22/11/2025
විවාහක කාන්තාවන් වරදේ බැඳෙන්න බලපානු ලබන හේතු…
ගැහැණිය සහ පිරිමියා යනු බහුසේවනීය සත්ව කොට්ඨාශයක්. නමුත් මනුශ්‍යත්වය හේතුකොටගෙන සදාචාරයක් සංස්කෘතියක් නීතියක් අනුව මිනිස්සු තම අවශ්‍යතා ඉටු කරගැනීමට පෙළඹී තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි විවාහ නීතිය ගොඩ නැගෙන්නේ. එහිදී මිනිසාගේ ලිංගික අවශ්‍යතාවය සඳහා සම්මත රාමුව වන්නේ විවාහය පමණයි. ඉන් පිට සබඳතා නීතියට යටත් නොවන නිසා ඒවා අනියම් ලෙස සැළකෙනවා. අනියමක පැටලීම වරදක් වන්නේ අන්න එහෙමයි.
මේ ලිපියෙදී, උපදේශන වෘත්තිය තුල ලද අත්දැකීම් වගේම ලෝකයේ කරන ලද පර්යේශණ ප්‍රතිපලවල සාරාංශයක්ද අන්තර්ගත වෙනවා. ඒ අනුව මෙතැනදී කතා කරනු ලබන්නේ මනෝවිද්‍යාත්මකව කාන්තාවක් විවාහයට පසු වෙනත් පිරිමියෙකු කරා ඇදී යන්න බලපානු ලබන සාමාන්‍ය හේතු කිහිපයකි. ඊට අමතරව වෙනත් කාරණාද තිබෙන්නට පුළුවන් බව මතක තියාගෙන මේ ලිපිය කියවන්න කියලා මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මෙතනදී ගැහැණිය ගැන විශේෂයෙන් කතා කරනු ලබන්නේ, ඇයගේ ජීව විද්‍යාත්මක ස්වභාවය, ඇය සිටින සමාජ සංස්කෘතික වටපිටාව, ඇගේ මනෝවිද්‍යාත්මක අනන්‍යතාවය අනුව ඇය පිරිමියෙකුට සාපේක්ෂව වරදේ බැඳෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසාත්, එහෙව් පසුබිමකත් ඇය විවාහයට පිට සබඳතාවයකට යොමු වන්නේ ඇයි? යන පදනමේ සිටයි. ඇයට එසේ කිරීමට අවශ්‍යතාවයක් නැති අවස්ථාවකත් ඒ දේ සඳහා ඇය යොමුවීමට බලපානු ලබන සංවේදී කාරණා මොනවද යන්න විමසා බලමු.
1. ඇයට පවුල තුල තිබෙන අවධානය අඩු වී යන විට.
කාලයත් සමග නිවසේ ඇගේ කාර්‍යභාරය සැමියාට මෙන්ම අනෙකුත් සාමාජිකයින්ට සාමාන්‍යකරණය වීම නිසා මෙය සිදුවෙන්න පුලුවන්. එවිට ඇය කෙරෙහි විශේෂ අවධානයක් ලැබෙන අවස්ථාවකදී ඇගේ හිත ඒ පැත්තට ඇදී යන්න පුලුවන්.
2. ඇය බලාපොරොත්තුවන චිත්තවේගීය සම්බන්ධතාවය අහිමිවූ විට.
සමහර කාන්තාවන් එලියට පෙනෙන්නට ඉතා සතුටුදායක ලෙස ජීවත් වුනත්, ඇගේ අභ්‍යන්තරයේ නොසතුට රැඳී පවතින්න බලපානු ලබන ප්‍රධාන හේතුවක් තමයි තමාට සැමියාගේ චිත්තවේගීය සහාය අවශ්‍ය අවස්ථාවලදී සැමියාගේ පවතින අසංවේදී බව. මෙය lack of emotional support කියලා කියන්න පුලුවන්.
3. දිගින් දිගටම පවුලේ බර අදින ශක්තිමත් කෙනා වීමෙන් හෙම්බත් වූ විට.
ඇයට මටසිලිටු ආකාරයට සළකන, ඇගේ සියුමැලි හිත තේරුම් ගත් අයෙකුගේ දයාව මෛත්‍රිය ලඟ ඇය වෙනස් වෙනවා.
4. සැමියා සහ තමා අතර පෙර තිබූ ආකර්ෂණය අඩු වී යන විට.
5. ඇයව තේරුම් නොගන්නා පරිසරයක, ඇයව තේරුම් ගන්න කියා නිතර අරගල කරන්නට සිදුවූ විට.
6. ඇයව අභිබවා වෙනත් පාර්ශව කරා සැමියා ඇදී යන අවස්ථාවලදී.
යහළුවන්, මත්පැන්, නිල් චිත්‍රපට, කාන්තාවන්, රැකියාව, මුදල් ආදී දේවල් වලට සැමියාගේ නිරන්තර අවධානය යොමු වූ විට.
මේ කාරණා සඳහන් කිරීමේ අරමුණ නම්, සැමියා සහ බිරිඳ තේරුම් ගත යුතුයි ඇයි මෙහෙම වෙන්නෙ කියලා. එසේ නොවීමට වගබලා ගන්න තම තමන්ගේ වැරදි නිවැරදි කරගන්න මේ කාරණා වැදගත් වෙනවා. කෙතරම් සාධාරණ හේතු තිබුනත් අනියම් සබඳතාවය කෙසේවත් අනුමත කළ නොහැක්කේ එහි ආදීනව බරපතල නිසාවෙනි. විවාහ සංස්ථාව ඇතුලෙ පවතින දෙදෙනාගේ වටිනාකම වෙන කොහේටවත් වඩා වැඩි බව මතක තියාගන්න. ඒ වටිනාකම් බාහිර ලෝකයේදී තාවකාලිකව ලැබී නැතිව යන්නේ ඔබේ තිබුණ වටිනාකම්ද සෝදාපාළු කරගෙන බව මතක තබාගෙන වැඩ කරන්න.
Counseling psychologist
Anjali Budawatta Jayawardana
(MSc.,MA,PGD,BA,HND,Dip.)