26/05/2022
කාන්තා සිතට වද දෙන යෝනිදාහය මේ විදියට වළක්වා ගන්න
යෝනිදාහය (වැජිනයිටිස්) ලෙස හැඳින්වෙන්නේ කාන්තාවකගේ යෝනියෙහි ඇතිවන ප්‍රදාහමය තත්ත්වයටය. එහි ප්‍රතිඵලයක් ලෙස යෝනි මාර්ගයෙහි කැසීම, එයින් ස්‍රාවය ගැලීම, එම ප්‍රදේශය ඉදිමීම ඇති වෙයි. යෝනිදාහය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු දෙකකි. ඉන් පළමුවැන්න එම ප්‍රදේශයේ ඇතිවන ආසාදන ( ඉන්ෆෙක්ෂන්) තත්ත්වයකි. දෙවැන්න අදාළ අවයවයෙහි පවත්නා බැක්ටීරියා සමතුලිතතාවයේ බිඳ වැටීමය. අර්තවහරණය නැතිනම් ඔසප් වීම නතර වීමත් සමඟ ඇතිවන ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම පහළ යෑමද සමහර සමේ රෝග තත්ත්වයන් නිසාද යෝනිදාහය ඇති වීමට පුළුවන.
යෝනිදාහය ඇතිවන ආකාරය ප්‍රධාන වශයෙන් තෙආකාරය.
බැක්ටීරියානු යෝනිදාහය
මෙයට මුල් වන්නේ ස්වාභාවික වශයෙන් යෝනි මාර්ගයෙහි පවතින බැක්ටීරියා සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ ගොස්, ස්වාභාවික බැක්ටීරියානු ප්‍රමාණය ඇති කරගෙන තිබූ තුල්‍යතාව බිඳවැටීමය.
යීස්ට් ආසාදනය
කැන්ඩිඩා ඇල්බිකන්ස් ලෙස හඳුන්වන ස්වාභාවිකව පවතින දිලීරයක් හේතු කොට ඇතිවන ආසාදනයකි.
ට්‍රයිකොමොනාසියාව
ට්‍රයිකොමොනාසිස් වැජයිනේලිස් ලෙස හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ ලිංග ප්‍රදේශවල අරක්ගැනීමට සමත් පරපෝෂිතයෙකි. මෙහි රෝග කාරකය මෙය බහුලිංගික සබඳතා මාර්ගයෙන් පැතිරීමට සමත් වන ආසාදනයකි.
මෙසේ යෝනිදාහයට මුල්වන හේතු කීපයක් තිබීම නිසාම ඒ සඳහා කළ යුතු ප්‍රතිකාරය ද එකිනෙකට වෙනස් වෙයි.
යෝනිදාහය ඇති රෝගියකුගෙන් දැකිය හැකි සුලබ රෝග ලක්ෂණ මෙසේය.
යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයෙහි වාරණය එනම් පැහැය වෙනස් වීම (සාමාන්‍ය විනිවිද පෙනෙන ස්‍රාවය ළා කහ හෝ දුඹුරුවන් පැහැයට වෙනස් වීම සුලබය) ඉන් නික්මෙන ගන්ධය වෙනස් වීම සහ ස්‍රාවය වන ස්‍රාව ප්‍රමාණය ඉහළ යෑම, යෝනි මාර්ගය කැසීම හෝ උත්කෝපනය ඇති වීම, ලිංගික සම්බන්ධතා පවත්වන විට වේදනාවක් ගෙන ඒම, මුත්‍ර පහ කරන විට රිදීමක් දැනීම, යෝනි මාර්ගයෙන් ඉතාම සුළු වශයෙන් හෝ බිංදු වශයෙන් රුධිරය (ලේ) බැහැර වීම, මෙහි ලක්ෂණ අතර පවතියි.
යෝනිදාහය පවතින විට, යෝනි මාර්ගයෙන් ස්‍රාවය වන ස්‍රාව යන්ගෙන් දැකිය හැකි ලක්ෂණ අනුව ඒ කවර හේතුවක් නිසා ඇති වූ රෝග තත්ත්වයක් දැයි සැක කළ හැකි ඉඟි සැපයෙයි. උදාහරණ ලෙස දක්වතොත්,
බැක්ටීරියානු යෝනි දාහයේදී
ඔබගේ යෝනි ස්‍රාවය ළා දුඹුරු සුදු පැහැයක් ගනියි. ගඳ ගසන ස්වාභාවයක්, විශේෂයෙන් මාළු ගඳක් දැනිය හැකිය. ලිංගික සම්බන්ධතාවයකින් පසුව ස්‍රාවය ගලන ප්‍රමාණය වැඩි වීමට පුළුවන.
යීස්ට් ආසාදනයේ දී
මෙහිදී සුලබව දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වනුයේ යෝනි ප්‍රදේශය කැසීමය. එහිදී සුදු පැහැ උකු (ඝන) ස්‍රාවයක් ගලනු දැකීමට ද පුළුවන. යුරෝපීය රටවල මෙම තත්ත්වයේදී පිටවන ගඳ හඳුන්වන්නේ කොටේජ්චීස් “ ගමේ ගෙවල්වල සාදන චීස්වලින් නික්මෙන් ගඳ හා සමාන ලෙසය.
ට්‍රයිකොමොනයිසිස්
කොළ - කහ පැහැයට හුරු ස්‍රාවයක් මෙහිදී බැහැර විය හැකි අතර ඒ හා සමඟ පෙණ ගතියක් ද තිබීමට හැකි බව සඳහන් වෙයි. යෝනි දාහය ඇති වීමට මුල්විය හැකි හේතු පිළිබඳ මෙසේ විමසා බැලීමට පුළුවන.
බැක්ටීරියානු යෝනිදාහය
සුලබම යෝනි දාහ තත්ත්වය මෙය වන අතර , ස්ථානීයව යෝනි ප්‍රදේශයේ පවතින බැක්ටීරියා සමතුලිතතාව බිඳහෙලමින් සංඛ්‍යාත්මකව ඉහළ වර්ධනයක් ඇති විම මෙයට හේතු වෙයි. එසේ වන්නේ කුමක් නිසාද යන්න තවමත් රහසකි. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා බැක්ටීරියා යෝනිදාහය පැවතීමට ඇති හැකියාව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
කිසිදු ලිංගික ක්‍රියාවකට සම්බන්ධ නොවූ කාන්තාවකට වුව බැක්ටීරියානු යෝනිදාහය ඇතිවිය හැකි නමුදු, බහු ලිංගික සහකරුවන් ආශ්‍රය කිරිම හා රෝගය අතර යම් සබඳතාවක් ඇති බව පෙනී ගොස් ඇත.
යීස්ට් ආසාදනය
දිලීරමය ජීවීන් විශේෂයෙන් කැන්ඩිඩා ඇල්බිකන්ස් නම් දිලීර විශේෂය වැඩි වශයෙන් වර්ධනය වීම නිසා මෙම රෝග තත්ත්වය ඇති වෙයි. මෙහිදී මතක තබා ගත යුත්තක් නම් ලිංගික ප්‍රදේශයේ පමණක් නොව ශරීරයේ වෙනත් ස්ථානවලද මෙම ආසාදනය ඇතිවිය හැකි බවය. මුඛය, සමේ රැලි වැටුණ නැතිනම් නැමුණ තැන්, නියපොතු අවට මෙම දිලීර ආසාදනය පැවතීමට පුළුවන. කුඩා දරුවන් අතර හා වැඩිහිටියන් අතර යටට අඳින කලිසම් (ඩයපර් ආදී) නිසා ඇතිවන කුෂ්ඨයටද මෙය හේතු වෙයි.
ට්‍රයිකොමොනාසියාව
ට්‍රයිකොමොනාස් වැජයිනේලිස් ලෙස හැඳින්වෙන ඒක සෛලික පරපෝෂිතයකු ලිංගික සම්බන්ධතාවයන්හිදී සම්පේ‍්‍රෂණය වීම නිසා මෙම ආසාදනය ඇති වෙයි. රෝග ආසාදනයෙන් යුත් අයකු සමඟ ලිංගික සබඳතා පවත්වන, ආසාදිතව නොසිටින පාර්ශ්වකරුවාට මෙය වැලඳීමට ඉඩ තිබේ.
මෙම පරපෝෂිතයා පිරිමින්ගේ මුත්‍ර නාල ආසාදනය කළද රෝග ලක්ෂණ ඇති නොකරයි.
කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආක්‍රමණය කරන මෙම පරපෝෂිතයා ආසාදනය ඇති කරනවා පමණක් නොව අනෙකුත් ලිංගාශි‍්‍රතව බෝවන ආසාදන සඳහා ද මඟ විවෘත කරයි.
ආසාදනමය නොවන යෝනිදාහය
යෝනි මාර්ගය පිරිසිදු කිරීමේ අභිලාශයෙන් විවිධ ක්‍රීම් වර්ග, සබන් හා ආලේපන ගැල්වීම, සුවඳ විලවුන් හා විරංජන ස්ප්‍රේ කිරීම මෙන්ම වැසිකිළි කඩදාසි වැනි බාහිර ද්‍රව්‍ය යෝනි මාර්ගයට ඇතුළු කිරීම නිසාද අසාත්මීය එහෙත් ආසාදනමය නොවන යෝනිදාහ තත්ත්වයන් ද ඇති විය හැකිය.
යෝනිදාහය වැළැක්වීම සඳහා ඔබ ගත යුතු එක් මූලික පියවරක් වන්නේ ආසාදිතයකු භාවිත කළ ජල තටාක, වතුර භාජන ආදියෙහි බැසීමෙන් වැළකීම, ස්නානය කිරීමට ඇඟ සේදීමට, යෝනි ප්‍රදේශය සේදීමට පිරිසිදු ජලය පමණක්ම භාවිත කිරීම යනාදිය. එසේම ලිංගික ප්‍රදේශයන්හි රසායනික හා වෙනත් උත්කෝපන (කසන සුළු) ද්‍රව්‍ය නොගැල්වීමද වැදගත්ය.
වැසිකිළි භාවිතයෙන් පසු පිස දැමීම හා සේදීම පිටුපස සිට ඉදිරියට නොව ඉදිරිපස සිට පිටුපසට සිදු කිරීමට අමතක නොකරන්න. යෝනිදාහය සඳහා ප්‍රතිකාර කිරීමේදී එය බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් ද යන්න තෝරා බේරා ගෙන ප්‍රතිකාර කළ යුතුය. ට්‍රයිකොමොනයිසිස් රෝගයේදී අඹු සැමි යුවළකට ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය හැකිය.
තුසිත මලලසේකර