01/11/2025
⭕රූමටොයිඩ් ආතරයිටිස් ඔබ හිතනවාට වඩා භයානකයි
========================
⭕තියන භයානකකම ආතරයිටිස් රෝගය තමා ඕක. නිසි ප්‍රතිකාර ගත්තෙ නැත්තම් ඔය රෝගය ඔබේ ජීවිතය අපායක් කරලා අන්තිමට අඩුවයසින් ඔබව මිය පරලොව යවල තමා පස්ස බලන්නේ.
⭕රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ දිගුකාලින, මුලු ඇඟටම බලපාන ප්‍රදාහය එක්ක එන රෝගයක්. හන්ඳි වල තියෙන්නේ රෝගයේ එක කොටසක් පමණයි.
⭕සරලව කියනව නම් ඔය ආතරයිටිස් රෝගය තියෙන්නේ හන්ඳි වල විතරක් නෙවේ. තෙල් බේත් ගාලා ප්‍රතිකාර කරගන්න යන අය අමාරුවෙ වැටෙන්නෙ ඕක නිසා.
⭕නිසි ප්‍රතිකාර නොකලොත් හන්ඳි වල ප්‍රදාහය නිසා හන්ඳි ඇද වෙනවා, කාටිලේජ ගෙවෙනවා, කාලයත් එක්ක තව තව හන්ඳි ලෙඩේට එක එක එකතුවෙනවා.
⭕අවුරුදු 10/15 ක් යනකොට තමා සංකුලතා එන්නෙ. ඒක අවබෝධ කරගන්න බැරි අය තමා කෙටිකාලීන පැලැස්තර ගහන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්නේ.
⭕අවසානයට වෙන්නේ කොර ගහන්නෙ නැතුව ඇවිදින එක, ඇඳුමක බොත්තමක් දාගන්න එක, ඇඳුමක් ඇඳගන්න එක, තනියම වැසිකිලියට යන එක, බෝතෙලේක මූඩියක් ඇරගන්න එක, දොරක් ඇරගන්න එක පවා බැරි වෙන ගානට හන්ඳි ඇදවෙන එක.
⭕රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේ ප්‍රබේද රැසක් තියනවා. ඔය ටික හරියට දැනගෙන හිටියෙ නැති වුනහම තමා සමහර දොස්තරල පවා වැඩේ නාගන්නේ.
⭕බහුලවම දකින්න තියන Classical රූමටොයිඩ් ආතරයිටිස් වලදි කාලයක් තිස්සේ අතේ සහ කකුලේ ඇඟිලි, මැනික්කටුව වගේ පොඩි හන්ඳිත් වැලමිට, වලලුකර, දනිස්ස වගේ ලොකු හන්ඳිත් රෝගයට ගොදුරු වෙනවා.
✴️පාන්දර නැගිටිනකොට හන්දි දිග ඇර ගැනීමට බැරිවීම, හන්දිවල වේදනාව, හන්දි ඉදිමීම, අත මිට මෙලවූ විට හයිය අඩුවෙන් දැනීම, ඇඟ මහන්සි ගතිය දකින්න පුලුවන්.
⭕Palindromic rheumatism කියන ප්‍රභේදයේදී හන්ඳි කැක්කුම එක වර ඇවිල්ලා පැය කීපයකින්, දවසකින් දෙකකින් යට යනවා.
✴️ඔය රෝගීන්ගෙන් සැලකිය යුතු කොටසකට පසු කාලීනව අර කලින් සඳහන් කරපු classical rheumatoid arthritis එනවා. හැබැයි එම අවදානම අඩු කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවා. ඔබට රෝග ලක්ශණ නැතත් බෙහෙත් බොන්න කියන එක අවස්ථාවක් ඕක.
⭕Monoarticular rheumatoid arthritis කියන්නේ තනි හන්ඳියක එන්න පුලුවන් රූමටොයිඩ් ආතරයිටිස් එක.
✴️හන්ඳිය ගෙවිලා, කැල්සියම් තැන්පත් වෙලා, ටිශූ ගිහිල්ලා වගේ වැල් බයිලා නම් වලින් සමහර වෙලාවට තතු නොදත් කට්ටිය ඕක හඳුන්වනවා. මීට අවුරුදු විස්සකට කලින් පන්තියේ ළමයෙක් අත ඇඹරුව එකට ආතරයිටිස් ආවා කියලත් සමහරු කියන්නේ ඕකට.
✴️Gouty arthritis, pseudo gout වගේ තනිහන්ඳියේ එන ආතරයිටිස් රෝග එක්ක පටලගන්න එපා ඕක. ඔබ නිසි ප්‍රතිකාරයක් ගන්නා තුරු රෝගය හන්ඳි විනාශ කරගෙන යනවා.
✴️සාමාන්‍යයයෙන් ඕක එන්නේ වලලුකර, මැනික්කටුව, දනිස්ස, උකුල, උරෙහිස වගේ ලොකු හන්ඳි වල.
✴️ප්‍රතිකාර නොකලොත් රෝගය අර කලින් කියපු හන්ඳි ගොඩක එක classical rheumatoid arthritis තත්වයට හැරෙන්න පුලුවන්.
⭕Polymyalgic onset rheumatoid arthritis එහෙම නැතිනම් proximal joint rheumatoid arthritis කියල ටිකක් වයසක අයට එන රූමටොයිඩ් ආතරයිටිස් ප්‍රභේදයක් තියනවා.
✴️අවාසනාවට ඔය රෝග ප්‍රභේදයත් ගොඩක් වයිද්‍යවරුන්ට පවා මග හැරෙනවා. ඒක හේතුව රෝගියා එන්නේ විශේෂයෙන්ම උරහිස දෙකේ හිර ගතිය කියාගෙන මිසක් හන්ඳි වේදනාව හෝ හන්ඳි ඉදිමීම කියාගෙන නෙවේ.
⭕මොන ආතරයිටිස් ප්‍රභේදය ආවත් ඔය හැම ලෙඩෙක්ටම පාහේ morning stiffness (උදේ නැගිටිනකොට හන්ඳි දිග ඇරගන්න බැරි ගතිය) සහ joint jelling (ටික වෙලාවක් විවේකීව හිටියහම හන්ඳි තදවෙන ගතිය) තියනවා. ඕක විනාඩි ගණනක සිට පැය ගානක් තියෙන්න පුලුවන්.
✴️Morning stiffness එන්න හේතුව තමා රාත්‍රී කාලයේ රෝගියා නිදාගෙන ඉන්න කොට ආතරයිටිස් ඇති කරන විවිධ සංඝටක ඔය හන්ඳි වල එකතු වෙන නිසා.
⭕ඊට අමතරව හිසේ සිට පාදාන්තය දක්වා මුලු ඇඟම රිදෙන ගතිය, කොයි වෙලෙත් දැඩි මහන්සියක් දැනීම, බර අඩුවීම, මද උණ ගතිය, depression සහ fibromyalgia තත්වය එන්න පුලුවන්.
⭕මම කලින් කිව්වා වගේ රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ මුලු ඇඟේම තියන රෝගයක්.
⭕හමේ එන ගැටිති (rheumatoid nodules), පෙනහලු වල ආතරයිටිස් සංකුලතා (interstitial lung disease), පපුවේ අමාරු (ischemic heart disease), osteoporosis (උකුල හන්ඳි බිඳෙන රෝගය), ඇසේ එන ආතරයිටිස් සංකුලතා (uveitis, scleritis), ස්නායු වල සංකුලතා (polyneuropathy, mononeuritis), තොල කට වේලීම (Sjogren's) සහ තවත් සංකුලතා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන් 40%කට විතර එන්න පුලුවන්.
✴️සංකුලතා අඩු කරන්න පුලුවන් ඉතින් නිසි කලට නිසි ප්‍රතිකාර ගන්න එක.
⭕හන්ඳි ඉදිමෙනවට අමතරව boxing glove එකක් දැම්මා වගේ මුලු අතම පවා ඉදිමෙන්න පුලුවන්.
⭕ඊට අමතරව අතේ මැනික්කටුව ඇතුලට ඉදිමීම නිසා අතට යන median nerve කියන ස්නායුව තෙරපීම නිසා carpal tunnel syndrome කියන ඇඟිලි හිරි වැටෙන තත්වය එන්න පුලුවන්. කලබලෙන් දුවගෙන ගිහින් operation කරගන්න කලින් ආතරයිටිස් එකට මුලින් ප්‍රතිකාර කරල ඉන්න ඕනේ.
⭕නිසි ප්‍රතිකාර ගත්තෙ නැති නම් එකී මෙකී නොකී සියලු විදිහටම හන්ඳි ඇදවෙනවා. පහත රූප බලන්න.
⭕බෙල්ලෙ ඉහල හන්ඳි වලට පවා rheumatoid arthritis රෝගය එන්න පුලුවන්. වෙනත් හන්ඳි වල කැක්කුමක් එක්ක බෙල්ලෙ කැක්කුම් එනව නම් ඒක නොසලකා ඉන්න එක භයානකයි.
⭕සරලව කියනවා නම් කොන්ඳ හැර අති බහුතරයක් හන්ඳි වල රූමටොයිඩ් ආතරයිටිස් රෝගය එන්න පුලුවන්.
⭕රූමටොයිඩ් ආතරයිටිස් රෝගය අනුමාන කිරීමට කිසිම ලේ ටෙස්ට් එකක් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මොකෝ කිසිම ලේ ටෙස්ට් එකක වෙනසක් නැතුව ලෙඩේ එන්නට පුලුවන්, විශේෂයෙන්ම මුල් අව්ස්ථාවේදී. ඒවට කියන්නේ sero negative rheumatoid arthritis. ඔය රෝගීන්ට මුලින්ම ප්‍රතිකාර පටන්ගන්නවා ඇරෙන්න ලේ රිපෝර්ට් වල ලෙඩේ පෙන්නන්කම් උඩ බලාගෙන හිටියොත් විනාසයි.
⭕Rhuematoid factor, Anti CCP antibodiea, ANA වගේ ටෙස්ට් පොසිටිව් වෙන්න පුලුවන්. ESR, CRP වැඩි වෙන්න පුලුවන්. Haemoglobin අඩු වෙන්න පුලුවන්, Platelet වැඩි වෙන්න පුලුවන්.
⭕ඇත්තටම ලේ රිපෝර්ට් වඩා වැදගත් වෙනවා ප්‍රතිකාර කරද්දී විවිධ බෙහෙත් වල මාත්‍රාව නිර්ණය කරන්න සහ සමහර බෙහෙත් ඇඟට අල්ලන්නෙ නැද්ද කියල බලන්න.
⭕ලෙඩේ නිට්ට්ටාවට පවා සුව කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවා. නමුත් පරක්කු වෙලා නිසි ප්‍රතිකාර පටන් ගන්න රෝගීන්ට, නිසි බෙහෙත වුනත් අඩු මාත්‍රාවෙන් බොන රෝගීන්ට, නිසි බෙහත් වුනත් නිසි කලට කලින් නතර කරන රෝගීන්ට, කඩ කඩ බෙහෙත් කරන රෝගීන්ට, කිසිම විද්‍යාත්මක පදනමක් නැති ප්‍රතිකාර කරන අයට, එහා ගෙදර සුමනාවතී කියන විදිහට ප්‍රතිකාර කරන අයට නම් ඕක සිහිනයක් පමණයි.
⭕ඉහත කියපු විදිහට කලහම අන්තිමට වෙන්නේ රෝගීයා කිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙනකොට රෝගය හැමදාම බෙහෙත් ගන්න ඕන ලෙඩක් බවට පරිවර්තනය වෙලා තියන එක.
⭕ඕකෙ ලෙඩේ බෙහත් කරන පිලිවලක් තියනවා. වැඩි බෙහෙත් ප්‍රමාණයක් මුලින් දීලා ලෙඩේ අඩුවෙන කොට ක්‍රමානුකූලව බෙහෙත් අඩු කරන්න ඕනේ. පරණ තාලෙට යාන්තම් ලෙඩේ අඩුවෙන විදිහට ප්‍රතිකාර කරල හරියන්නේ නෑ, සංකුලතා ප්‍රමාද වෙන එක විතරයි එතකොට වෙන්නේ.
⭕මුලින්ම එන්නේ on drug remission කියන තත්ත්වය. ඔය තත්ත්වය ආවහම එම අවස්ථාවේ තියෙන බේත් තුණ්ඩුවේ වෙනස්කම් කරන්න ඕනේම ලෙඩාට බෙහෙත්වලල සංකූලතා එන්නේ නැති ආකාරයට
⭕ඊළඟ පියවර තමා ලෙඩාට කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් මාස දොළහකට වැඩි කාලයක් අර අන්තිම බේත් තුන්ඩුවක් දිගටම දෙන එක
⭕ඊට පස්සේ තමා ක්‍රමානුකූලව බෙහෙත් අඩු කරන්න පටන් ගන්න එක.
⭕හැබැයි ලෙඩේ අඩු වෙච්ච ගමන් මේත් නතර කරලා ආයි ලෙඩේ මතුකොට දුවගෙන එන ලෙඩ්ඩුන්ට ඕක මුල ඉඳන් නැවත කරන්න වෙනවා
⭕ඒක තමා ලංකාවේ ලෙඩ්ඩුන්ට ආතරයිටිස් හොඳ නොවන ප්‍රධාන හේතුව
⭕සමහර රෝගීන් ඉන්නවා රෝගය බෙහෙත් නතර කළාම පසු කාලීනව නැවත මතුවෙන්න පුලුවන්. ඒ රෝගීන්ට පවා බෙහෙත් වලින් ඇඟට හානියක් නොවෙන්න දිගුකාලීනව සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන්
⭕ඕකට පාවිච්චි කරන නවතම ප්‍රතිකාර ලංකාවේ තියෙනවා. ඉස්සර වගේ තව නම් දෙන්න වෙන බෙහෙතක් නෑ කියන තත්ත්වය උදා වෙන්නේ නෑ
⭕පාවිච්චි කරන බෙහෙත් වලට අපි කියන්නේ DMARDs (Disesase modifying anti-rheumatoid drugs). ඒ බේත් වලින් ලෙඩේ ඇඟේ යන විදිහ වෙනස් කරන එක තමා වෙන්නේ. නැතුව රෝග ලක්ෂණය control කරන එක විතරක් නෙමෙයි
⭕ඉස්සර ඉඳන් තිබ්බ කාලෙ තිබ්බ පෙතිවලට කියන්නේ conventional DMARDs කියලා. බහුතරයක් රෝගීන්ට ඔය බෙහෙත් ප්‍රමාණවත්.
⭕නමුත් ලෙඩේ හරියට කන්ට්‍රෝල් වෙන්නේ නැත්නම් Biologic DMARDs හෝ Target synthetic DMARDs කියන බෙහෙත් වලට මුලින්ම මාරුවෙන්න ඕනේ. ඒවා පටන් ගන්න ඕනෙ හතර හන්දි ඇද වුනාට පස්සෙ නෙමෙයි.
⭕මිල අධික උනත් එම බෙහෙත් රජයේ රෝහල් සායන වලින් ගන්න පුළුවන්. ප්‍රයිවට් පවා ගන්න තියෙනවා.
⭕ඔබ ඉතින් නිසි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර නොගන්නේ නම් ඔයාට අලුත් බෙහෙත් හම්බවෙන්නේ නෑ.
⭕රූමටොයිස් ආතරයිටිස් හැදෙනවා කියන්නේ විෂඝෝර සර්පයෙක් එක්ක කාමරයක හිර වුණා වගේ දෙයක්. ඔබ කල්පනාවෙන් ඉන්න තාක් කල් උගෙන් බේරලා ඉන්නන පුළුවන්. නමුත් සර්පයාව සුළු කොට තකා ගණන් ගන්නෙ නැතුව හිටියොත් අනිවාර්යයෙන් ඌ දෂ්ට කරනවා. අමාරුවෙන් හරි සර්පයාගේ විස දල ගලවා ගන්න හෝ මරාගන්න ඕනේ.
⭕තීරණය ඔබ අතේ. නිසි ප්‍රතිකාර ගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ ලෙඩේ අමතක කලාට ලෙඩේ නම් ඔබව කවදාවත් අමතක කරන්නේ නෑ.
⭕ෆාමසි වල ඉන්න සමහර බක පණ්ඩිත අයියලා ලෙඩ්ඩුන්ට දෙන වැරදි උපදෙස් නිසා ලෙඩ්ඩු ප්‍රතිකාර අඩුවෙන් ගන්න හෝ නොගෙන ඉන්න බලනවා. එම නිසා රෝගීන් අමාරුව වැටෙනවා.
⭕ලෙඩේ හැදුනට පස්සේ දුක් වෙවී ඒක ගැන කල්පනා කරලා වැඩක් නෑ. නිසි කලට නිසි ප්‍රතිකාර ගන්න. මුළු ජීවිතේම අපායක් කරගන්නේ නැතුව සාමාන්‍ය විදිහට හොඳ ජීවිතයක් ගතකරන්න පුලුවන් වෙනවා.
⭕කොටින්ම බඩ දරු අම්මා කෙනෙක්ට, කිරි දෙන අම්මා කෙනෙක්ට වුනත් කලලයට/බබාට කිසිම හානියක් නොවෙන්න ප්‍රතිකාර කරන්න පුළුවන්.
⭕ලෙඩේට අඩුවෙන්ම බෙහෙත් බොන්න පුලුවන් විදිහ තමා මුල ඉඳන් නිවැරැදිව බෙහෙත් ගන්න එක.
⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)