15/07/2025
"තාත්තා operation එකට කලින් කකුල් වලට මේස් දෙකක් දාන්න ඕනේ. ඒක hospital එකේ නෑ. පිටින් තමා ගන්න වෙන්නේ. "
පිටින් බෙහෙත් ගේන්න කියන්නත් බයයි. ඒත් මේ මේස් දෙක ඕනෙමයි.
"සුදු මේස් දෙකක් ගෙනත් තියෙන්නේ?"
"කෝ බලන්න. "
ඒක අපි සපත්තු වලට දාන මේස් දෙකක්.
"ඕක හරියන්නේ නෑ තාත්තා. වෙන දෙකක් ඕනේ. පිටින් ගන්න වෙනවා."
"කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද?"
"5000 ක් විතර වෙයි."
ඒ තාත්තා මුකුත් කිව්වේ නෑ.
ටිකකින් මම ඉන්න මේසේ ළගට ඇවිත් "doctor අර මේස් දෙක ඕනෙමද?
පඩි හම්බවෙන්නේ 10 වෙනිදා පහු වෙලා. එතකන් ටිකක් අමාරුයි." කියලා කියන කොට මම කොහොමද ඕනෙමයි කියන්නේ.
ඒ තාත්තා පොඩි රස්සාවක් කරන කෙනෙක්. මේ operation එකෙන් පස්සේ දවස් 15 ක් 20 ක් hospital එකේ ඉන්න වෙනවා. සමහර විට ඊළග මාසේ පඩියක් නැති වෙන්නත් පුලුවන්.
"හරි බලමු තාත්තා මොනවහරි කරන්න බලමු" කිව්වේ හොයාගන්න බැරි උනොත් මම හරි ගෙනත් දෙනවා කියලා හිතාගෙන.
අද හෑල්ල operation කරන ලෙඩෙක්ට දාන ඒ මේස් ගැන.
අපේ කකුල් වල ඉදන් heart එක පැත්තට ලේ ගමනාගමනය වෙන්නේ ශිරා (veins) හරහා. මේ ශිරා තුළ ලේ ගලන්නේ කකුල් වල මාංශ පේශිවල උදව්වෙන් (muscle pump ක්‍රියාවලිය). අපි ඇවිදිනකොට, ව්‍යායාම කරනකොට, පාද හොලවනකොට, මේ මාංශ පේශි සම්පීඩනය වෙලා ශිරා තුළ ලේ ඉහළට (හදවත දිහාවට) තල්ලු කරනවා. ශිරා ඇතුළේ තියෙන කපාට (valves) නිසා ලේ ආපහු පහළට ගලන්නේ නැහැ.
ලොකු operation එකකින් පස්සේ ටික කාලයක් ඇඳේ විවේක ගන්න වෙනවා. මේ වෙලාවේ කකුල් හොලවන්නේ නැති නිසා muscle pump එක හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට කකුල් වල ලේ ගමනාගමනය හරියට වෙන්නේ නෑ. ලේ එක තැනක එකතු වෙලා, ලේ කැටි (blood clots) හැදෙන්න පුළුවන්.
මේ තත්වය තමයි Deep Vein Thrombosis (DVT) කියන්නේ. DVT එක බරපතල වුණොත්, මේ ලේ කැටියක් පෙනහලුවලට ගිහින් pulmonary embolism වගේ ජීවිතයට තර්ජනයක් වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
Compression stockings තමයි මේ තත්වය වළක්වන්න බහුලව භාවිතා කරන්නේ. මේවා තදින් කකුල් වලට පළඳිනවා, ඒවා පාදවල ශිරා තද (compression) කරනවා. මේ නිසා ලේ ගමනාගමනය වෙනවා. ඒ නිසා ලේ කැටි ඇති වෙන අවදානම අඩු වෙනවා.
ඉතින් වාට්ටුවට පරිත්‍යාග විදියට හම්බ උන compression Stockings දෙකක් තිබුනා. වෙලාවට ඒ තාත්තටම ගැලපුනා.
මගේ facebook පිටුවේ followers ලා 21000 ක් ඉන්නවා. මම හැමදාම ලිපියක් ලියලා ඔයාලව දැනුවත් කරනවා.
මම කවදාවත් ඔයාලගෙන් උදව්වක් ඉල්ලා නෑ.
ඒත් අද වෛද්‍යවරයෙක් විදියට නෙවෙයි සාමාන්‍ය මිනිහෙක් විදියට ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න හිතුනා. ඔයාලට පුලුවන් නම් රෝහලකට මේ වගේ පරිත්‍යාගයක් කරන්න. ලොකු දේවල් නෙවෙයි. සරමක් චීත්තයක්, පැම්පස් පැකට් එකක්, මේ වගේ වෛද්‍ය උපකරණයක්. ඒක අපේ රටේ අහිංසක අසරණ මනුස්සයෙකුට ප්‍රයෝජන වත් වෙයි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර