02/12/2025
දරන්නම බැරි වුණු break-up එක
දවසක අකුණක් ගැහුව වගේ teenage client කෙනෙක් මගෙන් ඇහුව ‘ඔයාට දරා ගන්න අමාරුම break up එක මොකක්ද කියල.
එදා මම ඒ ප්‍රශ්න ගැඹුරට නොගිහින් උඩින් උත්තර දීලා ගෙදර එන ගමන් ආයෙ පරණ තුවාළය දිහා හැරිල බැලුව.
එදා අමතක කරගන්න දැගලුව,
අවුරුදු ගාණක්ම මතක් වෙන මතක් වෙන පොරට පපුවෙ මැද්දට හෙනයක් ගහනව වගේ ආපු වේදනා දරාගෙන,
අපි එකට හදපු ආදර කතාව එයා වෙන කෙනෙක් එක්ක ගොඩ නගාගෙන යනව බල බල
එයාගෙ කටින්ම ඒව මට කියද්දී ඒ මොහොතෙම පුපුරලා යන්න තියෙනවනම් කියල හිතුණු අනන්ත වාර ගණන්,
නොනිදා ඇස් ඉදිමෙනකං අඩපු රාත්‍රීන්,
හදා ගන්න අරගෙන ආදරෙන් ඇති කරල පස්සේ මහාසෙනගක් මැද්දේ අත ඇරල දාල ගිය පුන්චි බලු කුක්කෙක් වගේ මම අතරමං වෙලා හිටපු හැටි.
ඒව කොටවත් කියාගන්න විදිහක් නැතුව තනි වෙන්න පුළුවන් හැම ඉඩක්ම හදාගෙන ඉකිගගහ අඩපු හැටි.
කොටින්ම කිසිම භෞතික දෙයක් බලාපොරොත්තු නොවී, උදව්වක් සහයෝගයක් බලාපොරොත්තු නොවි, මගේ හදවතේ ගැඹුරුම තැනින් පැන නැගුණු පිරිසිදු ආදරේ දිය ඇල්ලක් වගේ එයාගේ නමටම කඩාගෙන වැටුණු හැටි ,
මම වෙනුවෙන් නෙවෙයි එයාගේ හීන මගේ කරගෙන එයාව එතනට අරගෙන යන්න මම මගේ මානසික ශක්තිය වැය කරපු හැටි
ඉවසන්න පුළුවන් හැම තැනක එයාට හොරෙන් අඩලා එයා ඉස්සරහ සතුටින් හිටපු හැටි
මගෙ මුළු විශ්වයම එයා කේන්ද්‍ර කරගෙන විතරක්ම එයාවටේ විතරක්ම පරිභ්‍රමණය වුණු හැටි
එයා මගෙ ජීවිතේට තිබුණු එකම මහා ඖෂධය වුණු හැටි
මතක එකින් එක පෙළ ගැහුණා
අවසානයේ, මම ජීවිතේ දැකපු වටිනාකම් එයාට පුස් දේවල් වෙද්දී මම ගරු කරන ප්‍රතිපත්ති එයාට හිස් fantasy වෙද්දී
මම අදහන ධර්මතා එයාට බොරු දේවල් වෙද්දී
මම විශ්වාස කරන සත්‍ය එයාට මේ මහපොළවේ ඒවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි වෙද්දී
මම ගොඩනගපු ලෝකය තනිකරම ප්‍රායෝගික නැති මෝඩ ලෝකයක් වෙද්දී
එයා මගෙන් ඈත් වෙලා වෙන තැනක රැදිලා තිබුණා..
ඒ දැන දැනත් මට ආදරේ හැර වෙන දෙයක් දෙන්න පුරුද්දක් තිබුණේ නෑ.
අවසානයේ 'මම දැන් වෙන කෙනෙක්ට ආදරේ කරනව අපි කවදාවත් එකතු වෙන්නෙ නෑ ' කියන වචන ටික එයාගේ කටින්ම කියද්දී මම හිතුවේ ඒක මාව රවට්ටන්න කියන බොරුවක් කියල. ඒක ඇත්තක කියල මගේ මොළේට තේරෙන්න හරියටම අවුරුදු දෙකක් ගියා.
ඒක තේරුම් ගන්න උත්සාහ කරන හැම වෙලාවෙම මට panic attacks ආවා
මගේ ලෝකෙම සලිත වෙලා ගියා විශ්වාස කරන්න බැරුව.
ඇත්ත කියල මම අල්ලන් හිටපු දේ ඇස් ඉස්සරහ කඩාගෙන වැටෙද්දී ඒ හැම කම්පනයක්ම මගේ හදවතේ හැම සෛලයක්ම සසල කරා.
එකම එක දවසක් මම තීරණයක් ගත්තා..
ඒ තමයි මම මේ වේදනාව කමටහනක් කරගන්න.
අවුරුදු දෙකක උපරිම වේදනවකට පස්සෙ මම මගේ ඊළග අදියර පටන් ගත්තා.
ප්‍රේමයේ කමටහන
වේදනාවේ කමටහන වඩන්න ගත්තා.
වේදනාවට පපුව මැද රිදෙද්දී ඒ උලකින් අනිනවා වගේ දැනන තැන මගේ හිත නැංගුරම් දැම්ම.
උගර හිරවෙලා හිත කඩා වැටෙද්දී එතන ආයේ නැංගුරම් දාගෙන මගේ භාවනාවට ආරම්මණ ගත්තා.
මේ ප්‍රේමය පැන නගින තැන මම හොයා ගත්තේ එහෙම අරමුණු කරගෙන සතිය තියාගෙන ඉන්නකොට.
ප්‍රේමයේ උල්පතම ගැඹුරු තුවාල හදන ලෝදිය ගගක් වෙලා ගලන හැටි මම දැක්කා ඒ අතර එයා එයාගේ ලෝකේ එයා පතපු ආදරේ එක්ක එයාගේ ලෝකේ එයා විශ්වාස කරන සතුට හොයාගෙන සීග්‍ර ගමනක් යමින් හිටියා මම මගේ හදවතේ ඉරුණු තැන් මහමින් හිටියා .
මම මගේ හදවතේ ඉරුණු තැන් මහමින් හිටියා . ඒත් එක්කම මගේ ප්‍රේමයේ උල්පත නැවත යත තත්වයට පත් වෙමින් සුවපත් වෙමින් තිබුණා
වසර කිහිපයකට පස්සෙ මගේ ප්‍රේමයේ උල්පතේ වටිනාකම දන්න කෙනෙක් මට මුණ ගැහුණා
මගේ විශ්වාස පද්ධතිය සහ එයාගේ විශ්වාස පද්ධතිය සමාන කෙනෙක් මට මුණ ගැහුණා
මගේ ජීවන අවබෝධයට සමාන අවබොධයක් ඇති කෙනෙක් මට මුණ ගැහුණා
දන්නවද මගේ ප්‍රේමයේ උල්පත හිදිලා ගියේ නෑ.
ඒක තාම ගලනව මගේ සහකරු වෙනුවෙන්.
අවසානයෙ ඒ උල්පත පෙරට වඩා නිදහසේ ගලන්න ගත්තා. ඇයි දන්නවද කලින් කෙනා තමයි ඒ උල්පත මට හොයල දුන්නේ.එච්චර ආදරේ කරන්න පුළුවන් හැකියාවක් මාතුළ අවදි කළේ.
ඉතින් ඒ පින එයාට ලැබේවා.
අද ඒ උල්පත නිසා මගේ ජීවිතේ අරමුණු පුළුල් වෙලා.
සසරටම උපකාර වෙන එහෙම වේදනා දීපු අයටත් දෙන්න ඉන්න අයටත් යහපතක්ම වේවා.
සමහර වේදනා අපිට අත්‍යවශ්‍ය යි.. ඉතින් අද ඔබ ලබන වේදනාව කමටහනක් කර ගන්න
ආදරෙයි
-නදීපා රණසිංහ-