු දියණිය ගේ කිරිපිඬු පූජාව ද, මාර පරාජය ද කරවන ලද්දාහු ය. දෙව් ලොව වසන්නා වූ තිස් තුන් දිව්‍ය කුමරුවෝ ද, දෙතිසක් දිව්‍ය කුමරියෝ ද, අටවිසි යක් සෙනෙවියෝ ද, අනේක වූ දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය. පුන් කලස් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද, තූර්ය වාදන කරන්නා වූ දෙවි දේවතාවෝ ද, සරසන ලද කැඩපත් අතින් ගත් දෙවි දේවතාවෝ ද, මාලා දාමයන් අතින් ගත් දෙවිදේවතාවෝ ද, ධජ පතාකයන් අතින් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය.
එමෙන්ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. චෛත්‍ය ගර්භය ආලෝකමත් වීම පිණිස එළිය දෙන මැණික් වර්ග ද ගොඩ ගසන ලද්දේ ය. මෙසේ සියලූ රූපයෝ ඝන රනින් ම කරන ලද්දාහු ය. අභිඥාලාභී මහාප‍්‍රාඥ වූ ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේ ගේ අධීක්ෂණය යටතේ චෛත්‍ය කර්මාන්තය මැනැවින් සම්පූර්ණ වූයේ ය. රජුන් ගේ රාජ ඍද්ධිය ද, දෙවියන්ගේ දේව ඍද්ධිය ද, රහතුන්ගේ ආර්ය ඍද්ධිය ද එකට කැටි වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයානන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවන ලද්දේ ය.
ධාතු තැන්පත් කිරීම…
තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා ස්ථූපය කරවන්නා වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මේ අයුරින් ධාතු ගර්භයේ කර්මාන්ත නිමා කරවා භික්ෂු සංඝයා වන්දනා කොට “පින්වත් ස්වාමීන් වහන්ස, මහත් ශ‍්‍රද්ධාවෙන් යුතු මා විසින් මහා සෑයෙහි ධාතු ගර්භයෙහි සියළු කර්මාන්තයෝ සම්පූර්ණ කරන ලද්දාහු ය. ඉතින් ස්වාමීනි සෙට දවසෙහි දී ධාතු නිධන් කරන්නෙමි. ඒ සඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ දැයි නුඹ වහන්සේලා දන්නා සේක්වා”යි දැනුම් දී සිටියේ ය. එකල්හි භික්ෂු සංඝයා විසින් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට සුදුසු භික්ෂුව වශයෙන් ෂඞ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේ ගේ නම යෝජනා කරන ලද්දාහු ය. ඒ සොණුත්තර නම් රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ සුදුසුකම් ලැබුවේ කෙසේ ද යත් ඒ අතීත ප‍්‍රවෘත්තිය මේ අයුරින් දත යුත්තේ ය.
අපගේ ස්වාමී වූ ලෝකනාථ වූ ජිනේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සන් ගේ හිත සුව පිණිස දනව් සැරි සරා වඩින කල්හි ගංගා නදීතෙර වාසී වූ නන්දුත්තර නම් තරුණයෙක් බුදු රජුන් කෙරෙහි ප‍්‍රසන්න වූයේ ය. හෙතෙමේ නිරන්තරයෙන් බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝයා නිමන්ත‍්‍රණය කොට දන් වැළඳවන්නේ ය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ප‍්‍රයාගප‍්‍රෂ්ඨාන නම් වූ ගංතොටින් සංඝයා සමඟ නැව් නැගි සේක. එසේ නැව් නැග ගංගා නදියේ වඩිනා සේක. එකල්හි මහා ඍද්ධිමත් භද්දජි නම් මහරහතන් වහන්සේ ගංගා නදියේ මැද ජලය කැළඹුන තැනක් දැක තමන් ගේ පෙර භවය සිහිකොට භික්ෂු සංඝයා හට මේ වචන පවසන ලද්දේ ය.
“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මම් වනාහී එක්තරා යුගයක දී මහාපනාද නම් රජකෙනෙක්ව සිටියෙමි. එකල්හි මා විසින් වාසය කරන ලද විසිපස් යොදුන් රන් වන් ප‍්‍රාසාදය දැන් මේ ගඟ දිය තුළ ඇත්තේ ය. ඒ ප‍්‍රාසාදය කරා පැමිණෙන නදී ජලය ඝට්ඨනය වීම නිසා මෙතන්හි දිය පැකිළීම වන්නේ ය.” එකල්හි ඇතැම් භික්ෂූන් වහන්සේලා එය නොපිළිගෙන ශාස්තෘන් වහන්සේට සැල කළාහුය. එවිට සර්වඥයන් වහන්සේ “පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ සංඝයා ගේ සැකය දුරු කළ යුතු යැයි වදාළ කල්හි භද්දජි මහරහතන් වහන්සේ විසින් මෙබඳු ප‍්‍රාතිහාර්යයක් කරන ලද්දේ ය. එනම් උන්වහන්සේ අහසට පැන නැඟී සේක. අහස් තලයෙහි පළඟක් බැඳ වැඩසිටි සේක. අනතුරුව සියුම් අතක් දිගුකොට බඹ ලොව පිහිටි සළුමිණි සෑය තම අත මත තබාගෙන නැවත එය රැස්වූ ජනයාට ද, සංඝයාට ද දැක්වූ සේක. යළි එය බඹ ලොව තිබූ තැනම තැන්පත් කළ සේක. ඉක්බිති භද්දජි මහරහතන් වහන්සේ ගංගා නම් ගඟ දිය මත සක්මන් කොට මහපට ඇඟිල්ලෙන් ප‍්‍රාසාදයෙහි කොත් කැරැල්ල පටලවාගෙන එය ජලයෙන් ඔසවා උඩට මතුකොට නැවතත් ඉතා සෙමින් ජලයේ බැස්සවූ සේක.
මෙම ප‍්‍රාතිහාර්යය දුටු නන්දුත්තර නම් තරුණයා අතිශයින් ම පුදුමයට පත් වී “අහෝ! රහතුන් වහන්සේලාගේ ගුණ ආශ්චර්යයි. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණය අතිශයින්ම ආශ්චර්යයි. මට ද මා කරන ලද්දා වූ මේ පුණ්‍යාණුභාවයෙන් මෙවැනි ආකාරයෙන් ඍද්ධියෙන් යුතුව ධාතුන් වහන්සේලා ගෙන ඒමට හැකියාව ලැබේවා” යැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ය. ඒ නන්දුත්තර තරුණයා ලංකාද්වීපයේ උපත ලබා සෝණුත්තර නමින් පැවිදිව උපසම්පදාවෙන් සොළොස් වසක් ඇත්තේ වී නමුත් උන්වහන්සේට ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ පින ඇති බව සංඝයා වහන්සේ දැන ගත් සේක. සංඝයා වහන්සේ “ආයුෂ්මත් සෝණුත්තරය, ස්වර්ණමාලී මහාසෑයේ නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා රැගෙන එනු මැනැව” යි වදාළ කල්හි “ස්වාමීනී, මම ධාතුන් වහන්සේලා කොයින් රැගෙන එම්ද විචාරණ ලද්දේ ය. එවිට භික්ෂු සංඝයා වහන්සේ මෙසේ වදාළ සේක. “ආයුෂ්මත් සෝණුත්තරය, පිරිනිවන් මංචකයේ සැතපී වැඩහුන්නා වූ අපගේ ශාස්තෘ වූ ලෝකනාථ සර්වඥරාජෝත්තමයන් වහන්සේ ලෝසතුන් ගේ යහපත උදෙසා සක්දෙව් රජාණන් හට මෙසේ වදාරණ සේක. “පින්වත් දේවේන්ද්‍රය, පිරිණිවන් පෑමෙන් පසු තථාගත ශරීරයෙහි ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතිරි වන්නේ ය. එයින් එක් ද්‍රෝණයක් රාම ග‍්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබන්නේ ය. එය නාලොවට ලැබෙන්නේ ය. නාරජවරුන් විසින් පුදනු ලබන්නේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ උදෙසා ලංකාද්වීපයේ කරවනු ලබන්නා වූ මහාස්ථූපයෙහි නිධානය පිණිස වන්නේ ය.”
මේ කාරණාව දන්නා වූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැන රජගහ නුවර නගරාසන්නයේ අජාසත් මහනිරිඳුන් විසින් කරවන ලද ස්ථූපයට ද්‍රෝණ සතක් පමණක් තැන්පත් කරවූ සේක. රාමග‍්‍රාමයෙහි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගත් සේක. ධර්මාශෝක අධිරාජ්‍ය තෙමේ ධාතුන් වහන්සේලා නිධන්කොට අසූ දහසක් ස්ථූප කරවන්නේ අට වැනි ද්‍රෝණයද ගෙන්වන්නට අදහස් කළේ ය. එකල්හි රහතන් වහන්සේලා ශ‍්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවන මහාසෑය පිණිස ඒ ධාතුන් වහන්සේලා වෙන් කරන ලද්දේ යැයි පවසා ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක්වූ සේක.
රාමග‍්‍රාමයෙහි වූ ස්ථූපය වනාහී නදී තීරයෙහි කරවන ලද්දේ ය. එකල්හි ගංගා නදියෙහි සැඩ දිය පහරින් ක‍්‍රමක‍්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්ථූපය දෙකඩ වී ගිය කල්හි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංගා නදියට වැටුනේ ය. එය ක‍්‍රමක‍්‍රමයෙන් මහාසමුද්‍රයට ඇදී ගියේ ය. එකල්හි නා රජවරු එම කරඬුව දැක මහත් චිත්තප‍්‍රමෝදයෙන් යුතුව නම් මංජේරික නම් නාග භවනට ගෙන ගියාහු ය. ඉකිබිති මහාකාල නම් නාග රාජයා හට මෙය දැනුම් දුන්නාහු ය. එය ඇසූ මහාකාල නාරජ තෙමේ ලක්ෂ ගණනින් නාගයන් පිරිවරන ලද්දේ අතිශයින් අලංකාර මණ්ඩපයක තැන්පත් කොට පුදනු ලබන්නේ ස්වකීය නාගභවනට වඩමවා ගන්නා ලද්දේ ය. ඉක්බිති නාරජ තෙමේ එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්‍යමය ස්ථූපයක් කරවූයේ ය. නිරතුරුවම රැකවල් කරන ලද්දේ ය. එහෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි එහි ගොස් ඒ ධාතුන් වහන්සේලා වැඩමවා එන මැනැව. හෙට දවසේ මහරජාණෝ ධාතු නිධානය කරවන්නාහු ය.”යි සංඝයා විසින් වදාරණ ලද්දේ ය.
දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘත්‍යයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේ ය. ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත‍්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවූයේ ය. නරේන්ද්‍ර තෙමේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රථ පාබල යන සිව්රඟ සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන් ගේ උපහාරයන් මැද ඉදිරියට යන්නේ ය. සෛන්ධව නම් වූ සුදු අශ්වයන් බඳනා ලද සරසන ලද්දා වූ රථයට නැඟුණු කණ්ඩුල හස්තිරාජයා සර්වාභරණයෙන් විභූෂිතව රන් කරඬුව කුම්භස්තලය මත තබා සේසත යට සිටියේ ය. එම රථය පිරිවරා ගත් දහස් ගනන් ස්තී‍්‍ර පුරුෂයෝ නොයෙක් මල් ද, නොයෙක් ආලෝකයන් ද දරා සිටියාහු ය. මහා මේඝ වනෝද්‍යානය සක්දෙව් රජුගේ නන්දන උයන මෙන් ඒකශී‍්‍රයෙන් විරාජමාන වන්නට පටන් ගත්තේ ය. ධ