Dr Tharanga Samarasekara

Dr Tharanga Samarasekara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Tharanga Samarasekara, Endocrinologist, Colombo.

Specialist in Diabetes & Hormone Disorders, Researcher, Author, Trainer in Advanced Diabetes Care, Internationally Acclaimed Speaker; Helping People with Diabetes Worldwide

ගංවතුර උවදුරු, අවතැන්වීම් මැද ඔබගේ දියවැඩියාව පාලනය කරගන්න!-------------------------------------------------------------...
01/12/2025

ගංවතුර උවදුරු, අවතැන්වීම් මැද ඔබගේ දියවැඩියාව පාලනය කරගන්න!
--------------------------------------------------------------
ගංවතුර සහ හදිසි ආපදා දියවැඩියාව මෙන්ම අනෙක් බෝනොවන රෝග පාලනය කරගැනීම ඉතාම අසීරු කරවන බව ආයෙත් ඉතින් කියන්න දෙයක් නැහැ. එත් මෙන්න මේ පියවර කිහිපය ට්‍රයි කළොත් මේ අසීරු අවස්ථාවේ රෝග පාලනය කරගන්න උදව් වෙයි.
උන් හිටි ස්ථාන නැති වෙලා, හරියට කෑමක්, බොන්න වතුර, අනෙක් සෞඛ්‍ය ආරක්ෂක කටයුතු කරගන්න බැරිව ඉන්නකොට, හරියට බෙහෙත් ගන්නවා කියන එක අතපසු වෙන එක පුදුමයක් නැහැ. එත් වෙනද වගේම පුළුවන් විදියට බෙහෙත් ගන්න උත්සාහ කරන්න.

1. ඔබගේ බෙහෙත් ටික සුරක්ෂිතව, සිසිල්, වියලි ස්ථානයක තියා ගන්න.
බෙහෙත් පෙති කවර පිටින්ම වතුර ලීක් වෙන්නේ නැති ලෙස පොලිතින් බෑග් එකකට දමා, හොඳින් පියන වැසිය හැකි ප්ලාස්ටික් බෝතලයක් ඇතුලට දාගන්න. ඉන්සුලින් තියා ගන්න ෆ්‍රිජ් එකක් නැත්තම් බය වෙන්න එපා. දින 28ක් කාමර උෂ්ණත්වයේ වියලි ස්ථානයක තියා ගන්න පුළුවන්. හැබැයි හිරු ආලෝකය වැටෙන්නැතුව, ගොඩක් රස්නේ නොවෙන්න, සිසිල් වියලි, අඳුරු තැනක සුරක්ෂිතව තියන්න. වීදුරු බෝතලේ නිසා බිඳෙන්නැතුව තියා ගන්න. මැටි මුට්ටියක් තියෙනවා නම්, ඒක බාගයක් වතුර පුරවල, ඉන්සුලින් වයල් එක වතුරේ ගැවෙන්නේ නැති විදිහට නූලකින් එල්ලලා, මුට්ටියේ කට වහලා, සිසිල් අඳුරු තැනක තිබ්බොත් ඉන්සුලින් ගුණාත්මකභාවය ආරක්ෂා වනු ඇත.

2. බෙහෙත් නොගෙන ඉන්න එපා!
මානසික පීඩනය සහ සුදුසු පරිදි ආහාර නොලැබීම නිසා ඔබගේ සීනි ඉහල යා හැක. එනිසා සූපුරු පරිදි අඛණ්ඩව බෙහෙත් ගන්න. ඉන්සුලින් ගන්නෙ නම්, ආහාර ලැබෙන පරිදි ගන්න. ඔබගේ බෙහෙත් නැති වී ඇත්නම් අවස්ථාවක් ලැබුණු වහාම, සෞඛ්‍ය නිළධාරියෙකුට හෝ medical camp තිබේ නම් එයට ගොස් උදව් ඉල්ලන්න.

3. රුධිරයේ සීනි මට්ටම ගැන අවදානයෙන් ඉන්න.
ඔබට අධිකව පිපාසය එයි නම්, මුත්‍රා නිතරම යයි නම්, වෙනදාට වඩා විශාල වෙහෙසක් දැනේ නම්, ඇස් බොඳ වෙයි නම්, බඩේ කැක්කුමක් ඇති වෙයි නම් මෙවා සීනි මට්ටම ඉහල යන ලක්ෂණ විය හැක.
ශරීරය වෙවුලීම, දහඩිය දැමීම, කරකැවිල්ල හෝ එකවරම ඇතිවන අධික කුසගින්න, ක්ලාන්ත බව රුධිරයේ සීනි මට්ටම සීනි අඩු වීමේ ලක්ෂණ විය හැක. ඔබට ග්ලූකෝමීටරයක් (Glucometer) එකක් තියෙයි නම්, ඔබට මෙවැනි වෙනසක් දැනුණු විට වහාම පරීක්ෂා කරලා බලන්න.

4. ලැබෙන විධියට සුදුසු පරිදි ආහාර ගන්න බලන්න.
ආහාර ලබා ගැනීමේ හැකියාව සීමිත විය හැකි නමුත්, සරල, සමබර ආහාර වේලක් ඉලක්ක කරගන්න. සහන ද්‍රව්‍ය ලෙස බොහෝ විට බෙදා හරින සීනි සහිත පාන වර්ග (soft drinks) හෝ කෙටි ආහාර (short eats, bakery items) වැඩිපුර ගැනීමෙන් වළකින්න. සජලනය (hydration) පවත්වා ගැනීමට හැකි සෑම විටම පිරිසිදු ජලය පානය කරන්න.

5. ඔබේ පාද ගැන සැලකිලිමත් වන්න!
විශේෂයෙන් දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා ගංවතුරේ ඇවිදීම පාද ආසාදන අවදානම වැඩි කරයි. ඔබේ පාද පිරිසිදු ජලයෙන් සෝදන්න, හොඳින් වියළා ගන්න, කැපුම් හෝ බිබිලි සඳහා දිනපතා පරීක්ෂා කරන්න. විශේෂයෙන් ඇඟිලිකරු අතර පරීක්ෂා කරන්න. තුවාල, ඉදිමීම හෝ රතු පැහැය ඔබ දුටුවහොත් වහාම වෛද්‍ය උපකාර ලබා ගන්න.

6. ආතතිය (Stress) එක මැනේජ් කර ගන්න ට්‍රයි කරන්න, පුළුවන් හැම විටම විවේක ගන්න.
අවතැන් වීම කායික සහ මනසික වශයෙන් වෙහෙසට පත් කරයි. එබැවින් විවේක ගැනීමට, ගැඹුරින් හුස්ම ගැනීමට සහ ඔබට අධික ලෙස ආතතිය දැනෙනවා නම් කවුරුහරි සමීප යමෙකු සමඟ කියන්න.

7. අවස්ථාවක් ලැබුණු පළමු මොහොතේම වෛද්‍ය සහාය ලබා ගන්න
සහන කඳවුරු සහ සෞඛ්‍ය සේවකයින් ඔබට සහාය වීමට සූදානම්. ඔබට අසනීප බවක් දැනේ නම්, බෙහෙත්, රුධිර පරීක්ෂා, තුවාල වලට බෙහෙත් දැමීම වගේ උදව් ඉල්ලා සිටීමට පසුබට නොවන්න.

මේ අමාරු කාලයේදී ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. සෑම දිනකම මේ කුඩා පියවරකින් පවා දියවැඩියා සංකූලතා වළක්වා ගත හැකි අතර ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වන තෙක් ඔබව ආරක්ෂිතව තබා ගත හැකිය. ශක්තිමත්ව සිටින්න, අවශ්‍ය විටෙක උපකාර සඳහා ළඟා වන්න. නිරෝගී බව උතුම්ම ධනයයි. දුෂ්කර කාලයන් ඉක්මනින් ගෙවී යනු ඇත. ඔබ නිරෝගී නම් ඔබට නැතිවුනු බොහෝ දේවල් ඔබට නැවත ගොඩ නැඟා ගැනීමට පුළුවන්.

දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තරංග සමරසේකර.

27/11/2025

අපි ඉතින් හෙටත් වැඩ! හැමෝම අවධානයෙන්, පරිස්සමින් ඉන්න! Stay Safe Everyone! Take care of your loved ones!

වහලෙත් එක්ක ගලවගෙන යයිද දන්නෑ! ඒ තරම් හුලග! ධාරානිපාත වර්ෂාව! 😳හැමෝම පරිස්සමින් ඉන්න!
26/11/2025

වහලෙත් එක්ක ගලවගෙන යයිද දන්නෑ! ඒ තරම් හුලග! ධාරානිපාත වර්ෂාව! 😳
හැමෝම පරිස්සමින් ඉන්න!

හිතුමතේට වේදනා නාශක පෙති ගොඩක් කල් ගත්තොත්, වකුගඩු දෙක කියයි; “එහෙනම් කොල්ලෝ අපි ගියා!”
25/11/2025

හිතුමතේට වේදනා නාශක පෙති ගොඩක් කල් ගත්තොත්, වකුගඩු දෙක කියයි; “එහෙනම් කොල්ලෝ අපි ගියා!”

⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට දිගටම කැක්කුම් පෙති (NSAIDs) බිබී හිටියොත් මොකද වෙන්නේ 🤔
===========================

⭕රූමටොයිඩ් ආතරයිටිස් කොච්චර දුරදිග යන්න පුළුවන් රෝගයක්ද කියලා මගෙ ලිපි කියවන ඔබ දැනටම දන්නවා ඇති.

⭕අති බහුතරයක් රෝගීන්ට වසර ගණනාවක් පුරා එක දිගටම ප්‍රතිකාර ගන්න වෙනවා.

⭕මුලම අවස්ථාවේදී ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට ලෙඩේ හොඳ කරගන්න උනත් පුළුවන් කමක් තිබ්බට ලෙඩේ දුර දිග ගියාට පස්සේ ප්‍රතිකාර පටන් ගන්න රෝගීන්ට දශක ගණනාවක් පුරා වුණත් ප්‍රතිකාර ගන්න වෙනවා.

⭕ලංකාවේ රෝගීන් බහුතරයක් දෙනා නිසි ප්‍රතිකාර වලට යොමුවෙන්නේ ප්‍රමාද වෙලා.

⭕ඒකට එක හේතු ගොඩක් තියනවා.

✴️එකක් තමා සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට මුල කාලයේදී එන රෝග ලක්ෂණ සරල ප්‍රතිකාරවලින් තාවකාලිකව යට යන එක.

✴️අනෙක් කාරණාව කෙටිකාලීන සුවය ලබාදෙන වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට රෝගීන් යොමුවීම.

✴️තවත් සමහර රෝගීන් බෙහෙත් වලට ඇති අනවරත භය සහ ප්‍රතිකාර ගැන සමාජයේ ඇති දුර්මත නිසා නිසා ප්‍රතිකාරවලින් වැළකෙනවා.

✴️සමහරු බේත් එපාම කියල ඕන දෙයක් වුනාට කමක් නෑ කියල ඉන්නවා.

✴️සමහරු මුලින් නිසි ප්‍රතිකාර අරගෙන පස්සෙ අත ඇරල දානවා.

⭕අන්තිමට වන දේ තමා නිසි කලට නිසි ප්‍රතිකාර ලැබුණේ නැති නිසා රෝගය දුරදිග යන එක.

⭕රෝගය සුව වෙන්න හෝ පාලනය කරගන්න ලෙඩේ ඇඟේ ක්‍රියාත්මක වන විදිහ අඩපණ වෙන ආකාරයේ ප්‍රතිකාරවලට යොමුවෙන්න වෙනවා. ඕකට බටහිර වෛද්‍ය විද්‍යාවේ කියන්නේ Disesase modication කියලා. ඔය ප්‍රතිකාර වලට කියන්නේ Disesase Modifying Anti-Rheumatoid drugs (DMARDs) කියලා.

⭕පෙනහළු වලට බැක්ටීරියාවක් ගියොත් ඇන්ටිබයොටික් (antibiotics) වලට හැරෙන තැපෑලේ විෂබීජ මැරිලා ලෙඩේ හොඳ වෙනවා වගේ රූමටොයිඩ් ආතරයිටිස් හොඳ කරන්න පුළුවන් බෙහෙත් තාම ලෝකෙ හොයාගෙන නෑ. අකමැත්තෙන් වුණත් අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕනේ.

⭕රූමටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රතිකාර කළ විට වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.

✅Cure: රෝගය නැවත මතු නොවන ආකාරයටම සුව වීම.

✅Drug free remission: සැලකිය යුතු කාලයක් නිවැරදිව ප්‍රතිකාර කළ පසුව ලෙඩේ සම්පූර්ණයෙන් සුව නොවුණත් ලෙඩේ දැනට ඇගේ ක්‍රියාකාරී නොවන නිසා ප්‍රතිකාර නතර කිරීමට හැකි වීම. නැවත මතුවුනොත් ප්‍රතිකාර නැවත පටන් ගන්න වෙනවා.

✅On drug remission: බෙහෙත ගන්න ගමන් ලෙඩාට ලෙඩේ ඇඟේ නෑ වගේ දැනෙනවා. බෙහෙත් නිසා තමා රෝගය පාලනය වෙලා තියෙන්නේ. සමහර රෝගීන්ට ප්‍රතිකාර දිගටම ගන්න කොට drug free remission එකකට ලඟා වෙන්න පුළුවන්. අනෙක් රෝගීන්ට දිගටම බෙහෙත් ගන්න වෙනවා.

✅Active disease: ආතරයිටිස් රෝගය ක්‍රියාකාරී අවධියේ පවතින්නේ. රෝග තීව්‍රතාව low, moderate සහ high කියල DAS 28 වගේ රෝග තීව්‍රතාව මනින tool එකකින් වර්ගීකරණය කරන්න පුළුවන්.

⭕මුලින්ම ප්‍රතිගාර ගන්න එන රෝගයකු cure, drug free remission හෝ on drug remission තත්ත්වයට කොහොමහරි ගන්න උත්සාහ කරන්න ඕනේ.

⭕ඔය තත්ත්වයට යන්න අර මම කලින් කියපු DMARDs කියන කුලකයේ ප්‍රතිකාරයක් සෑම රෝගියෙකුටම වාගේ අවශ්‍ය වෙනවා. සමහරවිට එම කුලකයේ බෙහෙත් දෙකක් තුනක් පවා ඕනෑ වෙන්න පුළුවන්.

⭕DMARDs කියන ප්‍රතිකාර conventional, biologic, target synthetic කියලා නැවත වර්ග කර තිබෙනවා.

⭕Conventional DMARDs කුලකයේ තනි බෙහෙතක් මුලින් පටන් අරගෙන ක්‍රමානුකූලව ඒකෙ මාත්‍රාවෙන් ලෙඩේ control වෙනකන් වැඩි කරගෙන යන්න ඕනේ.

⭕ඒ බෙහෙතේ ප්‍රබලත්වය මදි නම් තවත් එම කුලකයේම බෙහෙතක් එකතු කරන්න පුළුවන්. එහෙමත් හරියන්නෙ නැත්නම් biologic හෝ target synthetic කුලකයේ බෙහෙතක් එකතු කරගන්න වෙනවා.

⭕මම ඕක වාක්‍යයෙන් දෙකෙන් ලියාගෙන ගියාට ඕක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. වරින් වර ලේ පරීක්ෂණ කරමින් රෝගියාට ඇඟට දරාගන්න පුළුවන් ප්‍රමාණයට සහ අවයවලට හානි නොවන ආකාරයට ප්‍රතිකාර නියම කරන්න ඕනේ.

⭕ඔය ක්‍රියාවලියට මාස ගාණක් හෝ අවුරුදු ගානක් පවා යන්න පුළුවන්.

⭕දැන් බලමු යම් කිසි රෝගියක් රූමටොයිඩ් ආතරයිටිස් එකට කැක්කුම් පෙති විතරක් පාවිච්චි කරලා ඉන්න බැලුවොත් මොකද වෙන්නේ කියලා.

⭕කැක්කුම් පෙතිවලට මම අර කලින් කියපු disease modifying හැකියාවක් නැ. ඒ කියන්නේ කැක්කුම් පෙත්තකින් වෙන්නේ කැක්කුම අඩු වෙන එක විතරයි ලෙඩේ යට යෑමක් වෙන්නේ නෑ.

⭕කැක්කුම් පෙති වලින් විතරක් ඉන්න තීරණය කළොත් මුලින්ම වෙන්නේ ලෙඩේ සදාකාලිකව හොඳ නොවන තත්ත්වයට යන එක තමා.

⭕ඒකට හේතුව තමා කැක්කුම් පෙති වලට disesase modification එකක් කරන්න හැකියාවක් නැති වීම.

⭕කැක්කුම් පෙත්ත බොනකොට එම පෙත්ත ඇගේ තියෙන පැය ගානට වේදනාව අඩු වෙනවා. නැවත වේදනාව වෙනකොට තව කැක්කුම් පෙත්තක් බොන්න වෙනවා.

⭕වේදනාව අඩු වුණාට ලෙඩේ අඩුවෙන්නේ නෑ. එතකොට හැමදාම කැක්කුම්පෙති බොන්න වෙනවා. බහුතරයක් රෝගීන්ට දවසට දෙපාරක් පමණ.

⭕රෝගය ඇඟ ඇතුළෙ තිබෙන නිසා හන්දි ඇදවීම අනිවාර්යයෙන් වෙනවා.

⭕අනික් වැදගත් කාරණාව තමා රෝගය ඇඟ ඇතුලේ ක්‍රියාකාරී වන නිසා රූමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා වෙනත් අවයව වල එන සංකූලතා (extraarticular manifestations) කාලයක් යන කොට එනවා.

⭕වැඩිපුරම බලපෑමක් එන්න පුළුවන් පෙනහළු දියවීම (ILD) පපුවේ අමාරු (ischemic heart disease) සහ ඔස්ටියොපොරෝසිස් (වැටිල උකුල, කොන්ඳ කැඩෙන ලෙඩේ) රෝගය නිසා.

⭕අනෙක් කාරණාව තමා හන්දි ඇදවීම නිසා ජීවිතයේ ගුණාත්මක බව සැලකිය යුතු ලෙස අඩුවෙනවා.

⭕දිනපතා කැක්කුම් පෙති පාවිච්චි කිරීම කිසි විටෙක ආරක්ෂිත දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමා කැක්කුම් පෙති කෙටි කාලයකට පාවිච්චි කිරීම ආරක්ෂිත වුණාට දිගු කාලයක් එක දිගට ගන්නකොට සෞඛ්‍ය ගැටලු රැසක් එන්න පුළුවන් වීම.

⭕වකුගඩු දුර්වල වීම, බඩේ තුවාල ඒම, පපුව අමාරු අවදානම වැඩිවීම ආදී දේවල්. හැබැයි කෙටි කාලයකට පාවිච්චි කරනකොට ඔය අවදානම් නොසලකා ඉන්න පුළුවන් තරම්.

⭕තවත් නිරීක්ෂණය වෙන දෙයක් තමා කැක්කුම් පෙති කැක්කුම් පෙති එක දිගට පාවිච්චි කරපු රෝගීන්ට පසුව DMARDs බෙහෙතකට මාරු වෙන්න උවමනා වුනත් කැක්කුම් පෙත්ත නතර කරගැනීමට තියන අපහසුතාව.

⭕හිතන්නකෝ කැක්කුම් පෙති දිගටම ගන්න ගිහිල්ලා ඔබගේ වකුගඩු දුර්වලතාවයක් ආවා කියලා. එතකොට වෙන්නේ කැක්කුම් පෙති සදාකාලිකව නතර කරලා ආතරයිටිස් අඩුකරන බේත් (DMARDs) වලට මාරුවෙන එක. ඉතින් මුල ඉඳන්ම ඔය DMARDs බෙහෙතක් නිවැරදිව බිව්වනම් වකුගඩු නරක් වෙන්නේ නෑනේ.

⭕ඔබට එන්න පුළුවන් අනික් ගැටළුව තමා ඔය DMARDs කියන අතර ආතරයිටිස් බෙහෙත් වලටත් වකුගඩු නරක් වෙන්න පුළුවන්ද කියනඑක. එහෙම වෙන්නේ නෑ. වකුගඩු දුර්වල අයට සමහර බේත් වල මාත්‍රාවන් අඩුකරන්න වෙනවා.

⭕ඔබ රූමටොයිඩ් ආතරයිටිස් රෝගය තියන හන්දි විවිධ ආලේපන ගාලා වේදනාව අඩුකරගෙන ඉන්න ගියත් වෙන්නේ ඔය සෙතේම තමා. හන්ඳි ඇද වෙනවා. ලෙඩේ අනික් අවයව වලට යන්න තියෙන අවස්ථාව නිසි ප්‍රතිකාර නොගන්නා කෙනෙක් ගානමයි.

⭕සරලවම කියනවා නම් වේදනාව අඩුවෙනවා කියන්නේ ලෙඩේ හොඳවෙනවා කියන එක නෙවේ. හැබැයි ලෙඩේ හොඳ කරන්න පුලුවන් බෙහෙතකට පුලුවන් වේදනව අඩුකරන්න.

⭕ඔබට එන්න පුලුවන් සාධාරණ ප්‍රශ්නය තමා ඇයි එහෙනම් හන්දි රෝග විශේෂඥ වෛද්‍යවරු පවා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ට ප්‍රතිකාර පටන් ගත්ත මුල් කාලෙදි සති කිහිපයකට කැක්කුම් පෙති දෙන්නේ ඇයි කියල. ඒකට හේතුව තමා ඔය මම ඉහත සඳහන් කරපු DMARDs කියන පෙති වර්ගය ඇගේ හොඳින් ක්‍රියාකාරී වෙන්න සති කිහිපයක් යන එක. ප්‍රෙඩ්නිසොලෝන් කුලකයේ බෙහෙතකුත් ටික කලක් අඩුමාත්‍රාවෙන් පාවිච්චි කරන්නේ ඉහත සඳහන් කළ හේතුව නිසාම තමා.

⭕ සරලව කියනවනම් නිසි ප්‍රතිකාර ගත්තොත් බෙහෙතෙනුයි ලෙඩෙනුයි දෙකෙන්ම ඇඟට හානියක් වෙන්න තියෙන අවස්ථා නොසලකා ඉන්න පුලුවන් තරම්.

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

ඔයාලත් දන්න මෙහෙම අය ඉන්නවද? 😖🥺😫😢
21/11/2025

ඔයාලත් දන්න මෙහෙම අය ඉන්නවද? 😖🥺😫😢

⭕වගකීමක් නැති දෙමාපියන්: ටිපර් වෙන්නෙ නැතුව කල්පනාවෙන් කියවන්න
==============================

⭕ඉගෙන ගන්න කාලේ ඒක හරියට කරන්නෙ නැතුව තමන්ගේ ජීවිතේ විනාස කරගෙන දෙමාපියන්ගේ ජීවිත පවා විනාස කරන වගකීම් විරහිත දරුවන් ගැන විස්තර නිතරම අහන්න ලැබෙනවා.

⭕නමුත් ඔය වගේ වගකීම් විරහිතව ක්‍රියා කරන වැඩිහිටියන් පවා ඉන්නවා. එක කුලකයක් තමා දිගු කාලීන රෝග වලට ප්‍රතිකාර (නො)ගන්නා වැඩිහිටියන්.

⭕මේක පටන් ගන්නකොට කියාගෙන එන්න පුලුවන් ඕනෑම ලෙඩෙක්ට අයිතියක් තියනවා ඕනෙ නම් ප්‍රතිකාර ගන්න, නැතිනම් ප්‍රතිකාර නොගෙන ඉන්න, නැතිනම් හිතුන වෙලාවට ප්‍රතිකාර ගන්න, නැත්තම් පන්සලේ කුසුමලතා, පල්ලියේ මොනිකා කියපු විදිහට වෛද්‍යවරු නොවන වෛද්‍යවරු ගාවට ගිහින් අතේ තියන පිච්චියත් නැති කරගන්න කියල.

⭕නමුත් ලංකාවේ තියන සමාජීය සහ ආර්ථික පසුබිම නිසා ඕන ඕන විදි වලට ලෙඩ වලට ප්‍රතිකාර ගන්න ගියහම ගැටලු රැසක් මතු වෙනවා.

⭕මොකෝ පිටරට වල වගේ රෝගී හෝ වයස්ගත දෙමාපියන් උදව් ඕනේ කාලේ මහලු නිවාස වලට ගිහින් අතඅරින සංස්කෘතියක් ලංකාවෙ එතරම් නැති නිසා. (හැබැයි එහෙම කරන එක වෛද්‍යවිද්‍යාත්මකව නිවැරදි දෙයක් වෙන්න පුලුවන්)

⭕දෙමාපියන් ප්‍රතිකාර මග ඇරලා ඉන්නකොට ඕකට ඇත්තටම වන්ඳි ගෙවන්නේ තමන් බොහොම ආදරෙන් උස්මහත් කරපු දරුවො වගේම මුනුබුරෝ සහ මිණිබිරියෝ.

⭕දෙමාපියෙක්ට දිගු කාලීන රෝගයක් හැදෙන එකට අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ.

⭕නමුත් දිගුකාලීන රෝගයක් ආවහම හෝ භයානක රෝගයක් ආවහම "නිසි ප්‍රතිකාර" වලට යොමු වෙන්නේ නැතිනම් ඒකට නම් අනිවාර්යයෙන් ඒක ප්‍රශ්න කරන්න පූලුවන්.

⭕මම මෙතන උදාහරණයට ගන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිලිකා රෝග, ආතරයිටිස් රෝග වගේ දිගුකාලීනව ප්‍රතිකාර ගන්න ඕන රෝග ගැන.

⭕ඔය ලෙඩ වලට ප්‍රතිකාර නොගත්තහම ඒවායේ එන සංකුලතා ඉතාම භයානකකයි.

⭕වාහනයක් හැප්පුනහම කලින් තිබ්බ වගේම හදනවා වගේ හාට් එක, වකුගඩු, පෙනහලු වැනි අවයව වලට හානි වුනහම ඒවා බහුතරයක් අවස්ථාවල ආයේ යතාතත්වයට ගන්න බැහැ.

⭕දියවැඩියාව ගත්තොත් ප්‍රධාන සංකුලතා වෙන්නේ පපුවේ අමාරු, අංශභාග තත්ව, වකුගඩු අකර්මණ්‍යය වීම වගේ තත්ව.

⭕පිලිකා ගැන නම් කියන්නත් දෙයක් නෑනේ. නිසි ප්‍රතිකාර නොගත්තොත් දුක් විඳල දුක් විදල මිය පරලොව යන එකනෙ වෙන්නේ.

⭕නිට්ටාවට සුව කරන්න පුලුවන් පිලිකා රැසක් තියනවා. ඒ වෙලාවේ පිලිකාවට නිසි ප්‍රතිකාර ගන්නෙ නැතුව හොර වෙද්දුන්ට රැවටිලා විවිධ විකාර ප්‍රතිකාර කරන්න ගිහින් අන්තිමට නිසි ප්‍රතිකාර වලට යොමුවෙනකොට ප්‍රමාද වැඩියි.

⭕ආතරයිටිස් වලත් තත්වය ඔහොමයි. සමහර රෝග නිට්ටාවට සුව කරන්න පුලුවන්. සමහර රෝග ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව නොවුනත් ලෙඩේ සංකුලතා නැතුව ලෙඩේ නෑ වගේ ජීවත් වෙන්න පුලුවන්.

⭕ආතරයිටිස් රෝග වලින් එන්න පුලුවන් සංකුලතා මගෙ page එකේ ලියපු ලිපි වල ඕන තරම් තියනවා.

⭕ආතරයිටිස් රෝගය නිසා අඩු වයසින් ඔස්ටියෝපොරෝසිස් ඇවිල්ලා කොන්ඳ උකුල කඩාගන්න රෝගීන් ප්‍රමාණය දහස් ගණනක්.

⭕සමහර රෝගීන් ලොකු සංකුලතාවයක් ආවහම වත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ. අදාල නිවැරදි ප්‍රතිකාරය නොමිලේම ගන්න පුලුවන් කම තියෙද්දී පවා වැරදි උපදෙස් අරගෙන වැරදි ප්‍රතිකාර වලට යොමුවෙනවා.

⭕අවුරුදු 55-60 ක් වෙනකම් බොහොම හොඳට ජීවත් වෙලා එක වරටම එක්කෝ සදාකාලිකව ඇඳට වැටෙනවා. නැතිනම් අඩි දහයක් ඇවිද්දත් හති වැටිල මග නතර වෙන්න ඕන තත්වයට වැටෙනවා.

⭕ඔහොම වුනහම එක්කො මහලු නිවාසයකට හෝ රෝගීන් උපස්ථාන කරන ආයතනකට ගිහින් දාන්න වෙනවා. නැතිනම් ගෙදර තියාගෙන අමාරුවෙන් හරි සාත්තු කරන්න වෙනවා.

⭕ඇඳටම වැටුනොත් තාත්තව අම්මව බලාගන්න එක්කො දුවට හෝ පුතාට රැකියාව අහිමි කරගෙන ගෙදර නතර වෙන්න වෙනවා.

⭕සමහර ගෙවල් වල දරිද්‍රතාවය නිසා ඔහොම කරන්න බෑ. එතකොට වෙන්නේ තමන්ගේ මිණිබිරීගේ හෝ මුණුබුරාගේ ටියුශන් එක නතර කරලා හරි ලෙඩා බලාගන්න කෙනාට ගෙවන්න වෙන එක.

⭕අනික ඔහොම තත්වයක් ආවහම රෝගීන්ගේ මානසිකත්වය වෙනස් වෙලා පෞරුෂය පවා වෙනස් වෙනවා. ඒ නිවෙස් වල මතගැටුම් නිසා අර්බුදකාරී තත්ව පවා එනවා.

⭕ඉතාම සැලකිය යුතු පවුල් ගණනක එක්කෝ සැමියා හෝ බිරිඳ පිට රට වල රැකියා කරන අය ඉන්නවා. ලංකාවෙ ඉන්න බිරිඳ හෝ සැමියාට දරුවන් බලාගෙන අධ්‍යාපන කටයුතු බලන ගමන් ඔහොම දෙයක් කරන්න වුනොත් ඉතාම අසීරුතාවට පත්වෙනවා.

⭕අනෙක් කාරණාව තමා දිගු කාලීන රෝග වල සංකුලතා ආවහම ප්‍රතිකාර සඳහා යන වියදම් කිහිප ගුණයකින් වැඩි වෙන්න පුලුවන්. රටට වෙන පාඩුව රුපියල් කෝටි ගණනක්.

⭕බහුතරයක් දිගුකාලින රෝග වල සංකුලතා වලක්වා ගන්න පුලුවන්. සංකුලතා එන්න ලංකාවේ ප්‍රධානම හේතුව තමා නිසි ප්‍රතිකාර වලට යොමු නොවීම සහ නිසි ප්‍රතිකාර දිගු කාලීනව ලබා නොගැනීම.

⭕ඔබත් දිගුකාලීන රෝගයක් තියනවා නම්, නිසි ප්‍රතිකාර ලබාගන්න. මොකෝ සංකුලතාවක් ආවහම ඒකෙන් අමාරුවෙ වැටෙන්නේ ඔබ විතරක් නෙවේ, ඔබගේ දරුවන් සහ ඔවුන්ගේත් දරුවන්.

⭕නිතරම රෝහල් වල අපිට ඇහෙන වාක්‍යයක් තමා, "අනේ සර් කොච්චර කිව්වත් තාත්තා/අම්මා බෙහෙත් බිව්වෙ නෑනේ" කියන එක.

⭕ප්‍රෙශ්‍රර් වලට බෙහෙත් නොබී ඉන්න හෝ කඩ කඩ බෙහත් ගන්න ඔබට අංශබාගයක් ආවා කියන්නකෝ. ඒ මොහොත වෙනකම් හොඳට ඇවිදල කරල හිටපු ඔබ එවෙලෙ ඉඳන් සදාකාලිකව ඔත්පල වෙන්න පුලුවන්. මොන දුකක්ද.

⭕අනික තමන්ව වීරයෝ වගේ දැකපු දූ දරුවන්ට ඔබ එහෙම ඉන්නවා දකිද්දි මොන වේදනාවක් එයිද, මුණුබුරාගේ මිණිබිරීගේ වියදම් අඩු කරල ඔබගේ සාත්තු සේවකයට ගෙවන්න වෙනවනම් ඒක කොතරම් අසාධාරණද.

⭕මෙච්චර හිඟන රටේ ඔය දිගුකාලීන ලෙඩ, භයානක ලෙඩ මුල්කාලේ, රෝග ලක්ෂණ පවා නැති කාලේ අඳුරගන්න සායන පවා තියනවා.

⭕පිට රට වල වගේ නෙවේ හොඳම විශේෂඳ වෛද්‍යවරයෙකු වුනත් ඉක්මණින් හම්බුවෙන්න පුලුවන් හැකියාව තියනවා. බහුතරයක් නිසි ප්‍රතිකාර නොමිලේ ගන්න පහසුකම් තියනවා.

⭕බහුතරයක් දිගුකාලීන රෝගයකට ප්‍රතිකාර ගන්නෙ නැතිනම් ඔබ කොයි වෙලාවේ පුපුරයිද කියා නොඳන්නා බෝම්බයක් උඩ වාඩිවී සිටින වගකීම් රහිත රෝගියෙක් වෙනවා.

⭕දරුවන් හැටියට කරන්න පුලුවන් දේ තමයි අම්ම තාත්තා නිවැරදි විදිහට බෙහෙත් බොනවද කියල බලන එක. ඉස්පිරිතාලවල නැති බෙහෙත් ගන්න සමහර දෙමාපියන් දරුවන්ගෙන් මුදල් ගන්න අකමැති නිසා ඒක දැනුම් නොදී ඉන්න පවා පුලුවන්.

⭕රජයේ රෝහල් වල තියන දහසකුත් අඩුපාඩු අතරේ වුනත් රෝහල් වලින් සේවය වුනත් රෝගීන් සම්පූර්ණයෙන් ලබාගන්නේ නැති බවනම් 100% විශ්වාසෙන් කියන්න පුලුවන්.

⭕ජීවිතේ අන්තිම කාලයේ හොඳට ඇවිදලා කරල ඉන්න පුලුවන් තරම් ලොකු දෙයක් නෑ. ඒක නැති කරගන්න එපා. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑනේ.

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

බොහෝ දෙනෙක් නොදන්න, කිසි තැනක සමරන්නැති, මල් කලබ තෑගි නැති ජාත්‍යයන්තර පිරිමින් ගේ දිනය අදයි!පිටු ගනන් ලියන්න දේවල් හිතට...
19/11/2025

බොහෝ දෙනෙක් නොදන්න, කිසි තැනක සමරන්නැති, මල් කලබ තෑගි නැති ජාත්‍යයන්තර පිරිමින් ගේ දිනය අදයි!

පිටු ගනන් ලියන්න දේවල් හිතට ආවත් අනිත් පිරිමින් වගේ හිතේ තියාගෙන නිහඩව ඉදිමි.

එන්න මේ සුන්දර සන්ධ්‍යාවේ බොමු රස hot chocolate එකක්!

මගේ  හිටපු ආදරණීය RHO මල්ලිලා සහ නන්ගිලා!
19/11/2025

මගේ හිටපු ආදරණීය RHO මල්ලිලා සහ නන්ගිලා!

හන්දි සහ දියවැඩියාව!
19/11/2025

හන්දි සහ දියවැඩියාව!

⭕හන්දි ප්‍රශ්න නිසා හඳුනාගන්න දියවැඩියාව
====================================

⭕දියවැඩියාවන් ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම බහුල රෝගයක්. 2019 දී ලංකාවේ කරපු පරීක්ෂණවලට අනුව වයස තිහට වැඩි අයගෙන් සියයට 25 කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙලෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා.

⭕සමහර වෙලාවට දියවැඩියාව තියෙනවා කියලා හොයාගන්නේ වෙනත් රෝගයකට පරීක්ෂණ කරනකොට.

⭕ඔබ දැනටමත් අහලා ඇති හොඳ වෙන්නේ නැති තුවාල පිළිබඳව පරීක්ෂණ කරන කොට දියවැඩියාව තියෙනවා කියලා ඔප්පු උනා කියලා.

⭕ඔය වගේම සමහර හන්දි රෝගත් තිබෙනවා දියවැඩියාව තියෙන රෝගීන් අතර බහුලව දකින්න පුළුවන්.

⭕උරහිසේ වේදනාව නිසා එන උරහිසේ tendinitis තත්ව (සමහර රෝගීන්ට frozen shoulder) සහ අතේ ඇඟිලි ලොක් වන trigger finger තමා බහුලව දකින්න පුළුවන්.

⭕ඒකෙන් කියවෙන්නේ නැහැ ඔය ඉහත සඳහන් ආතරයිටිස් තත්ව තියෙන හැමෝටම දියවැඩියාව තියෙනවා කියලා හෝ දියවැඩියාව හැදෙනවා කියලා. හැබැයි ඕවගේ තත්ත්වම ආවහම සීනි චෙක් කරලා බලන එක ඇඟට ගුණයි.

⭕මේ ලිපියේ ඉහත කියපු ආතරයිටිස් රෝග තුන මම සවිස්තරාත්මකව ලියන්නේ නැහැ. ඒ පිළිබඳව සවිස්තරාත්මක විස්තර මේ පේජ් එකේ පහළ ඇති.

⭕මෙම රෝගීන් අතින් වෙන සැලකිය යුතු අතපසුවීමක් ගැන මතක් කරන්න තමයි මේක ලියන්නේ.

⭕දියවඩියාව තියෙනවද නැද්ද කියලා බලන්න කරන මූලික පරීක්‍ෂණ තුන තමා FBS, 2hour PPBS සහ HBA1c.

⭕FBS බලන්න කරන්නේ පැය අටක් නොකා නොබී ඉඳලා ලේ වල සීනි ප්‍රමාණය මනින එක.

⭕2 hour PPBS එකේදි කරන්නේ කාල පැය දෙකකින් ලේ වල සීනි ප්‍රමාණය මනින එක.

⭕HBA1c ටෙස්ට් එකේදි කරන්නේ පසුගිය මාස දෙක තුනක පමණ කාලයක ලේ වල සීනි ප්‍රමාණයේ සාමාන්‍ය අගය බලන එක.

⭕FBS අගය 100 mg/dl ට අඩු අගයක තියෙන්න ඕනේ. FBS 100-125 mg/dl තියෙන රෝගීන්ට පූර්ව දියවැඩියාව තියෙනවා කියලා සලකනවා. ඒ කියන්නේ දියවැඩියාව හැදෙන්නෙ අධික අවදානමත් තියෙනවා කියන එක. FBS එක 126mg/dl වලට වඩා වැඩි නම් දියවැඩියාව හැදිල කියල තීරණය වෙනවා.

⭕2 hour PPBS එක 140 mg/dl වලට වඩා අඩුව තියෙන්න ඕනේ. ඔයා අගය 140 සිට 200 mg/dl අතර තියෙනවා නම් පූර්ව දියවැඩියාව තියෙනවා කියලා සලකනවා. ඔය අගය 200 mg/dl ට වැඩි නම් දියවැඩියාව තියෙනවා කියලා ගන්නවා.

⭕HBA1c අගය 5.7% ට අඩුවෙන් තියෙන්න ඕනේ. ඔය අගය 5.7% සිට 6.4% දක්වා පූර්ව දියවැඩියාව තියනවා ලෙස ගන්න අතර 6.5% ට වැඩි අයට දියවැඩියාව තියනවා කියල සලකනවා.

⭕මෙතන ප්‍රධාන ගැටළුව එන්නේ ඔය වැට උඩ තියෙන අයට.

⭕බහුලව වෙන දෙයක් තමා තමා පූර්ව දියවැඩියාව තියන අයට හෝ ඉතාම සුළුවට දියවැඩියාව තියන අයට කැමති නම් Diet control සහ life style modifications (කෑම පාලනය සහ ජීවන රටාව වෙනස් කර ගැනීම) කරන්න කියලා නැවත ඔය අගයන් තෝරා ගත්ත කාල පරාසයකට පසුව මැනල බලන එක.

⭕යන්තම් සීනි වැඩි ඇති දියවැඩියාවට හෝ පූර්ව දියවැඩියාවට බෙහෙතක් නොබී කෑම පාලනය සහ ජීවන රටා වෙනස් කර ගැනීම තෝරාගන්නවා නම් වෛද්‍යවරයා දෙන උපදෙස් අනුව නිසි කලට ඉහත කී වෛද්‍ය පරීක්ෂණ කරගන්න එක අනිවාර්යෙන් කරගන්න ඕනේ.

⭕බහුතරයක් වෙලාවට වෙන්නේ බෙහෙතක් පාවිච්චි නොකරන නිසා ඔහොම රෝග තත්වයක් ඇගේ තියෙනවා කියලා අපිට අමතක වෙලා යනවා.

⭕සැලකිය යුතු අවස්ථාවල පපුවේ අමාරුවක් ඇවිල්ලා හෝ අංශභාග තත්ත්වයක් ඇවිල්ලා හෝ වකුගඩු දුර්වල වීමක් ඇවිල්ලා ලෙඩාගේ පරණ වතගොත අහල බලනකොට මීට වසරකට දෙකකට තුනකට පෙර වැට උඩ තිබ්බ සීනි රිපෝර්ට් වලට කෑම පාලනය සහ ජීවන රටාව වෙනස් කිරීම තෝරාගෙන ඒක අමතක වෙලාම ගිහිල්ලා දැන් චෙක් කරලා බලනකොට සීනි ඉතාම වැඩි අගයන් වල තියෙනවා.

⭕ඇත්තටම වෙලා තියෙන්නේ නිසි කලට නැවත පරීක්ෂණ කර ගැනීමට අමතක වීම නිසා පූර්ව දියවැඩියාව බවට පරිවර්තනය වෙලා අනිවාර්යෙන් අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න ඕනේ වෙලාවෙදි එහෙම වෙලා නෑ.

⭕සමහර වෙලාවට ඉහත මං සඳහන් කරපු උරහිසේ, ඇඟිල්ලේ හෝ අතේ ආපු සුළු ආතරයිටිස් රෝග වලට ප්‍රතිකාර කරලා ඒක හොඳ උනාට පස්සේ අපි නැවත එන්න කියන්නේ නෑ. සීනි වැට උඩ තිබ්බහම රෝගියා කෑම පාලනය සහ ජීවන රටාව වෙනස් කර ගැනීම තෝරා ගන්නා අවස්ථාවල් ගොඩයි. හැබැයි මාස කීපයකට පසුව නැවතත් ඔය වගේ ආතරයිටිස් එකක් එක්ක එනවා එතකොට බලනකොට සීනි ගොඩක් වැඩියි.

⭕පණිවිඩය තමා කෑම පාලනය සහ ජීවන රටා වෙනස් කිරීම තෝරා ගන්නවා නම් අනිවාර්යෙන් නිසි වෛද්‍ය උපදේශ අනුව නැවත නැවත ඇගේ සීනි චෙක් කරලා බලන එක කරන්න.

⭕සමහර වෙලාවට වෙනවා මුලින්ම බලනකොට FBS 120 mg/dl, දෙවනුව කෑම පාලනය සහ ජීවන රටාව වෙනස් කරලා කරල සීනි බලනකොට FBS 100 mg/dl. ඕක දැකපු ගමන් ලෙඩාට පූර්ව දියවැඩියාව තත්වෙ හිටියා කියලා අමතක වෙනවා. ආයේ පරණ ජීවිතයට යනවා. ඊළඟට ප්‍රශ්නයක් ඇවිල්ලා සීනි බලනකොට FBS 200 mg/dl.

⭕දියවැඩියාවට සහභාග පූර්ව දියවැඩියාවට කෑම පාලනය සහ ජීවන රටාව වෙනස් කිරීම ඉතාම ප්‍රයෝජනවත්. සමහර පූර්ව දියවැඩියා රෝගීන් ඕවා දිගටම කරගෙන ගියොත් දියවැඩියාව හැදීම වළක්වා ගැනීමට පවා පුළුවන්.

⭕අනෙක් වැදගත් දේ තමා පූර්ව දියවැඩියාව මට්ටම පෙන්නන FBS එකක් ඔබට තියෙනවා නම් අනිවාර්යෙන් 2hr PPBS, HBA1c කරලා බලන්න. මොකෝ සමහර රෝගීන් ඉන්නවා FBS අගය වැට උඩ තිබ්බට ප්‍රධාන කෑම වේලකට පස්සේ සීනි දියවැඩියාව මට්ටමට වැඩි වෙන අය. ඒ අයට දියවැඩියාව සඳහා නිසි ප්‍රතිකාරය නියම කරන්නම වෙනවා.

⭕FBS 120 mg/dl වෙලා (පූර්ව දියවැඩියා මට්ටම) HBA1c අගය 7% වෙන (දියවැඩියා මට්ටම) රෝගීන්ට කෑම පාලනය සහ ජීවන් රටාව වෙනස් කිරීමට අමතරව අනිවාර්යයෙන් දියවැඩියාවට ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්න පුළුවන්.

⭕එම තීරණය කරන්න ඕනේ MBBS සුදුසුකම් තිබෙන වෛද්‍යවරයකු මිසක් ඔබේ නිවැසියා හෝ ෆාමසියෙන් හෝ සීනි වලට ලේ පරීක්ෂා කරපු තැනින් නෙමේ.

⭕සමහර අධි අවදානම් රෝගීන්ට (ලේ නෑයින්ට දියවැඩියාව තියන අය, ස්ථූලතාවය, කෑම පාලනය හෝ ජීවන රටාව වෙනස් කර ගැනීම කළ නොහැකි අයට, ගිය සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන් ප්‍රතිකාර ගන්න වෙන අයට) පූර්ව දියවැඩියා මට්ටමට සීනි තිබ්බට දියවැඩියාව තිබෙනවා ලෙස සලකා ප්‍රතිකාර කරන්න වෙන අවස්ථා තිබෙනවා.

⭕අපි ලෙඩ අමතක කලාට ලෙඩ කවදාවත් අපිව අමතක කරන්නේ නෑ. වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

⭕ප්‍රතිකාර තියෙන ලෙඩ වලට ප්‍රතිකාර නොගෙන ඉඳලා අමාරුවේ වැටුණොත් දුක් විඳින්න වෙන්නේ ඔබට විතරක් නෙමෙයි ඔබේ දූ දරුවන් පවා අමාරුවේ වැටෙනවා.

⭕දියවැඩියාවට දෙන ප්‍රතිකාරයකින් ඇඟට හානි වෙන්න තිබෙන අවස්ථාවට වඩා ඉතාම වැඩියි වැඩි දියවැඩියාව සම්බන්ධයෙන් සංකූලතාවයක් ඔබට එන්න.

⭕තවත් දෙයක් තමා ලෙඩ්ඩු හොරට බෙහෙත් බොනවද කියල බලන්න ඔය HBA1c එක පාවිච්චි කරන්න පුලුවන්. හිතිච්ච හිතිච්ච් වෙලාවට බෙහෙත් බීලා අන්තිම සතිය දෙක හොදට බෙහෙත් බිව්වොත් FBS එක නෝමල් වුනාට HBA1c එක වැඩියෙ පෙන්නනවා. ඕක බලල තමා ඔය ඩොක්ටර්ස්ලා විහිලුවට අහන්නෙ FBS නෝමල් වෙලත් හොරට නේද බෙහෙත් බොන්නෙ කියල.

⭕මේ බණ මම ලිව්වේ හොඳට සීනි දාලා ප්ලේන්ටී එකක් බොන ගමන් සහ ඇහැට දැක්කත් සීනි වැඩිවෙන දේවල් කන ගමන්. ෆොටෝ එක පහල. රජයේ රෝහලේ කැඩිච්ච tray එක නොදැක්කා වගේ ඉන්න 😂

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

17/11/2025

National Diabetes Day 2025

17/11/2025

😲

November 14th, අද ලෝක දියවැඩියා දිනයයි! මේ වසරේ ලෝක දියවැඩියා දිනය “සේවා ස්ථානයේ දියවැඩියාව (Diabetes in the workplace)”...
14/11/2025

November 14th, අද ලෝක දියවැඩියා දිනයයි!
මේ වසරේ ලෝක දියවැඩියා දිනය “සේවා ස්ථානයේ දියවැඩියාව (Diabetes in the workplace)” යන තේමාව මත අවධානය යොමු කරයි. අපේ දවසේ බොහෝ වේලාවක් රැකියා ස්ථානයේ ගත වන බැවින්, සෞඛ්‍යයට හිතකර, දියවැඩියා ආරක්ෂිත රැකියා ස්ථානයක් සෑදීම අත්‍යවශ්‍ය වේ.
මේ වෙනුවෙන් සරල පියවර කිහිපයක් අප කරමු.
🍏 හිතකර ආහාර විකල්ප (Healthy Food choices)
🏃‍♀ ශාරීරික ක්‍රියාකාරකම් (Regular Exercises) සඳහා අවස්ථා
👩🏻‍⚕ නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණ (Regular Health Checkups) සඳහා පහසුකම් සැලසීම
🤝 දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් තේරුම් ගෙන සහාය දක්වන සේවා ස්ථාන සංස්කෘතියක් ( A work place culture that understands and supports people living with diabetes)
අපි හැමෝම එක්ව, යහපැවැත්ම ආරක්ෂා කරන, සේවකයින් බලගන්වන සහ අනාගත පරම්පරාවන් සඳහා දියවැඩියාව වැළැක්වීමට උපකාරී වන සේවා ස්ථාන සංස්කෘතියක් ගොඩනඟමු.
ඔබ සැමට නිරෝගී ලෝක දියවැඩියා දිනයක් වේවා!
Dr Tharanga Samarasekara (MBBS, MD, MRCP, MRCPE, CCD, FSLCE)
Consultant Endocrinologist & Diabetologist

#ලෝකදියවැඩියාදිනය

Address

Colombo

Telephone

+94773838108

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Tharanga Samarasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram