SL Eye Doctor

SL Eye Doctor ඇස් ගැන ඔබේ ගැටලු අපට කියන්න.....අපි කතා ?

කණ්ණාඩිය ඇහැක් හැටියට පරිස්සම් කර ගමු➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿කණ්ණාඩි රැක බලා ගන්නෙ කොහොමද?කණ්ණාඩිය ක් කියන්නෙ ආයෝජනයක්. ඔබට පැහ...
30/03/2022

කණ්ණාඩිය ඇහැක් හැටියට පරිස්සම් කර ගමු
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿

කණ්ණාඩි රැක බලා ගන්නෙ කොහොමද?

කණ්ණාඩිය ක් කියන්නෙ ආයෝජනයක්. ඔබට පැහැදිලි පෙනුමක් ලබා දෙන්න වගේම ඔබේ බාහිර පෙනුම වර්ධනය කරන්නත් කණ්ණාඩියකට පුලුවන්. ඒ වගේම හොද මට්ටමේ කණ්ණාඩියක් මිලදී ගැනීමේදී ඔබ සැලකිය යුතු මුදලක් වියදම කරනවා. ඒ නිසා කණ්ණාඩිය හොදින රැක බලා ගන්න ඕන.

මුලින්ම අපි බලමු කණ්ණාඩියක් පිරිසුදු කිරීමේදී කල යුතු, නොයුතු දේවල් මොනවද කියල
*******************************************************************

කණ්ණාඩිය සෝඅදන්න කලින් ඔබේ අත් හොදින් පිරිසුදු වෙන්න ඕන. අත් වල දූවිලි, තෙල් ගතිය වගේ තියෙන්න බෑ.
ටැප් එකකින් ගලා යන කාමර උෂ්ණත්වයේ වතුරින් පලමුව කණ්ණාඩියේ බැදිල තියෙන දූවිලි ටික සෝදා හරින්න. ඊට පස්සෙ සබන් දියර බින්දුවක් කාච මත තවරල ඇගිල්ලෙන් පිරිමදිමින් කාච පිරිසුදු කරන්න. ඒත් එක්කම් කණ්ණාඩි රාමුවෙත් පිරිසුදු කරන්න. ඊට පස්සෙ නැවතත් ටැප් එකට අල්ලල ඔක්කොම සබන් ඉවත්ව යනතුරු සෝදන්න. සබන් එහෙම ඉතුරු උනොත් ඒක කාච මතුපිට පටලයක් වගේ බැ‍ඳෙන්න පුලුවන්.
මෙහෙම පිරිසුදු කර ගත්ත කණ්ණාඩිය පිරිසුදු, මෘදු, කපු රෙදි කඩකින් පිරිමැද පිරිසුදු කර ගන්න. ඔය කණ්ණාඩි කාච පිරිසුදු කරන විශේෂිත ස්ප්‍රේ එකක් තියෙනව නම් එකෙන් ස්ප්‍රේ කරල රෙදිකඩින් පිරිසුදු කරන්න පුලුවන්.

නාන ගමන් කණ්ණාඩි පිරිසුදු කරන්න යන්නෙ එපා, ඇඟේ, කොණ්ඩෙ ගාන ගැල්වුම්, උණු වතුර නිසා ඔබේ කණ්ණාඩි කාචයේ මතුපිටට හානි වෙන්න පුලුවන්.
කණ්ණාඩිය තෙත් කරන්නෙ නැතුව පිහිදාන්න යන්න එපා. එතකොට කණ්ණාඩිය මතුපිට හෝ පිහිදමන රෙදි කඩේ තියෙන දූවිලි වලට කණ්ණාඩි කාචය හීරෙන්න පුලුවන්. අනෙක, කණ්ණාඩිය පිරිමැද පිරිසුදු කරන්න ටිෂූ, ටොයිලට් පේපර් වගේ පාවිච්චි කරන්න එපා. ඒවායෙ රලු ගතියට කාච මතුපිට සීරීම ඇති වෙන්න පුලුවන්.
කණ්ණාඩි කාචෙට කෙල ගහල හරි, ප්‍රාශ්වාස කරල හරි පිරිසුදු කරන්න යන්න එපා. ඒකෙන් අවශ්‍ය තෙතමනය ලැබෙන්නෙ නෑ. අනෙක ටිකක් අජූතයි නේද?
කණ්ණාඩි මතුපිට සීරීම් උලා දමන්න යන්න එපා. එමගින් සීරීම් තවත් වැඩි වෙන්න පුලුවන්. හුඟක් සීරිම් ඔබේ පෙනුමට ලොකු බලපෑමක් ඇති කරන්නෙ නැහැ.

දැන් අපි බලබු කණ්ණාඩිය පරිහරණයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු
***********************************************************************

කණ්ණාඩිය ගැලවීමේදි හා දෑමේදී අත් දෙකම පාවිච්චි කරන්න. කණ්ණාඩිය කන මත රදවන Temple දෙක අත් දෙකෙන් අල්ලන් මේ වැඩේ කරන්න. රාමුව ඇද වෙන්න තියෙන අවස්ථාව මෙමගින් අඩු වෙනවා.
කණ්ණාඩිය හිසේ පලදින්න යන්න එපා. ඔබේ හිස මුහුණට වඩා පළල් නිසා රාමුව ඇදෙන්න පුලුවන්.
කණ්ණාඩිය මේසයක් වගේ උසින් තියෙනවනම් එහි කාච උඩ අතට සිටින සේ තියෙන්න. නැත්නම් කාචෙ හීරෙන්න පුලුවන්.
කණ්ණාඩිය බෑගයේ දා ගන්නවනම් එය දෘඩ කණ්ණාඩි කවරෙක දාල බෑග් එකට දාගන්න. පාවිච්චි නොකරන හැම වෙලාවකම මෙවැනි කවරෙක කණ්ණාඩිය දාල තියන්න පුලුවන් නම් හොදයි.
ඔබට කණ්ණාඩිය නිතර අමතක වෙනවනම් glass code එකක් අරන් කණ්ණාඩියට සවිකර ගන්න. එතකොට පාවිච්චි නොකෙරුනත් කණ්ණාඩිය පපුව උඩ එල්ලි එල්ලී තියේවිනෙ.
කණ්ණාඩිය ගිණි ගහන අවිවේ වාහනේ දාල යන්න එපා. විශේෂයෙන් dashboard එක උඩ. ඒ අධික රස්නෙට රාමුව ඉරි තලන්න පුලුවන්

තව විස්තර බලන්න අපේ බ්ලොග් අවකාශය දිහාත් ඇවිත් යන්න
shorturl.at/izCP7

හරියට කණ්ණාඩි 𝐟𝐫𝐚𝐦𝐞 එකක් ‍තෝරා ගමු.⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡කණ්ණාඩි රාමුවක් තේරීමේදී සැලකිය යුතු කාරණා මොනවාද?කණ්ණාඩි රාමුවක් ත...
30/03/2022

හරියට කණ්ණාඩි 𝐟𝐫𝐚𝐦𝐞 එකක් ‍තෝරා ගමු.
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

කණ්ණාඩි රාමුවක් තේරීමේදී සැලකිය යුතු කාරණා මොනවාද?

කණ්ණාඩි රාමුවක් තෝරනව කියන්නෙ ඇත්තටම challenging වැඩක්. මොකද කණ්ණාඩි රාමු ටිකක් මිලෙන් අධිකයි. ඉතින් තෝරන එක හරියටම තෝර ගන්න වෙනවා. නැත්නම් කණ්ණාඩිය වෙනුවෙන් වැය කරපු මුදල අපරාදෙ වෙනව වගේම කණ්ණාඩිය පැලදීමේ අපහසුතා වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නත් පුලුවන්.
බොහෝ වෙලාවට කණ්ණාඩි සාප්පුවෙ ඉන්න මහත්වරු/ මහත්මීන් ඔබට ගැලපෙන කණ්ණාඩිය තෝරා ගන්නට ඔබට උපදෙස් දෙමින් සහය වෙනවා. ලොකු අ‍ටුවා ටිකා නැතුව කිව්වොත්, දෘඪ, ශක්තිමත්, සැහැල්ලු හා මුහුණට හොදින් සවිවන කණ්ණාඩියක් තමයි ඔබ තෝරා ගත යුත්තෙ. කොහොම නමුත් ඔබ කණ්ණාඩි ගන්න යද්දි මේ කරුණු ගැනත් සැලකිල්ල දැක්වුවොත් හොදයි.

🔎ඇස් වල පිහිටීම
ඔබේ ඇස් කණ්ණාඩි රාමුවෙ කාච සවි වන කොටසේ මැදට සමරූපී වෙන්න ඕන. එහෙම නැති උනොත් ඔබේ කණ්ණාඩි කාචය ප්‍රිස්මයක් විදියට ක්‍රියා කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔබ දකින පින්තූරය අවකාශයේ නියම පිහිටීමට වඩා වෙනස් තැනක පේන්න පුලුවන්.

🔎කණ්ණාඩියේ පළල හා ඔබේ මුහුණේ පළල.
කණ්ණාඩිය පැලදුවම එය කනට රදවන රාමුව හා ඔබේ මුහුණ අතර පොඩි ඉඩක් තියෙන්න ඕන. හිරට තියෙන කණ්ණාඩි ගන්න එපා. එසේම ඔබේ මුහුණේ පලල්ම කොටස (ඒ කියන්නෙ කනට වහාම උඩින්) හා කණ්ණාඩියේ පලල්ම කොටස සමපාත වෙන්න ඕන.

🔎ඇහි බැම
ඔබේ කණ්ණාඩි රාමුවේ ඉහල දාරය ඇහි බැමට සමාන්තරව තිබිය යුතුයි. කණ්ණාඩියෙ උඩ දාරය ඇහි බැම හරහට කැපෙන හෝ, ඇහි බැමට සාපේක්ෂව ඉහල හෝ පහල තලයක පිහිටන විදියෙ කණ්ණාඩි ගන්න එපා. ඒක මූණට කැතයි.
අනෙක් අතට ඇහි බැමේ ඝණත්වය හා රාමුවේ ඝනත්වය balance කර ගන්න ඕන. ඔබට තියෙන්නෙ ඝන ඇහි බැමක් නම් තරමක් තුනී රාමුවක් තෝරා ගන්න. ඇහි බැම තුනී නම් ඕකෙම අනිත් පැත්ත.

🔎ශරීර පරිමාව
කණ්ණාඩියේ සයිස් එක ඇඟේ සයිස් එකට ගැලපෙන්නත් ඕන. මබ සිහින් ශරීරයක් ඇත්තෙක් නම් සිහින් රාමුවක් තෝරා ගැනීම තමා හොද

🔎Bridge එක
මේ කියන්නෙ කණ්ණාඩිය නාසය මත රදවනය. ඔබේ නාසය කුඩා නම් පලල් bridge එකක් සහිත කණ්ණාඩියකට යන්න එපා

🔎Eye wire එක
මේ කියන්නෙ කණ්ණාඩිය කන මත රදවනය. සිහින් දිගැටි eye wires ලස්සනයි තමයි. නමුත් කාචය බර නම් ඔබ ඝනකම් eye wire සහිත රාමුවක් තෝරා ගන්න.

🔎කාචය
මේකනෙ ඉතින් වැදගත්ම කොටස. සැහැල්ලු, ප්ලාස්ටික් කාචයක් තෝරා ගන්න. ඒකට Anti reflective coating එකක් දා ගන්න. මේ Anti reflctive coating එකෙන් එලිය යම් පෘෂ්ඨයක් මත වැදිල පරාවර්තනය වෙද්දි ඇසට අපහසු කිරණ කපා වෙන් කරනවා
ඔබ ඩිජිටල් තිර හා නිතර ගනුදෙනු කරන්නෙක් නම් තිරයෙන් එන glare එක අඩු කර ගන්න පුලුවන් filter එකක් ඉල්ලන්න.
ඔබ නිතර එලිමහනේ කාලය ගතකරන්නෙක් නම් අව්වට අදුරු පැහැ වෙන photochromic කාචයක් ඉල්ලන්න.
ඔබට හතලිස් ඇදිරිය හා දුර/අවිදුර දෘෂ්ඨිකත්වය තියෙනවනම්, සාම්ප්‍රදායික Bifocal කාච වෙනුවට progressive addition lens ඉල්ලන්න. එමගින් ඔබට ලඟ, මැදි දුර, දුර ආදී මුලු පරාසයම හොදින් බලා ගන්න පුලුවන්.

වැඩි විස්තර බලා ගන්න අපේ blog එක පැත්තෙත් ඇවිත් යන්න
shorturl.at/lCUV7

කණ්ණාඩි ගැන දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයමු🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅👓 මට පෙනීම අඩුයි නම්, කණ්ණාඩියක් ගන්න කලින් ඇස් දොස්තර කෙනෙක් හ...
09/09/2021

කණ්ණාඩි ගැන දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයමු
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

👓 මට පෙනීම අඩුයි නම්, කණ්ණාඩියක් ගන්න කලින් ඇස් දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන්න ඕනමද? ඇස් කණ්ණාඩි සාප්පුවකින් මට ගැලපෙන කණ්ණාඩිය කෙලින්ම ගන්න බැරිද?

ඇතැම් අයට කිසිම ගැටලුවක් නැතුව කණ්ණාඩි සාප්පුවෙන් කෙලින්ම ගන්න කණ්ණාඩි කුට්ටමෙන් ප්‍රයෝජනය ගන්න පුලුවන්. ඇත්ත.
නමුත් ඔබ මතක තබා ගත යුතු කරුණ වන්නේ, ඇස් පෙනීමේ අඩුව කියන්නෙ කණ්ණාඩියෙන් නිවැරදි කරන්න පුලුවන් refractive error එකක් නොවන්න පුලුවන් වග. කාචයේ සුද, ග්ලූකෝමාව, දියවැඩියාව තත්ත්ව ඇතැම් විට නිහඩව ඔබ අන්ධභාවයට පත්කරමින් ඉන්නවා වෙන්න පුලුවන්. ඉතින් පෙනීම අඩු නම් අක්ෂි වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඉහත කියපු අවදානම් තත්ත්ව පිලිබදව පරීක්ෂා කර ගත්තොත් හොදයි.

👓මට කණ්ණාඩිය හදන්න දීපු තුන්ඩුවෙ තියෙන්නෙ මෙන්න මේ විදියට. මේක මට සරලව පැහැදිලි කරල දෙනවද?

OD) -2.00 -1.00 X 180
OS) -1.50 -1.50 X 180
Add +2.50

ඕකෙ OD කියන්නේ දකුණු ඇස. OS කියන්නෙ වම් ඇස. OU කියන්නේ ඇස් දෙකම.
මුල් අංකයෙන් කියන්නේ දුර හෝ ලඟ නොපෙනීම නිවැරදි කරන්න නියම කරන කාචය. මිනුම ඩයොප්ටර. ඔබට අවිදුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් (-) කාචයක්, දුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් (+) කාචයක් නියම කරල තියෙන්න පුලුවන්.
එතකොට ඊගඟ අගයෙන් කියන්නේ විෂම දෘෂ්ඨිකත්වය සදහා ඔබට පලදින්න වෙන සිලින්ඩර කාචය. බොහෝ රට වල මෙය (-) අගයකින් තමයි සදහන් වෙන්නෙ. එතකොට ඊලඟට තියෙන අංශකයෙන් කියන්නේ සිලින්ඩර කාචයේ බලය යෙදිය යුතු අංශකය. මෙය 0 සිට 180 දක්වා අගයක්.
ඔබට හතලිස් ඇඳිරිය තියෙනව නම් ඊට කෙරෙන නිවැරදි කිරීම තමයි Add යටතේ සඳහන් වෙන්නෙ. මෙය +0.5 සිට +3 දක්වා අගයක්.

👓මොනවද අපිට ගන්න තියෙන කණ්ණාඩි වර්ග?

මූලික වර්ග 3ක් ගැන මම මෙතෙන්දි කියල දෙන්නම්.
💡Single vision glasses- මෙතෙන්දි කණ්ණාඩියෙ තියෙන්නෙ දුර, ලඟ නොපෙනීමට ප්‍රතිකාර විදියට නියම කරන (-) හෝ (+) කාචයක්. එහෙමත් නැත්නම් විSHඅම දෘෂ්ඨිකත්වට නියම කරන සිලින්ඩර කාචයක්.
💡Bifocal glasses- මේකෙ කණ්ණාඩියෙ කාච බලයන් 2ක් තියෙනවා. ඉහල කෙලවරේ ඔබේ දුර, ලඟ නොපෙනීම හෝ විෂම දෘෂ්ඨිකත්වය සදහා වන කාචය තියෙනවා. පහල කෙලවරේ හතලිස් ඇඳිරිය නිවැරදි කරන (+) කාචය තියෙනවා. මේ කාච 2 අතරේ බෙදුම් රෙඛාවක් පේන්න තියෙනවා.
💡Progressive addition lens- මේ කණ්ණාඩි වල දුර, ලඟ, මැදි දුර යන සියලුම දුරවල් එක්වර නිවැරදි කරනවා. කාචයේ බලය ඉහල සිට පහලට ක්‍රමිකව වඩි වේ ගෙන එනවා. නමුත් Bifocal වල වගේ කාච බලයන් වෙන් කරන රේඛාවන් නැහැ. ඒ නිසා භාහිර පෙනුම ගැන හිතන අය Progressive addition කණ්ණාඩි වලට කැමතියි.

👓දැන් තරුණ කාලේ දුර හෝ ලඟ නොපෙනී තිබුන අයෙකුට අවුරුදු 40 දී හතලිස් ඇඳිරියත් ආව කියමු. ඒතකොට එයාට දාන්න පුලුවන් කණ්ණාඩි මොනවද?

ඔය වගේ අයට දෙන්න පුලුවන් විසදුම් 3ක් තියෙනව.
උඩ කියපු bifocal හෝ progrssive addition කණ්ණාඩි තමයි පලවෙනි විසදුම් දෙක.
එහෙම නැත්නම් ඔහුට ලඟට එක් කණ්ණාඩියක් හා දුරට වෙනත් කණ්ණාඩියක් දාන්න පුලුවන්.

👓මම ඔය උඩ කියපු ප්‍රශ්නෙ තියෙන කෙනෙක්. මට අවුරුදු 43දී නියම කරා Bifocal කණ්ණාඩියක්. මම ගුරුවරියක්. මේ කෝවිඩ් ප්‍රශ්නත් එක්ක online teaching පටන් ගත්ත නිසා මට දැන් පරිඝණක තිරය එක්ක ගනුදෙනු කරන්න වෙලා. මේ කණ්ණාඩියෙන් මට පරිඝණක තිරය කියවන්න අමාරුයි. හැබැයි පොතක් කියවන්න. දුර බලන්න එහෙම අවුලක් නෑ. මොකද්ද මේ ප්‍රශ්නෙ?

හරිනෙ. Bifocal කණ්ණාඩියෙන් කෙරෙන්නෙ දුර හා ලඟ පෙනීම නිවැරදි කිරීම විතරයි. පරිඝණක තිරය තියෙන්නෙ අතරමැදි දුරකනෙ. එතකොට ඒ අතරමැදි දුරේ පෙනුම නිවැරදි කරන්න Bifocal කණ්ණාඩි වලට බෑ.
ඔබ වගේ කෙනෙකුට හරි යන්නේ ලඟ, මැදි දුර හා දුර යන මුලු පදාසයම එකවර නිවැරදි කරන Progressive addition කණ්ණාඩියක්. හැබැයි ඔය progressive addition කණ්ණාඩි වල මැදි දුර නිවැරදි කරන්න තියෙන කොටස තියෙන්නෙ කාචයේ මැදට වෙන්න තියෙන ප‍ටු තීරුවක. ඉතින් මේ ප‍ටු ගතිය නිසා සමහරුන්ට ඒත් සමහර අපහසුතා එන්න පුලුවන් මැදි දුර බලද්දි.

👓මුල්ම වරට කණ්ණාඩි දාද්දි අමාරු නැද්ද?

හුඟක් අයට මුල් සති 2, නිකන් අමුතුයි වගේ තමයි. මේ ගතිය විෂම දෘෂ්ඨිකත්වයට දාන සිලින්ඩර කාච එක්ක ටිකක් වැඩියි. කොහොම නමුත් මේ පොසි පොසි අමුතු ගති ඉතා ඉක්මනින් හරි යනවා. තරුණ අය ඉතා ඉක්මනින් මේ වෙනසට අනුගත වෙනවා.
හැබැයි සති 2කට වඩා ඔය අපහසුතා තිබුනොත් නැවතත් ඉක්මනින්ම ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න. ඇතැම් විට ඔබේ කණ්ණාඩියේ කාච බලයන් හෝ සැකසුමේ ගැටලුවක් වෙන්න පුලුවන් දිගටම පවතින අපහසුතාවයට හේතුව.

👓ඉර අව්ව කණ්ණාඩියේ වැදෙද්දි හරි අපහසුයි. මොකද්ද විසදුම?

ආලෝක කිරණ කණ්ණාඩි පෘෂ්ඨය මත පරාවර්තනය වෙන එක වලක්වන්න Anti reflective coating එකක් කණ්ණාඩියට එකතු කරන්න පුලුවන්.

👓අර එලියට යද්දි විතරක් අඳුරු වෙන කණ්ණාඩි ජාතිය මොකද්ද?

Photochromic glasses. ඉර එලියට නිරාවරණය වෙද්දී මේ කණ්ණාඩි ඉබේම අඳුරු වෙනවා. ඉර එලියට නිරාවරණය නොවෙද්දි නැවත සාමාන්‍ය තත්ත්වයට එනවා. ඔබ නිතර එලිමහනට යන අයෙක් නම් ඔබට Photochromic කණ්ණාඩි තමයි වඩා සුදුසු.

👓මම ඔය කියපු ජාතියෙ Photochromic කණ්ණාඩි කුට්ටමක් ගත්තා. හැබැයි ඒක මම අව්ව තිඋයෙන වෙලාවෙ කාර් එක එලවද්දි අඳුරු වෙන්නෙ නෑනෙ. ඒ කියන්නෙ මට drive කරද්දි දාන්න වෙනම sunglass එකෙක් දාන්න වෙයිද?

මෙහෙමයි. හුඟක් අලුත් වාහන වල තියෙන වීදුරු වලින් ඉර එලියේ තිබෙන UV පදාසයේ කිරණ පෙරීමකට ලක් වෙනවා. මේ UV පදාසයේ කිරණ තමයි Photochromic කාච අඳුරු පැහැ වෙන්න මූලික වෙන්නෙ. ඉතින් කාර් එක ඇතුලෙදි අව්ව තියෙන වෙලාවක වුනත් photochromic කාච අඳුරු නොවී තියෙන්න පුලුවන්.
ඉතින් ඔබට drive කරද්දි දාන්න වෙනම අව් කණ්ණාඩියක් දාන්න වෙනව.

👓මගේ අවුරුදු 8 පුතාට කණ්ණාඩි නියම කරපු නිසා කණ්ණාඩියක් අරන් දුන්නා. මෙයා ඒක දාන්නෙම නෑනෙ ඩොක්ට. කැමතිම නෑ. මොකද කරන්න පුලුවන්?

ළමයි කණ්ණාඩි ප්‍රතික්ෂේප කරන්න හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. කණ්ණාඩි වලට හැඩ ගැහෙද්දි තියෙන අපහසුතා වල ඉඳන් පාසලේදී සිදු වල උසුලු විසුලු දක්වා පරාසයක හේතු මේකට බලපාන්න පුලුවන්. හොදම වැඩේ එයාට, එයා කැමති frame එක තෝර ගන්න දෙන්න. මේක තමයි සරලම හා හුඟක් ඵලදායී විසඳුම.

👓දරුවට කණ්ණාඩි දාන්න වෙනව කිව්ව ඩොක්ට. මට බයයි මෙයා මේක කඩා ගනී කියල. දන්නවනෙ දාංගලේ

පොඩි දරුවන්ට හදන කණ්ණඩි හදන්නෙ polycarbanat හෝ Trivex කියන ද්‍රව්‍ය වලින්. වීදුරු වලින් නෙවෙයි. මේවයින් කදන කණ්ණාඩි හොද ප්‍රතිරෝදයක් තියෙනවා කැඩීම් බිදීම් වලට. අනෙක සැහැල්ලුයි.

👓කණ්ණාඩියකට තරමක් මුදලක් යනවනෙ ඩොක්ට. මගේ කණ්ණාඩියේ ආයු කාලය වැඩි කර ගන්න පුලුවන් ක්‍රම මොනවද?

🔹ඔය විච්චූරණ frame ගන්න එපා. ඒ මෝස්තර ඉක්මනටම වනස් වෙනවා. එතකොට ඔබේ කණ්ණාඩිය නිකං outdated වගේ හියෙනවා. ඉතිං සාමාන්‍ය frame එකක් තෝරා ගන්න.
🔹කණ්ණාඩි රාමුව Rim හා කනට තීබෙන ආධාරකය temple අතර spring එකක් තිබෙන frame එකක් තෝරා ගන්න. ඒවායේ නම්‍යශීලී ගතිය වැඩියි.
🔹කණ්ණාඩි කාච වලට සීරීම් වලට ඔරොත්තු දෙන scratch resistance coating එකක් එකතු කර ගන්න.
🔹කණ්ණාඩි මාරු කරන්න වෙන අවස්ථාවන් වලදී කාචය විතරක් මාරු කරන්න. Frame එක මාරු කරන්න එපා. Frame තමයි මිල අධික.

👓කොච්චර කාලයකට පාරක් මම කණ්ණාඩි මාරු කරන්න ඕනද?

ඔබේ කණ්ණාඩියේ අගයන් වෙනස් වන විටදි ඔබ කණ්ණාඩිය මාරු කරන්න ඕන. කණ්ණාඩි පරීක්ෂාව අවුරුද්දකට හෝ දෙකකට වරක් සිදු කරන්න ඕන. ඒක ඔබේ අක්ෂි වෛද්‍යවරයා කියයි.

👓මම දාන බෝතල අඩි වගේ කණ්ණාඩි දෙක මට එපා වෙලා තියෙන්නෙ. වෙන විකල්පයක් නැද්ද ඩොක්ට?

තියෙනවා.
ඔබේ කණ්ණාඩි වරතනාංකය වැඩි high refractive index ද්‍රව්‍යකින් හදාගන්න පුලුවන්. එතකොට කාචය හීනියි. සැහැල්ලුයි.
එහෙම නැත්නම් ඔබට සිවි කාච වලට මාරු වෙන්න පුලුවන්. ඔබ වගේ ඉහල අගයක් තියෙන කණ්ණාඩි කාච දාන කෙනෙකුට එමගින් හොද quality of vision එකක් ලබා ගන්න පුලුවන්.
එහෙමත් නැත්නම් laser LASIK සැත්කමකට යන්න පුලුවන්.
මේ ක්‍රම වලට ඔබ සුදුසුද කියල ඔබේ අක්ෂ වෛද්‍යවරයා එක්ක කතා කරන්න.

පින්තූර සටහන් එක්ක විස්තරාත්මක ලිපිය කියවන්න අපේ බ්ලොග් අවකාශය පැත්තෙ ඇවිත් යන්න
https://bit.ly/3jTns2c

👁️‍🗨️ මොකක්ද මේ "විෂම දෘෂ්ඨිකත්වය" කියන්නෙ?විෂම දෘෂ්ඨිකතවයේදී වෙන්නෙ අපේ ඇහේ තියෙන ප්‍රධාන වර්තක පෘෂ්ඨ 2, ඒ කියන්නෙ කුණි...
31/08/2021

👁️‍🗨️ මොකක්ද මේ "විෂම දෘෂ්ඨිකත්වය" කියන්නෙ?

විෂම දෘෂ්ඨිකතවයේදී වෙන්නෙ අපේ ඇහේ තියෙන ප්‍රධාන වර්තක පෘෂ්ඨ 2, ඒ කියන්නෙ කුණිතය හා කාචයේ මතුපිට තිබෙන වක්‍රතාවයේ අසමානතා පරිසරයෙන් එන ආලෝක කිරණ ඇසේ දෘෂ්ඨි විතානය මත නාභිගත වෙනවා වෙනුවට වෙනත් ලක්ෂ කිහිපයක නාභිගත වෙන එක. එතකොට මොළයට ඇසෙන් යවන්නේ බොඳ වුන අපැහැදිලි ප්‍රතිබිම්භයක්.
බොහෝ වෙලාවට මේ වක්‍රතාවයේ අසමානකම අපි දකින්නේ කුණිතයේ. මෙවැනි අවස්ථාවක, කුණිතයේ විවිධ අක්ෂ වල විවිධ වක්‍රතාවයන් තමයි තියෙන්නෙ. සර්ව සම්පූර්ණ කුණිතයක් නම් එහි සැම අක්ෂයක් දිගේම තියෙන්න ඕන වක්‍රතාවය එකක් වෙන්න ඕන. දැන් විවිධ අක්ෂ දිගේ තියෙන වක්‍රතාවයන් විවිධයි කිව්වනෙ. මේවයින් වඩාත්ම වැඩි හා අඩු වක්‍රතාවයන් තිබෙන අක්ෂ දෙක තමයි මූලික අක්ෂ විදියට හදුනා ගන්නෙ. සාමාන්‍යයෙන් බහුලව දකින Regular astigmatism කියන තත්ත්වයේදී මේ මූලික අක්ෂ දෙක පිහිටල තියෙන්නෙ එකිනෙකට අංශක 90ක් ඈතින්. කලාතුරකින් දකින Irregualr astigmatism කියන තත්ත්වයේදී මේ මූලික අක්ෂ දෙකේ වෙන් වීම අංශක 90ට වඩා අඩුයි හෝ වැඩියි.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වයේ රෝග ලක්ෂණ මොනවද?

මූලිකම දේ තමයි සෑම දුරක තිබෙන වස්තුවක්ම බොඳ වෙලා පෙනීම. හැබැයි ඉතින් පොඩි කාලේ ඉදන් මේ තත්ත්වෙ තියෙන කෙනෙකුට මේ බොඳ ගතිය එහෙමට තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්. සමහර අය වස්තූන් ඇදවලා, පා වෙනව වගෙත් අත් විදින්න පුලුවන්. මීට අමතරව ඇස් ආශ්‍රිත වේදනාව, දීර්ඝ කාලීන හිසරදය වගේ තත්ත්වත් ඇති වෙන්න පුලුවන්.
හැබැයි ඉතින් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ තමන්ට විෂම දෘෂ්ඨිකත්වය තියෙනව කියලත්.

👁️‍🗨️ මේක හුඟක් පොදු තත්ත්වයක්ද?

ඔව්. අපි හුඟක් අයට විෂම දෘෂ්ඨිකත්වය තියෙනවා. ඉතා අඩු අගයකින් හරි. නමුත් හුඟක් අයට ඒක පෙනුමේ අඩුවක් තියෙනව කියල තේරෙන මට්ටමට දරුණුවට නැහැ.

👁️‍🗨️ ඒ කියන්නෙ "විෂම දෘෂ්ඨිකත්වය" තියෙන කට්ටියට අර පෙනුම බලන chart එකේ අන්තිම පේලිය කියවන්නත් පුලුවන්?

ඔව්. විෂම දෘෂ්ඨිකත්වය මද වශයෙන් තියෙන කෙනෙකුට 6/6 පේලිය කියවන්න පුලුවන්. හැබැයි කිසිම ගැටලුවක් නැති කෙනෙකුට වඩා ඒක ඔහුට තරමක් අපැහැදිලි වෙන්න පුලුවන්.
කොහොමත් විෂම දෘෂ්ඨිකතවය තියෙන කෙනෙක් කණ්ණාඩි, සිවි කාච හෝ LASIK සැත්කමක් කරාම ඔහුට 6/6 පේලිය ගැටලුවක් නැතුව කියවන්න පුලුවන්.

👁️‍🗨️ මේක පරම්පරාවෙන් එන තත්ත්වයක්ද?

ඇතැම් "විෂම දෘෂ්ඨිකතව"පරම්පරාවෙන් එන්න පුලුවන්. හැබැයි හැම තිස්සෙම එහෙම වෙනව කියල නෑ.

👁️‍🗨️ මොන වයසෙදිද විෂම දෘෂ්ඨිකත්වය ඇති වෙන්නෙ?

මෙහෙමයි. ඉපදෙද්දිම අපේ ඇස් වල යම් මට්ටමක කුණිතයේ වක්‍රතාවයේ අසමානතා තියෙනව. ඒක ඇස් බෝලයේ වර්ධනයත් එක්ක ක්‍රමිකව අඩු වෙලා වයස අවුරුදු 2දී බොහෝ දුරට සාමාන්‍ය මට්ටමට එනව. ඇතමෙකුගෙ මේ තත්ත්වය දිගටම තියෙන්න පුලුවන්.
අනෙක් අතට පසු කාලීනව අනතුරු නිසා ඇති වෙන විෂම දෘෂ්ඨිකත්වය ඕනම වයසකදි එන්න පුලුවන්. "කෙරටොකෝනස්"(Keratoconus) කියන තත්ත්වය නිසා එන විෂම දෘෂ්ඨිකත්වය නව යොවුන් වියේදී ඇති වෙලා හරි ප්‍රතිකර්මයක් නොලැබුනොත් වයස අවුරුදු 35 විතර වෙනකන් ක්‍රමිකව වැඩි වෙන්න පුලුවන්.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වය නිසා "ඇම්බයෝපියා" (Amblyopia) තත්ත්වය ඇති වෙන්න පුලුවන්ද?

පුලුවන්. අනිත් දෘෂ්ඨි ආබාධ වගේම, කුඩා දරුවන්ගේ විෂම දෘෂ්ඨිකත්වය ඉක්මනින් හදුනා ගෙන ප්‍රතිකාර කලේ නැතොත් ඒ ඇසෙන් එන අපැහැදිලි රූප ක්‍රමයෙන් මොලයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේකෙ අවසාන ප්‍රතිථලය වෙන්නෙ ඒ ඇස මොලයෙන් සම්පූර්ණයෙන්ම අමතක කර දැමීම. එහෙම වුනොත් නැවත ඒ ඇස මොලයට හදුන්වා දෙන එක ඉතාමත් අසීරුයි. ඒ නිසා කුඩා දරුවන්ගේ විෂම දෘෂ්ඨිකතවය වගේම ඕනෑම දෘෂ්ඨි ආබාධයක් හැකි ඉක්මනින් හදුනා ගෙන ඊට නිසි ප්‍රතිකාර කරන්න ඕන.

👁️‍🗨️ කොහොමද කෙනෙකුට විෂ්ම දෘෂ්ඨිකත්වය තියෙනවද කියල දැන ගන්නෙ?

මූලිකවම කණ්ණාඩි පරීක්ෂණයේදී ඔබට පැහැදිලි පෙනුමක් ගන්න සිලින්ඩර කාච යොදන්න වෙනවනම් ඔබට විෂම දෘෂ්ඨිකත්වය තියෙනව කියල හදුනා ගන්න පුලුවන්. ඊට අමතරව topography, tomography ආදී පරීක්ෂණ මගින් කුණිතයේ ඉදිරි හා පි‍ටුපස වක්‍රතාවයෙන්, ඒ ඒ වක්‍රතා තිබෙන අක්ෂයන්, ඒ ඒ ස්ථාන වල වර්තන අගයන් වගේ සංකීර්ණ දත්ත අරගන්න පුලුවන්. ඒ දත්ත විෂ්ම දෘෂ්ඨිකත්වය තහවුරු කර ගන්න වගේම ප්‍රතිකාර ක්‍රම නිර්ණය කරන්නත් වැදගත් වෙනවා.

👁️‍🗨️ හරි. දැන ගත්ත කියමු. කොහොමද විෂම දෘෂ්ඨිකත්වයට ප්‍රතිකාර කරන්නෙ?

දැනට ලංකාවෙ තියෙන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම ගැන මම කරන්නම්. කණ්ණාඩි, සිවි කාච හා LASIK සැත්කම්.
ඊට අමතරව ලෝකයේ දැනට Orthokeratology කියල ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දෙමින් තියෙනවා. මේකෙදි කරන්නේ නිදා ගෙන ඉන්න කාලයේ දෘඩ සිවි කාචයක් පලදින එක. එතකොට නිදා ගෙන ඉන්න කාලයේදී කුණිතයේ වක්‍රතාවය මේ සිවි කාචයෙන් තාවකාලිකව වෙනස් කරනවා. උදේ ට මේ සිවි කාචෙ ගැලෙව්වම කුණිතයේ හැඩය වෙනස් වෙලා තියෙන නිසා එදා දවල් දවස තුල කණ්ණාඩි හෝ සිවි කාච නොමැතිව පැහැදිලි පෙනුමක් රෝගියාට ලැබෙනව. නමුත් මේක තවම ලංකාවෙ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් නෙවෙයි.

👁️‍🗨️ මෙහෙම හිතන්නකො. මට විෂම දෘෂ්ඨිකතවය තියෙනවා. මම කණ්ණාඩි හෝ සිවි කාච දාන්නම ඕනද?

නැහැ. මේක කලිනුත් කිව්වනෙ. ඉතා සුලු ප්‍රමාණයේ විෂම දෘෂ්ඨිකත්වය තියෙන අය පෙනීම පරීක්ෂා කරන බෝඩ් එකේ 6/6 පේලියත් කියවනවා. ඉතින් කණ්ණාඩි අත්‍යාවශ්‍ය නෑ. හැබැයි ඔබ නිසි කණ්ණාඩිය හෝ සිවි කාචය දැම්මොත් පුදුම වෙයි ලෝකය ඔබ දැක දැක හිටියට වඩා කොච්චර පැහැදිලිද කියල.

👁️‍🗨️ ඩොක්ට කියන්න, කණ්ණාඩිද, සිවි කාචද මේ තත්ත්වයේදි දාන්න හොද?

දෙකම හොදයි. ආරක්ෂිතයි. ඵලදායී.
හැබැයි ඔබට තියෙන්නෙ Irregular astigmatism, Mixed astigmatism වගේ ටිකක් සංකීර්ණ විෂම දෘෂ්ඨිකත්වයන් නම්, සිවි කාච තමා හොද.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වයට කියල මම ඊයේ කණ්ණාඩිය ගත්ත. මට ටිකක් අමුතුයි වගේ. ඒක් normal ද?

මෙහෙමයි. කණ්ණාඩි නෝදාපු කෙනෙක් පලමු වරට කණ්ණාඩි දැම්මම ටිකක් අමුතුයි මුල් දින කිහිපයෙ. මේක විෂම දෘෂ්ඨිකත්වයට දෙන සිලින්ඩරාකාර කාච එක්ක ටිකක් වැඩී. හැබැයි ඕක සතියකින් වගේ හරි යනවා. තරුණ වයසේ අයට මේ "හුරු වීමේ කාලය"තවත් අඩුයි.
හැබැයි ද්ගටම මේ අමාරුකම් තියෙනවනම් ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමබ වෙන්න. සමහර විට කණ්ණාඩියේ මිනුම් හෝ කණ්ණාඩියේ සැකසුම වැරදි වෙන්න පුලුවන්.

👁️‍🗨️ මම විෂම දෘෂ්ඨිකත්වයට ප්‍රතිකාර විදියට ගත්තෙ සිවි කාච. මටත් මුල් දවස් වල ඔය කිව්ව වගේම අපැහැදිලි තත්ත්වයක් ආවනෙ ඩොක්ට

ඔව්. කණ්ණාඩි වලට කිව්ව වගේම "හුරු වීමේ කාලයක්"සිවි කාච සදහාත් තියෙනවා. නමුත් මේ තත්ත්වය දින 3-4 ට වඩා තිබ්බොත් ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමබ වෙන්න. ඔබේ සිවි කාචයේ මිනුම් හෝ සිවි කාචය ඇසට සවි වී පිහිටීමේ ගැටලුවක් තියෙනව වෙන්න පුලුවන්.

👁️‍🗨️ ඔච්චර කියපු එකේ LASIK ලේසර් සැත්කම ගැනත් කියන්න ඩොක්ට

මේකෙදි කරන්නෙ ලේසර් කිරණ මගින් කුණිතය නැවත හැඩ ගැන්වීමක් කරනවා. මේ ක්‍රමය කලින් කියපු Irregular Astigmatism, Mixed Astigmatism වගේ සංකීර්ණ විෂම දෘෂ්ඨිකත්ව වලදි හොද ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි වියදම අධිකයි.

👁️‍🗨️ සල්ලි නම් කමක් නෑ ඩොක්ට. මගේ බබාට තියෙන විෂම දෘෂ්ඨිකත්වයට මට LASIK එකක් කර ගන්න පුලුවන්ද?

LASIK කරන්නෙ නම් ඇසේ වර්ධනය සම්පූර්ණයෙන් නතර වුනාට පස්සෙ. ඒ කියන්නෙ වයස අවුරුදු 18ට පස්සෙ. අනෙක් අතට, LASIK ඇත්කමට කලින් ඔබේ විෂම දෘෂ්ඨිකත්වයේ අගය වසරක් පුරාවට වෙනස් නොවී තියෙන්න ඕන. වරින් වරට වෙනස් වෙන විෂම දෘෂ්ඨිකත්වයට LASIK කරන්න බෑ.

👁️‍🗨️ මගේ මාමාට අවුරුදු 56 දි කාච ඔපරේෂන් එකක් කරා. එයාට ඉස්සර ඔය විෂම දෘෂ්ඨිකත්වය කියල එකක් තිබ්බෙ නෑ. හැබැයි සැත්කමට පස්සෙ පොඩි සිලින්ඩර කාචයක් සහිත කණ්ණාඩියක් දාන්න වෙයි කියල කිව්ව. ඒ කියන්නෙ සුද ඔපරේෂන් කරාට පස්සෙ විෂම දෘෂ්ඨිකත්වය එන්න පුලුවන්ද?

සුද ඔපරේෂන් කරන Phacoemulsification කියන සැත්කමේදි ඇස ඇතුලට යන්න කුණිතයේ පිටතින් 2mm ප්‍රමාණයේ පොඩි කැපුමක් දානවා. ඉතින් මේ කැපුම සුව වෙද්දි එන කබොලෙන් කුණිතයේ හැඩය කලාතුරකින් වෙනස් වෙන්න පුලුවන්.
අනෙක් අතට මෙහෙම හිතමු. කාච ඔපරේෂන් එකට කලින් විෂම දෘෂ්ඨිකත්වය තියෙන කෙනෙකුගේ කුණිතයේ වක්‍රතාවය වැඩි අක්ෂය හොයා ගැන ඒ අක්ෂයේ ඔය කැපුම දැම්මොත් සැත්කම් ඉවර වෙද්දි සුද නැති වෙනව විතරක් නෙවෙයි, කුණිතයත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
තවත් දෙයක්, දැන් මුලදිම කිව්වනෙ කුණිතයේ හෝ කාචය මතු පිට වක්‍රතාවයේ ගැටලු නිසා තමයි විෂම දෘෂ්ඨිකත්වය එන්නෙ කියල. අපි මෙච්චර වෙලා කතා කලේ කුණිතය නිසා එන විෂම දෘෂ්ඨිකත්වය ගැන. මොකද ඒක තමයි බහුල. හැබැයි ඇතැම් විටක කාචය මතුපිට තිබෙන වක්‍රතා අසමානතාවය කුණිතයේ වක්‍රතා අසමානතාවයට හිලවු වෙලා විෂම දෘෂ්ඨිකත්වය අහෝසි වෙලා තිබ්බ වෙන්නත් පුලුවන්. ඉතින් මේ වගේ කෙනෙකුගෙ ස්වභාවික කාචය අයින් කරල වෙනත් කාචයක් දැම්මම අර අහෝසි වීම නැති වෙලා කුණිතයේ වක්‍රතා අසමානතාවය කැපී පේන්න පටන් ගන්නව. වෙනත් විදියට කිව්වොත් විෂම දෘෂ්ඨිකත්වය තිබ්බෙ නැති කෙනෙකුට විෂම දෘෂ්ඨිකත්වය ආව වගේ වෙනව.
කොහොම නමුත් කාච ඔපරේෂන් කියන්නෙ කිතා ආරක්ෂික, ඉනා හොද ප්‍රතිඵල දෙන සැත්කමක්. අහඹු සිදු වීම් නිසා ඒ සැත්කම ගැන අනවශ්‍ය බියක් ඇති කර ගන්න ඕන නැහැ.

පින්තූරත් එක්ක වැඩි දුර විස්තර බලන්න අපේ Blog අවකාශය පැත්තෙන් ඇවිත් යන්න
https://bit.ly/3BrCMsJ

මට වයස 42යි. ලඟකදී ඉඳන් මට බේත් බෝතලේ, කවර වල අකුරු කියවන්න අමාරුයි. මගේ ඇස් වල ප්‍රශ්නයක්ද?➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔎මොකක්ද හතලි...
25/08/2021

මට වයස 42යි. ලඟකදී ඉඳන් මට බේත් බෝතලේ, කවර වල අකුරු කියවන්න අමාරුයි. මගේ ඇස් වල ප්‍රශ්නයක්ද?
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔎මොකක්ද හතලිස් ඇඳිරිය කියන්නේ?

හතලිස් ඇඳිරිය කියන වචනෙම ඕකෙ තේරුම තියෙනවා. අවුරුදු හතලිහෙන් පස්සෙ ඇතිවන සමීප දේවල් අපැහැදිලි වල තත්ත්වය තමයි හතලිස් ඇඳිරියේදි වෙන්නෙ.
ඔබේ ඇහේ ස්වභාවික කාචයට ඔබ ලඟ දෙයක් බැලීමේදී එහි වක්‍රතාවය සුදුසු පරිදි වැඩිකර ගෙන වස්තුවේ ප්‍රතිබිම්භය දෘෂ්ඨි විතානය මතටම නාභිගත කරන්න පුලුවන්. නමුත් මේ හැකියාව වයසත් එක්ක ක්ෂය වෙනවා, ක්‍රමිකව ඔබේ ස්වභාවික කාචයට සුදුසු පදිරි තමන්ගේ වක්‍රතාවය වෙනස් කරන්න බැරි වෙනවා. ඔන්න ඔතෙන්දි තමයි කට්ටියට වෙනදට හොඳින් පෙනුන ලඟ වස්තූන් අපැහැදිලිව පේන්න පටන් ගන්නෙ. පොත් වල කුඩා අකුරු කියවන්න අපහසුව, ඉදික‍ටුවට නූල දා ගන්න තියෙන අපහසුව, හාල් වල ගල් ඇහිදින තියෙන අපහසුව ආදී තමන්ගේ ජීවන රටාව හා බැඳුන විවිද අපහසුතා එක්ක හතලිස් ඇඳිරිය එලි බහින්න පුලුවන්

🔎ඒ කියන්නේ ඕනම කෙනෙකුට හතලිස් ඇඳීරිය වයස අවුරුදු 40න් එන්න පුලුවන්ද?

ඔවු. කාටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. මොකද මේක වයසට යාමත් එක්ක එන ස්වභාවික සංසිද්ධියක්. කොහොම නමුත් ඔබ තරුණ කාලයේ කණ්ණාඩි පැලදපු කෙනෙක් නම් හතලිස් ඇඳිරිය ඇති වන වයස පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුලුවන්. ඔබ අවිදුර දෘෂ්ඨිකත්වයට කණ්ණාඩි දැම්ම කෙනෙක් නම් ඔබට අවුරුදු හතලිහෙන් පස්සෙත් ටික කාලයක් හතලිස් ඇඳිරිය ඇති නොවී තියෙන්න පුලුවන්. අනෙක් අතට, ඔබ තරුණ කාලයේ දුර දෘෂ්ඨිකත්වයට කණ්ණාඩි පැලදපු කෙනෙක්නම් ඔබට අවුරුදු හතලිහටත් කලින්ම මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.

🔎ඇස් වලට ව්‍යායම කරල හතලිස් ඇඳිරිය වලක්ව ගන්න පුලුවන් කියල මම අහල තියෙනවා.

නැහැ. එහෙම වලක්වා ගන්න හෝ නැවත සුව කිරිමක් කරන්න ව්‍යායාම වල ට බැහැ. මේක මිත්‍යාවක්.
නමුත් මෙහෙම දෙයක් තියෙනවා. හතලිස් ඇඳිරිය ආරම්භ වන අවධියේදී අපේ ස්වභාවික කාචයට හා ඒ ආශ්‍රිත පේශි වලට යම් ප්‍රමාණයකට ඊට අනුගත වෙලා කාචයේ වක්‍රතාවය වෙනස් කරන්න පුලුවන්. යම් ප්‍රමාණයකට. හරිද? ඉතින් මේ වෙලාවෙදි ඇතැම් ඇසට කරන ව්‍යායාම වලින් මේ හැකියාවට පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්. හැබැයි තවත් වයසට යද්දී මේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ඔබට කොහොමත් කණ්ණාඩි දාන්නම වෙනවා.

🔎හොද මල්ටි විටමින් එකක් ගත්තොත් මට හතලිස් ඇඳිරිය වලක්වා ගන්න පුලුවන්ද?

මෙහෙමයි ඇසට අදාල මල්ටි විටමින් තියෙනවා. ඒවයෙ තියෙන විටමින් C,E, සින්ක්, ඇතැම් මේද අම්ල, ලුටෙයින්, සියාසැන්තීන් කියන පෝෂක ඇසේ දීර්ඝ කාලීන සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරනව. හැබැයි ඉතින් හතලිස් ඇඳිරිය කියන්නෙ වයසත් එක්ක එන දෙයක්නෙ. ඔබට විටමින් ගත්ත කියල ඒ යතාර්ථයෙන් මිදෙන්න බෑ

🔎හතලිස් ඇඳිරිය නිසා අන්ධභාවය ඇති වෙන්න පුලුවන්ද?

හතලිස් ඇඳිරිය නිසා ඔබේ එදිනෙදා සමීප වැඩ කටයුතු වලට බාදාවක් ඇතිවෙන්න පුලුවන්. ඒ කිව්වෙ කුඩා අකුරු කියවීම, ඉදි ක‍ටුවට නූල දැමීම, හාල් වල ගල් ඇහිලීම වගේ දේවල්. හැබැලි හතලිස් ඇඳිරිය නිසා අන්ධභාවය ඇති වෙන්නෙ නෑ.
නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා. අවුරුදු 40 වෙද්දි ඔබේ ඇසට ග්ලූකෝමාව, එතනින් ගියාම දියවැඩියාව නිසා ඇසට ඇතිවන සංකූලතා ආදිය එන්න තියෙන හැකියාව වැඩියි. ඒව ඇසේ අන්ධභාවය ඇති කරවන තත්ත්ව. ඒ නිසා අවුරුදු 40 ආශ්‍රිතව එන දෘෂ්ඨි අපැහැදිලිකම ගැන අක්ෂි වෛද්‍යවරයෙක් හමු වෙලා බලාගන්න එක හොදයි.

🔎හරි මට හතලිස් ඇඳිරිය කියමු. මොනවද මට තියෙන ප්‍රතිකාර ක්‍රම?

ඔබට මූලිකව ප්‍රතිකාර ක්‍රම 3 ක් තියෙනව තෝරා ගන්න.
කණ්ණාඩි, සිවි කාච , සැත්කම්

ලේසිම වැඩේ තමයි reading glasses දාන එක. හැබැයි reading glass ගන්න කලින අක්ෂි වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබට අවුරුදු 40 ආශ්‍රිතව ඇතිවන ග්ලූකෝමා තත්වය, සුද මතුවීම, දියවැඩියාවේ අක්ෂි සංකූලතා ආදී තත්ත්වයන් නැහැ කියන එක තහවුරු කර ගන්න.
ඔබ තරුණ කාලෙ කණ්ණාඩි දාන කෙනෙක් නම් දුර හා ලඟ යන දෙකටම ගැලපෙන පරිදි කණ්ණාඩි නියම කරන්න පුලුවන්. ඒකෙත් විවිධ තෝරාගැනීම තියෙනවා. bifocal, Trifocal, Progressive addition ආදී විවිධ කණ්ණාඩි වර්ග තිබෙනවා ඔබේ වයස, රැකියා අවශ්‍යතාවය අනුව තෝරා ගන්න.

(bifical හා progressive addition කියන කණ්ණාඩි වර්ග වල වෙනස්කම් හා වාසි අවසි අපි තව ලිපියකින් කතා කරනවා.)

සිවි කාච වලත් ඔය කියන තෝරා ගැනීම්ම තියෙනවා. (අපි සිවි කාච හා කණ්ණාඩි වල වාසි අවාසිත් ඉදිරි ලිපියකින් කතා කරමු.)

ලේසර් සැත්කම් මගින් ඔබේ කුණිතය ප්‍රති-හැඩ ගැස්වීමක් කරන්න පුලුවන්. එමගින් විවිධ දුරවල් වල ඉදන් එන කිරණ දෘෂ්ඨි විතානයටම නාභිගත කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් හතලිස් ඇඳිරියට කරන ලේසර් සැත්කමෙදී (Presbyopic LASIK) එක් ඇසක් දුර බැලීමටත්, අනෙක් ඇස ලඟ බැලීමටත් පුලුවන් විදියට තමයි හදන්නෙ. ටිකක් අමුතුයි වගේ හිතුනට 75% අයට මේ ක්‍රමය හිතට අල්ලන ක්‍රමයක්. හැබැයි ඔබ දැන ගන්න ඕන හැම කෙනෙක්ම presbyopic LASIK සදහා ගැලපෙන පුද්ගලයෙක් නොවන බව.

එහෙමත් නැත්නම් ඔබට පුලුවන් ස්වභාවික කාචය අයින් කරලා Multifocal කාචයක් ඇහැ ඇතුලට දා ගන්න.

🔎හරි. මම සැත්කම් ප්‍රතිකාරය විදියට තෝර ගත්ත කියමු. ඩොක්ට කියන්නෙ මට වඩා හොද presbyopic LASIK ද, එහෙමත් නැත්නම් Multifocal කාචයද?

මම හිතන්නෙ multifocal len මොකද එයින් ඔබට ඇස් දෙකම එකවර පාවිච්චි කරල ඕනම දුරක තිබෙන වස්තුවක් පැහැදිලිව බලන්න පුලුවන්. Pesbyopic LASIK වලදී පෙර කියපු ආකාරයට දුරට හා ලඟට යන විදියට ඇස් දෙක වෙන වෙනම සකස් කිරීමක් තමයි බොහෝ විට සිද්ධ වෙන්නෙ. අනෙක multifocal කාචයකින් ඔබට ගැඹුර පිලිබඳ වැඩි දැනීමක් ගන්න පුලුවන්.

🔎දැන් මේ හතලිස් ඇඳිරියට ටක්කෙටම ප්‍රතිකර්මයක් නැද්ද?

ඔබ පෙර කියපු සැත්කමකට ගියොත් ඔබට කණ්ණාඩි හෝ සිවි කාච අවශ්‍ය වෙන්නෙ නෑ හෝ එහි අවශ්‍යතාවය ඉතා සීමිතයි.

🔎හතලිස් ඇඳිරියට දාන කණ්ණාඩි මම හැම තිස්සෙම දාන්න ඕනද?

ඔබ හතලිස් ඇඳිරිය ඇතිවෙන්න කලින් කණ්ණාඩි දාපු කෙනෙක් නෙවෙයි නම්, ඔබට හතලිස් ඇඳිරිය සදහා දීපු reading glasses, කියවීම ආදී සමීප දේවල් ගැන අවධානය යොමු කිරීමේදී පමණක් දැම්මම ඇති.

🔎කණ්ණාඩි දැම්මොත් ඕක පුරුද්දට යයිද? හතලිස් ඇඳිරිය එන්න එන්න වැඩි වෙයිද?

ඔබ කණ්ණාඩි දැම්මත්, නැතත් ලඟ දේවල් බැලීමට ඇසේ තියෙන හැකියාව වයසත් එක්ක තව තවත් අඩු වෙනවා. වයසත් එක්ක වෙන ඒ දේ වෙනස් වෙන්නෙ නෑ.

🔎මම අවුරුදු 30 දී දුර පේන්නෙ නැති එකට LASIK සැත්කමක් කරා. මටත් හතලිස් ඇඳිරිය එයිද?

දැන් කීපාරක් කිව්වද දෙයියනේ. හතලිස් ඇඳිරිය වයසත් එක්ක එන තත්ත්වයක්. ඕබටත් ඒ ලෝක සත්‍යතාවයෙන් මිදෙන්න බෑ

පින්තූර සටහන් එක්ක වැඩිදුර විස්තර බලන්න අපේ අවකාශය පැත්තෙ ඇවිත් යන්න
https://bit.ly/3sN0wUV

මීලඟ ගෝලිය උවදුරට ඔබ සූදානම්ද? අවිදුර දෘෂ්ඨිකත්වය ගැන ඔබ දන්නේ මොනවාද?➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖👓 මොකද්ද අවිදිර දෘෂ්ඨිකත්වය කියන්න...
02/07/2021

මීලඟ ගෝලිය උවදුරට ඔබ සූදානම්ද? අවිදුර දෘෂ්ඨිකත්වය ගැන ඔබ දන්නේ මොනවාද?
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👓 මොකද්ද අවිදිර දෘෂ්ඨිකත්වය කියන්නෙ?

අවිදුර කියන්නෙ ලඟ. ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ තියෙන දේවල් හොදට පේනවා. හැබැයි දුර දේවල් පේන්නෙ නෑ.
ඇස් බෝලය පමණට වඩා දිගු වීම, කාචයේ හා කුණිතයේ වක්‍රතාව පමණට වඩා වැඩි වීම වගේ දේවල් නිසා අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වෙන්න පුලුවන්.
මේක් බොහෝ වෙලාවට අවුරුදු 6-15 අතර දරුවන්ට ඇතිවන තත්ත්වයක්. ඊට පස්සෙ වයස්ත් ඒක මේක ටික ටික උග්‍ර වෙලා වයස 20දී විතර ස්ථාවර වෙනවා.
එලිමහනේ කාලය ගතකිරීමේ අඩු කම, ඉතා දිගු වේලාවක් ඩිජිටල් තිර (දුරකථන, ටැබ් හා පරිගණක) නැරඹීම, දිගු වෙලාවක් කියවීමේ නිරත වීම, ගෘහාශ්‍රිත ආලෝක තත්ත්වය මද වීම වගේ දේවල් නිසා මෙම තත්ත්වය ඇටි වෙන්න පුලුවන්. අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන මවුපියන්ගේ දරුවන්ටත් මේ තත්ත්වය අඩු වයසෙන් ඇති වීමේ අවධානමක් තියෙනවා.

👓 අවිදුර දෘෂ්ඨිකත්වයේ උග්‍ර අවස්ථාවක් තියෙනවද?

ඔව්. කලින් කිව්ව වගේ ඇස් බෝලය ක්‍රමිකව දිගින් වැඩි වෙලා ඇහේ එක්තරා අවස්ථාවක අවිදුර දෘෂ්ඨිකත්වය නිවැරදි කරන්න අවශ්‍ය කාචයේ බලය ඩයොප්ටර 6ට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ කියන්නෙ උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වය. මෙතනින් එහාට තවත් ඇස් බෝලය දික්වුනොත් ඊට සමගාමීව ඇහේ ඇතුලෙ තියෙන දෘෂ්ඨි විතානයත් තුනී වෙනවා. තුනී වුන දෘෂ්ඨි විතානය ඉරෙන්න පුලුවන්. එවැනි ඉරීමක් හරහා වතුර ඇතුලට ගියොත් දෘෂ්ඨි විතානය ඇස් බෝලයෙන් ගැලවෙන්නත් පුලුවන්.
මීට අමතරව උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වයේදී කහ ලපය ආශ්‍රිත වෙනස්කම්, ලේ ගැලීම් සිදු වෙන්න පුලුවන්. මේ වගේ තත්ත්වයක් තියෙන පුද්ගලයන්ට ග්ලූකෝමා තත්ත්වය, අඩු වයසින් සුද ඇතිවීම ආදී අවදානමත් වැඩියි.

👓 කලින් කිව්ව නේද එලිමහනේ කාලය ගත කිරීමේ අඩු කම අවිදුර දෘෂ්ඨිකත්වය ඇතිවෙන්න හේතුවක් කියල?

ඔව්. මේක හුඟක් අය හිතන්නෙ නැති, හැබැයි පහසුවෙන්ම වෙනස් කල හැකි අවදානම් සාධකයක්. සාමාන්‍යයෙන් සතියට පැය 8-15 අතර කාලයක් දරුවන් එලිමහන් ක්‍රියාකාරකම් වල යොදානවනම් ඔවුන්ට අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වීමේ අවදානම අඩු කරගන්න පුලුවන්. ගේ ඇතුලෙමනම් ඉන්නෙ, ගෘහාශ්‍රිත ආලෝකය හොද මට්ටමක තියෙන්න ඕන.

👓 අවිදුර දෘෂ්ඨිකත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

දුර තිබෙන වස්තූන් බොඳ වී පෙනීම
හිසරදය
ඇස් කැක්කුම
ඇස් වලින් කදුළු ගැලීම
නිතර ඇසිපිය ගැසීම
වපරය

👓 ඇයි ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය ගැන මෙච්චර කතා බහක්? ඇයි මේ තත්ත්වය අනෙක් කණ්නාඩි දාන්න වෙන තත්ත්වයන්ට වඩා විශේෂ?

මෙහෙමයි. අවිදුර දෘෂ්ඨිකත්වය කියන්නේ ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. දැනටමත් ලෝකයෙන් 25%ට මෙම තත්ත්වය තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්වකථන වලට අනුව 2050දී ලෝක ජනගහණයෙන් 50%ට අවිදුර දෘෂ්ඨිකත්වය තියේවි.
අනෙක් අතට උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වය එක්ක සබැඳි දෘෂ්ඨිවිතානය ගැලවී යාම, කහ ලපයේ වෙනස්කම්, ග්ලූකෝමා තත්ත්වය නිසා ඉදිරියේදී ලෝකයේ අන්ධභාවය ඇතිවීමේ ප්‍රධානම හේතුව අවිදුර දෘෂ්ඨිකත්වය වෙන්න පුලුවන්

👓 දෘෂ්ඨි පටලයේ ඉරීම කිව්වම ටිකක් බය හිතුනා. කොහොමද එහෙම තත්ත්වයක් අපි අදුර ගන්නේ?

ඇහේ කෑලි, කුරුමිණියො, වලාකුලු පාවෙනව වගේ පේනවනම්, එහෙමත් නැත්නම් අකුණු ගහනව, ලයිට් එලි පත්තු වෙනව වගේ පේනවනම්, එහෙමත් නැත්නම් පෙනෙන පදාසයෙන් කොටසක් එක්වරම නොපෙනී ගියානම්, ඒක දෘෂ්ඨිපටලයේ ඉරීමක් හෝ ගැලවීමක ලක්ෂණයක් වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක් ඉක්මනින් සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක් හමුවෙන්න.

👓 අවිදුර දෘෂ්ඨිකත්වය ක්‍රමිකව උග්‍ර වෙන එක පාලනය කර ගන්න විදියක් නැද්ද?

එලිමහනේ වැඩි වේලාවක් ගත කිරීම, ප්‍රමාණවත් ගෘහාශ්‍රිත ආලෝකකරණය, ඉතා දිගු වේලාවක් සමීප ක්‍රියාකාරකම් වල නොයෙදීම, දරුවන් ඩිජිටල් තිර භාවිතා කරන කාලය සීමා කිරීම වගේ දේවල් අපට පහසුවෙන් කරන්න පුලුවන්.

ඊට අමතරව අවිදුර දෘෂ්ඨිකත්වය උත්සන්න වීම වලක්වන විශේෂිත කණ්නාඩි, සිවි කාච හා Atropine යන ඖෂධය ඇසට ගැල්වීම ආදී ක්‍රම තියෙනවා. නමුත් ඒවා ලංකාවේ එතරම් ප්‍රචලිත නැහැ

👓 ඒ උග්‍ර වෙන එක නවත්තන ක්‍රමනෙ. දැනට මට තියෙන අවිදුර දෘෂ්ඨිකත්වය සදහා තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ඔබට කණ්නාඩි, සිවි කාච පැලඳල හොද දුර දෘෂ්ඨියක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඒකෙන් ඇහේ ව්‍යුහාත්මක වෙනසක් වෙන්නෙ නෑ. දුරින් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතානයට නාභිගත කිරීමක් වෙනවා විතරයි.

ලේසර් සැත්කම් මගින් ඇහේ කුණිතයේ පටක කොටසක් ඉවත් කරලා ඔය වැඩේම කරන්න පුලුවන්. ටිකක් වියදම්. හැබැයි කණ්නඩි දාන්න අකමැති අයට හොද විකල්පයක්.

(අපි කණ්නඩි, සිවිකාච හා ලේසර් සැත්කම් ගැන වෙනම කතා කරමු.)

වැඩිදුර විස්තර රූපසටහන් එක්කම බලන්න, අපේ බ්ලොග් අවකාශය පැත්තෙත් ඇවිත් යන්න
https://bit.ly/3qF3Kc4

මට කණ්නාඩි දාන්න වෙයිද.......?*************************************👁️‍🗨️ සාමාන්‍ය දෘෂ්ඨියේදී වෙන්නෙ මොකක්ද?අපිට රූපයක් ද...
02/07/2021

මට කණ්නාඩි දාන්න වෙයිද.......?
*************************************

👁️‍🗨️ සාමාන්‍ය දෘෂ්ඨියේදී වෙන්නෙ මොකක්ද?

අපිට රූපයක් දකින්න නම් ඒ වස්තුවේ ඉදන් එන ආලෝක කිරණ ඇහැට ඇතුල් වෙන්න ඕන. ඒ ආලෝක කිරණ කුනිතය(ඇහේ ඉදිරිපසම තියෙන පාරදෘෂ්‍ය කොටස) හා කාචයෙන් නාභිගත කරනවා දෘෂ්ඨි විතානය මතට. දෘෂ්ඨි විතානය උත්තේජනයෙන් ආරම්භ වෙන පණිවුඩය දෘෂ්ඨි ස්නායුව දිගේ මොළයට ගිහින් එතෙන්දි ඇස් දෙකෙන්ම එන පණිවුඩ, එකක් කරල අපට රූපය දකින්න සලස්වනව.
සරලවම ඕක තමයි වෙන්නෙ.

👁️‍🗨️ එතකොට කණ්නාඩි දාන්න වෙන තත්ත්වයකදී ඔය ක්‍රියාවලිය වෙනස් වෙන්නෙ කොහොමද?

එලියෙන් එන ආලෝක් කිරණ හරියටම දෘෂ්ඨි විතානය මත නාභිගත කරගන්න බැරි වුනොත් තමයි ගැටලුව. සමහර විට ඒ කදම්භ දෘෂ්ඨි විතානයට ඉදිරියෙන් හෝ පි‍ටුපසින් නාභිගත වෙන්න පුලුවන්. එතකොට මොළයට නිවැරදි පණිවුඩයක් යන්නෙ නෑ. අපිට පේන්නෙ බොඳ වුන පින්තූරයක්.
මෙහෙම වෙන්න කාරණා කීපයක් බලපාන්න පුලුවන්. ඇස් බෝලයේ දිග අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වීම, කුණිතයේ හෝ කාචයේ වක්‍රතාවය හෝ ඝණත්වය නියමිත ප්‍රමාණයෙන් අපගමනය වීම වගේ හේතු නිසා මේ දේ වෙන්න පුලුවන්.

👁️‍🗨️ අපිට කණ්නාඩි දාන්න වෙන තත්ත්ව මොනවද?

අපි ප්‍රධාන වශයෙන් එවැනි තත්ත්ව 4ක් ගැන කතා කරනවා.
අවිදුර දෘෂ්ඨිකත්වය
දුර දෘෂ්ඨිකත්වය
විෂ්ම දෘෂ්ඨිකත්වය
හතලිස් ඇඳිරිය

👁️‍🗨️ මොකද්ද අවිදිර දෘෂ්ඨිකත්වය කියන්නෙ?

අවිදුර කියන්නෙ ලඟ. ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ තියෙන දේවල් හොදට පේනවා. හැබැයි දුර දේවල් පේන්නෙ නෑ.
ඇස් බෝලය පමණට වඩා දිගු වීම, කාචයේ හා කුණිතයේ වක්‍රතාව පමණට වඩා වැඩි වීම වගේ දේවල් නිසා අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වෙන්න පුලුවන්.
මේක් බොහෝ වෙලාවට අවුරුදු 6-15 අතර දරුවන්ට ඇතිවන තත්ත්වයක්. ඊට පස්සෙ වයස්ත් ඒක මේක ටික ටික උග්‍ර වෙලා වයස 40දී විතර ස්ථාවර වෙනවා.
එලිමහනේ කාලය ගතකිරීමේ අඩු කම, ඉතා දිගු වේලාවක් ඩිජිටල් තිර (දුරකථන, ටැබ් හා පරිගණක) නැරඹීම, දිගු වෙලාවක් කියවීමේ නිරත වීම, ගෘහාශ්‍රිත ආලෝක තත්ත්වය මද වීම වගේ දේවල් නිසා මෙම තත්ත්වය ඇටි වෙන්න පුලුවන්. අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන මවුපියන්ගේ දරුවන්ටත් මේ තත්ත්වය අඩු වයසෙන් ඇති වීමේ අවධානමක් තියෙනවා.

👁️‍🗨️ එතකොට දුර දුෂ්ඨිකත්වය කියන්නෙ ලඟ පේන්නෙ නැති එකටද?

ඔව්. දුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ දේවල් වලට වඩා පැහැදිලිව දුර තියෙන දේවල් පේනවා. මෙතෙන්දි වෙන්නෙ ලඟ තියෙන වස්තු වලින් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතානයට පසුපසින් නාභිගත වීම.
ප්‍රමාණයට වඩා කුඩා අක්ෂි බෝලය, කුණිතයේ හා කාචයේ වක්‍රතාවය හා නාභිගත කිරීමේ බලය මදි වීම නිසා මේ දේ වෙන්න පුලුවන්.
ස්වභාවයෙන්ම කුඩා දරුවන් දුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙනවා. මොකද ඔවුන්ගේ අක්ෂි බෝලය කුඩායි. නමුත් වයසින් වැඩෙද්දී අක්ෂි බෝලයත් වැඩෙන නිසා අවුරුදු 7 විතර වෙද්දී ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වය කියන්නෙ මොකද්ද?

මෙහිදී වෙන්නෙ කුණිතයේ වක්‍රතාවයේ විෂමතා නිසා එක් එක් තල වලින් එන ආලෝක කිරණ එක් එක් ස්ථාන ව්ල නාභිගත වීම. එතකොට අපට පෙනෙන්නේ ඇද වුන, අපැහැදිලි පින්තූරයක්. keratoconus කියන තත්ත්වයේදී ඇති වෙන්නෙ මේ වගේ තත්ත්වයක්

👁️‍🗨️ හතලිස් ඇඳිරිය ගැන නම් මම දන්නවා

ඔව්. හතලිස් ඇඳිරිය වයසත් එක්ක එන තත්ත්වයක්. වයස අවුරුදු 40ට වැඩි වෙද්දී ඔබට පොත්, පත්තර කියවන්න අමාරුකම, ඉඳි කට්ටට නූල දා ගන්න අමාරු වීම, හාල් වල ගල් ඇහිදින්න අමාරු වීම වගේ දේවල් වලට මූණ දෙන්න වෙනව වෙන්න පුලුවන්. මෙතෙන්දි වෙන්නෙ අපේ කාචයට අවශ්‍ය විටදි එහි වක්‍රතාවය වැඩිකර ගැනීමේ හැකියාව ක්‍රමිකව අඩු වෙනවා. ඒ නිසා ලඟ තියෙන වස්තූන්ගෙන් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතාණය මත නාභිගත කිරීමට ඇසට නොහැකි වෙනවා

👁️‍🗨️ මට හෝ මගේ දරුවාට කණ්නාඩි දාන්න වෙනවද කියල දැන ගන්න පුලුවන් රෝග ලක්ෂණ මොනවාද?

බොඳ වී පෙනීම
හිසරදය
ඇස් කැක්කුම
ඇස් වලින් කදුළු ගැලීම
නිතර ඇසිපිය ගැසීම
ඇසිපිය මිරිකීම
වපරය

👁️‍🗨️ ඒ කියන්නෙ පිටතින් පේන අසාමාන්‍යතාවයක් නැති වෙන්න පුලුවන්?

ඔව්. ඇස් පිටතින් සාමාන්‍යයි. ඉතා කලාතුරකින් ඇස් රතු වීම, ඇහි පිහා‍ටු ඉදිමීම, වපරය වගේ තත්ත්ව තියෙන්න පුලුවන්

👁️‍🗨️ ඉතින් අපිට ඔය තත්ත්වයන් ඇති වෙන එක වලක්ව ගන්න පුලුවන්ද?

මෙහෙමයි. අපි කලින් කිව්ව වගේ සමහර අවදානම් සාධක තියෙනවා අපිට වෙනස් කරන්න පුලුවන්. එහෙම අවධානම් සාධක වෙනස් කරොත් මේ තත්ත්වයන් ඇතිවීම වලක්වා ගන්න පුලුවන්.
හැබැයි ප්‍රතිකාර ක්‍රම කියන්නෙ ඔබේ ඇසේ පෙනීම තවදුරටත් දුර්වල වීම වලක්වන ක්‍රම හා ඔබට හොදම පෙනීම ලබා දෙන ක්‍රම. ප්‍රතිකාර ක්‍රම වලින් මේ තත්ත්වයන් ඇති වීම වලක්වන්න බැහැ.

👁️‍🗨️ දැන්නම් බයත් හිතෙනවා. මම හරි මගේ දරුවා හරි ඇස් පරික්ෂා කර ගන්න ඕන අර කලින් කිව්ව රෝග ලක්ෂණ තියෙනවනම් විතරද?

රෝග ලක්ෂණ තියෙනවනම් අනිවාර්යෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ඇස් පරික්ෂා කර ගන්න. ඊට අමතරව මේ අවස්ථා වලදිත් ඔබ හෝ ඔබේ දරුවා ඇස් පරික්ෂා කර ගන්න ඕන

වයස අවුරුද්දට අඩු ඔබේ දරුවා සෙලවෙන වස්තූන්, ආලෝකය කෙරෙහි අවධානයක් යොමු නොකරන්නේ නම්
දරුවාගේ වපරයක් පෙනේ නම්
රූපවාහිනිය නැරඹීමේදී හෝ පොත් කියවීමේදී ඇස් පොඩිකිරීම, මිරිකීම
දරුවා වස්තූන් වල හැප්පීම, යමක් ගැනීමට උත්සාහ කරද්දී එය ගිලිහීම
පාසලේදී පසුපස පේලියේ සිට කලු ලෑල්ල කියවීමට අපහසු වීම

මීටත් අමතරව සෑම දරුවෙකුම වයස අවුරුදු 6දී ඇස් පරික්ෂාවක් සිදු කරන්න ඕන. අවිදුර දෘෂ්ඨිකත්වය ඇතිවීමේ අවධානම තිබෙන දරුවන්, විශේෂයෙන්ම මවුපියන්ට එම තත්ත්වය තියෙනවනම් වයස අවුරුදු 4දී ඇස් පරික්ෂා කර ගන්න ඕන. වයස අවුරුදු 40 දී කවුරුත් ඇස් පරීක්ෂා කර ගත්තොත් හොදයි. මීට අමතරව ඔබ කණ්නාඩි දානවනම්, වැඩිහිටියෙක් වසරකට වරක්, දරුවෙක් මාස 6කට වරක් ඇස් පරික්ෂා කර ගන්න ඕන.

👁️‍🗨️මොනවද ඔය කියන වෙනස් කරන්න පුලුවන් අවදානම් සාධක?

දැන් අපි අවිදුර දෘෂ්ඨිකත්වයේදී කතා කලා මවුපියන්ගේ අවිදුර දෘෂ්ඨිකත්වය, එලිමහනේ කාලය ගත කිරීමේ අඩුකම, ඩිජිටල් තිර වැඩිපුර වේලාවක් භාවිතය, අඛණ්ඩව දීර්ඝ වේලාවක් කියවීම, ගෘහාශ්‍රිත ආලෝකයේ මද කම ආදී හේතු අවධානම් සාධක කියල.
ඉතින් දරුවන් වැඩි වේලාවක් එලිමහනේ කාලය ගත කිරීමට උනන්දු කිරීම, ඩිජිටල් තිර භාවිතය සීමා කිරීම, පොත පත කියවීමේදී අතරමැද විවේකයන් ලබා ගැනීම, යහපත් ගෘහාශ්‍රිත ආලෝකකරණය වගේ දේවල් කලොත් අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වීමේ අවදානම අඩු කරගන්න පුලුවන්.
ඇස් වල ආසාත්මිකතා තිබෙන දරුවන්ට විෂම දෘෂ්ඨිකතවය ඇති වීමේ අවධානමක් තිබෙනවා. ඉතින් ඔවුන්ට නිසි ප්‍රතිකර්ම නිසි විදියට කලොත් විෂම දෘෂ්ඨිකත්වය ඇති වීම වලක්වා ගන්න පුලුවන්.

👁️‍🗨️ හරි. ඇස් පරීක්ෂා කර ගන්නෙ කොහොමද?

පලමුව ඔබ සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. ඔහු ඔබේ ඇස් පරීක්ෂා කර ඉන් පසු ඔබව කණ්නාඩි පරීක්ෂණයකට යොමු කරාවි.
කුඩා ළමයින්ගේ කණ්නාඩි පරීක්ෂාවට පෙර ප්‍රතියෝජක පේෂියේ ක්‍රියාකාරීත්වය අඩු කර වඩා නිවැරදි පරීක්ෂනයක් කිරීමට ඖෂධයක් ඇසට දානවා. බොහෝ විට මෙය පරීක්ෂාවට දින 3කට පෙර සිට නියම කරන්න පුලුවන්. තවත් ඖෂධ තිබෙනවා පරීක්ෂණයට මිනිත්තු 30කට පෙර ඇසට දැමීම ප්‍රමාණවත් වන ඖෂධ. ඒක ඔබේ වෛද්‍යවරයා තීරණය කරාවි. වැඩිහිටියන්ට මෙවැනි පූර්ව ඖෂධ ගැල්වීමේ අවශ්‍යතාවක් නෑ.
පරිඝණක මාර්ගයෙන් හෝ නැතහොත් රෙටිනොස්කොපි කියන උපකරණයක් භාවිතයෙන් ඔබේ ඇහේ මිනුම් ගන්න පුලුවන්. කොහොමත් පරිඝණක අගයන් නැවත වතාවක් අක්ෂි තාක්ෂණවෙදියෙක් විසින් රෙටිනොස්කොපි පරීක්ෂාවෙන් තහවුරු කර ගන්නවා.

👁️‍🗨️ හරි. දැන් පරීක්ෂා කලා කියමු . මට කණ්නාඩි දාන්න වෙයිද? මම කණ්නාඩි දාන්න ආස නෑ

මෙහෙමයි. පෙනීමේ දුර්වලතාවය කණ්නාඩි, සිවි කාච හෝ සැත්කම් මගින් හරි ගස්සන්න පුලුවන්
ඔබ අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන කෙනෙක් නම් ඔබට අවතල කාචයක්, දුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙනවනම් උත්තල කාචයක්, විෂම දෘෂ්ඨිකත්වයෙන් පෙලෙනවනම් සිලින්ඩර කාචයක්, හතලිස් ඇඳිරියනම් උත්තල කාචයක් නියම කරාවි. හතලිස් ඇඳිරියත් එක්ක අවිදුර හෝ දුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් කාච වර්ග 2ක් එකතු කල කණ්නාඩි හෝ සිවි කාච ඔබට නියම කරාවි.

(කණ්නාඩි වර්ග, සිවිකාච වර්ග, සැත්කම් ගැන අපි පසුවට වෙනත් ලිපියකින් කතා කරමු)

👁️‍🗨️ කණ්නාඩි දාන්නම උනා කියමු. ඕක දිගටම දාන්න ඕනද?

කුඩා දරුවන්ට නම් ඕව්. ඔවුන් අවදියෙන් සිටින කාලය පුරාවට කණ්නාඩි පැලඳිය යුතුයි. මොකද එහෙම නොවුනොත් සාපේක්ෂව දුර්වල ඇස කාලානුරූපීව මොළයෙන් ප්‍රතික්ෂේප කරන්න බලනවා. මේකට කියන්නෙ Amblyopia තත්ත්වය කියල. Amblyopia තත්ත්වයට පත් වුනොත් නැවත් මොළයට ඒ ඇසින් එන සංඥා තේරුම් කරවන්න අමාරුයි. කොටින්ම ඇහැ අන්ධ වෙනව කියල තේරුම් ගත්තත් හරි.
වැඩිහිටි අයටත් ගුණාත්මක පෙනුමක් ගන්න නම් කණ්නාඩි පලදින්න වෙනව. හතලිස් ඇඳිරියට පමණක් දාන කණ්නාඩි නම් ලඟ වැඩක් කරද්දි විතරක් දැම්මම ඇති.

👁️‍🗨️ මගේ දරුවා කණ්නාඩි දාන්න හරි කම්මැලියි. මාත් එච්චර උනන්දු කලේ නෑ හැබැයි අද ඉඳල මම එයාව උනන්දු කරන්න ඕන

අනිවාර්යයෙන්. මොකද පෙනුමේ මදකම හෝ තත්ත්වය නිසා දරුවාට දීර්ඝ කාලීන ප්‍රශ්න රැසකට මූණ දෙන්න වෙනවා. අධ්‍යාපන අවස්ථාවන්, රැකියා අවස්ථාවන් අහිමි වීම, ආත්ම විශ්වාසය අඩු වීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ගැටලු ආදී ප්‍රශ්න රැසක් පෙනීමේ දුර්වලතා නිසා ඇති වෙන්න පුලුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඇස් පරික්ෂාවකින් පසු නිවැරදි කණ්නාඩි කුට්ට්මක් නිවැරදි වෛද්‍ය උපදෙස් මත පැලඳීම.

වැඩිදුර විස්තර රූපසටහන් එක්කම බලන්න, අපේ බ්ලොග් අවකාශය පැත්තෙත් ඇවිත් යන්න
https://bit.ly/3hmsphu

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SL Eye Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram