EMed

EMed This page intends to provide education in medicine to both general public and professionals.

මධ්‍යසාර යම් කිසි ප්‍රමාණය? -----------------------------දිනපතා මධ්‍යසාර යම්කිසි ප්‍රමාණයක් පාවිච්ච් කිරීම මගින් සමහරක් ...
27/09/2023

මධ්‍යසාර යම් කිසි ප්‍රමාණය?
-----------------------------
දිනපතා මධ්‍යසාර යම්කිසි ප්‍රමාණයක් පාවිච්ච් කිරීම මගින් සමහරක් පුද්ගලයන් ගෙ හදවත රෝග අවදානම අඩු කර ගත හැකි බවට මතයක් ඇත. එහිදී Alcohol මගින් රුධිරයේ HDL Cholesterol (හොඳ cholesterol) ප්‍රමාණය වැඩි කරන අතර රතු වයින් (Red Wine) වල ඇති ප්‍රති ඔක්සිකාරක (Anti Oxidant) මගින් ශරීරයට හෘද රෝග අවදානම අඩු කරනු බව කියවේ

නමුත් සමස්තයක් ලෙස මධ්‍යසාර ශරීරයට අගුණය. එය පිලිකාකාරකයක් ලෙස හඳුනා ගෙන ඇත. මද වශයෙන් ගැනීම තුළින් වුවත් පිළිකා අවදානම වැඩි වේ

නමුත් මධ්‍යසාර වලින් ඉවත් වීමට නොහැකි යම් අයෙක් වේ නම් මේ සදහා දිනකට පාවිච්ච් කල යුතු අවම මද්‍යසාර ප්‍රමාණයක් තිබේ. ඒ ප්‍රමාණයට වඩා මධ්‍යසාර පාවිච්ච් කරන්නේ නම් මධ්‍යසාර වල ඇති අහිතකර ප්‍රතිඵල වලට ලක් වෙන අවදානම වැඩි වෙනවා. එ වගේම දිනකට නිර්දේශිත ප්‍රමාණ කිහිපයක් එකතු කර නිවාඩු දවසට එක වාර පාවිච්ච් කරා කියලත් රෝග අවදානම වැඩි වෙන එක තමා වෙන්නේ

දෛනික මධ්‍යසාර අවම ප්‍රමානය යනු එක සම්මත බීමක් (one Standard Drinking)

මෙහිදී
පිරිමි සදහා දිනකට Standard Drink දෙකකුත්

ගැහැණු සදහා දිනකට Standard Drink එකකුත්

දෛනික අවම මධ්‍යසාර ප්‍රමාණය ලෙස සදහන් වෙනවා. නමුත් මේ අගයන් ගොඩක් වේලාවට ආසියානු නොවන කොකේශියානූවාන් (සුද්දෝ) සදහා තමා නිර්දේශ කරලා තියෙන්නේ. ඔවුන්ගේ ශරීර තුළ මධ්‍යසාර පරිවෘත්තීය (Metabolism) වන ආකාරය අපි වගේ ආසියානුවන්ට වඩා වෙනස්. ඒ වගේම අපි අතරේ වුණත් අපි එක් එක් පුද්ගලයන් තුළ මේ ක්‍රියාවලිය වෙනස්. ඒ නිසා අපිට නම් අවම මධ්‍යසාර ප්‍රමාණය one Stadard Drink එකක් වෙන තරමට වඩා හොඳ බවක් මට හිතෙනව. කිසිම මධ්‍යසාරයක් නැති තරමට වඩාත්ම හොඳයි

One Standard Drinking කියන්නේ මොකක්ද

(1) 5% Beer 12 ounce/ 375 ml (Beer Can එකක්)

(2) 8% Malt Beer 8 - 9 Ounce /250ml

(3) 12 % රතු වයින් 5 Ounce / 150ml

(4) 40% මධ්‍යසාර (Gin, Wiskey, Vodka, Tequila) 1.5 ounce / 45ml

මධ්‍යසාර වලට වඩා ආරක්ෂිත වෙනත් ක්‍රම මගින් රුධිරයේ HDL Cholesterol ප්‍රමාණය වැඩි කර ගන්නත් ප්‍රති ඔක්සිකාරක වැඩි කර ගන්න පුළුවන්

දිනපතා ව්‍යායාම කිරීම මගින් HDL Cholesterol ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් එළවලු පළතුරු මගින් අවශ්‍ය ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය ලබා ගන්නත් පුළුවන්

මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමා සිදු කර ඇති ප්‍රකාශයක කොටසක් පමණක් උපුටාගෙන ප්‍රසිද්ධ කිරීම මගින් සමාජයට වැරදි පණිවිඩයක් යන්න අවදානමක් තියෙනව.

ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කියන්නේ මධ්‍යසාර ගන්නම එපා කියලා. මඳ පමණින් මධ්‍යසාර භාවිතය මගින් උනත් පිළිකා රෝග ඇති වෙන්න ඉඩ කඩ වැඩි වෙනවා එනිසා ගන්නේම නැති තරමට ඉතාම හොඳයි

Stroke / ආඝාතයආඝාතය / stroke / paralysis වෙනවා කියන රෝගී තත්වය අද වන විට සුලබව දක්නට ලැබෙන රෝගී තත්වයක්. විශේෂයෙන්ම ලෝකය...
01/02/2023

Stroke / ආඝාතය

ආඝාතය / stroke / paralysis වෙනවා කියන රෝගී තත්වය අද වන විට සුලබව දක්නට ලැබෙන රෝගී තත්වයක්. විශේෂයෙන්ම ලෝකයේ බෝ නොවන රෝග අවදානම් සාධක බහුල වීමත් (අධි රුධිර පීඩනය, දියවැඩියාව, ස්ථුලබව, ව්‍යායාම නොමැති කම) වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ආයු අපේක්ෂාව වැඩිවීමත් හේතුවෙන් ආඝාතය රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ආඝාතය නිසා කිසියම් පුද්ගලයෙකු මරණයට පත්වීමට හෝ දීර්ඝ කාලීනව ආබාධිත තත්වයට පත් වන්නට ඉඩ තිබෙන අතර නිසි ප්‍රතිකාර ගැනීම, නිරන්තර වෛද්‍ය පරීක්ෂණයට ලක්වීම මඟින් ආඝාතය වළක්වා ගැනීමටත් ආඝාතයේ පසුකාලීන සංකූලතා වළක්වා ගැනීමටත් පුලුවන් වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම මිනිසුන් 1000 කගෙන් 10 කට ආඝාතය වැළඳීමේ සම්භාවිතා පවතිනවා.

🔺ආඝාතය යනු කුමක්ද?

ආඝාතය පහත දෙආකාරයට සිදුවිය හැකියි.
1.මොළයේ කිසියම් කොටසකට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම මඟින් අදාල කොටසට රුධිර සැපයුම ඇණ හිටීම නිසා එම කොටස මියයාම/අකර්මණ්‍ය වීම.
2.මොළයේ රුධිර නාලයක් පුපුරා යාම නිසා මොළය ඇතුළතට රුධිරය වහනය සිදුවීම.

මෙයින් වඩාත්ම සුලබව දක්නට ලැබෙන ආකාරය වන්නේ පළමු ආකාරයට සිදුවන ආඝාතය යි.(රුධිර වාහිනී අවහිර වීම නිසා සිදුවන ආඝාතය)

🔺ආඝාතය සඳහා වන අවදානම් සාධක

ආඝාතය සඳහා වන ප්‍රධානම අවදානම් සාධක වන්නේ,
🔶අධික රුධිර පීඩනය
🔶දියවැඩියාව
🔶රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම
🔶දුම් පානය
🔶අධික ලෙස මත්පැන් භාවිතය

මීට අමතරව,
🔶රුධිර නාල වල සහ හදවතේ පවතින දුර්වලතා
🔶ව්‍යායාම නොමැතිකම
🔶තරබාරු බව
🔶ජානමය සාධක

🔺ආඝාතය හඳුනාගන්නේ කෙසේද?

ආඝාතයේදී මොළයේ කොටසක් අකර්මණ්‍ය වන නිසාවෙන් එම කොටස මඟින් පාලනය කළ සිරුරේ කොටස සහ එහි කාර්‍යය අඩපණ වීම සිදුවේ.
මෙය විවිධාකාරයෙන් හඳුනාගත හැක.
1.හදිසියේ එක් ඇසක පෙනීම නොමැති වීම.
2.වචන ගොත ගැසීම.
3.කට එක් පැත්තකට ඇදී යාම
4.සිරුරේ එක් පැත්තක් අත සහ පාදය පණ නැතිවීම හෝ හිරි වැටීම.

මෙවැනි අවස්ථාවක මේ රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනා ගැනීමටත්, හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට යොමු වීමත් ඉතාම වැදගත්. ඉතා ඉක්මනින් රෝහල්ගත වීම තුළින් ආඝාතය නිට්ටාවටම සුව කරගැනීමට හෝ ආඝාතය මඟින් සිදුවන සංකූලතා අවම කරගැනීමට පුලුවන්.

🔺ආඝාතය හඳුනාගන්නේ කෙසේද?

ආඝාතය රෝග ලක්ෂණ මතුවී රෝහල් ගත වූ පසු ඔබේ වෛද්‍යවරයා ඔබව පරීක්ෂාකර බලා හැකි ඉක්මනින් ඔබගේ මොළයේ CT Scan පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. එලෙස CT Scan යන්ත්‍රයක් ඔබේ රෝහලේ නොමැති නම් එවැනි යන්ත්‍රයක් පවතින රෝහලකට හැකි ඉක්මනින් ඔබව මාරුකර යැවීම සිදුකරනවා.
CT Scan පරීක්ෂණය මඟින් ඔබට ආඝාතය වැළඳී ඇති බවත්, මොන ආකාරයේ ආඝාතයක් (රුධිර වාහිනී අවහිර වීම හෝ රුධිර වාහිනී පුපුරා යාම) බවත් තහවුරු කරගත හැකියි.

🔺ආඝාතයට ප්‍රතිකාර තියෙනවද?

ආඝාතය සඳහා අවශ්‍ය ප්‍රතිකාර අපේ රෝහල් වල තිබෙනවා. නමුත් ආඝාතයේ රෝග ලක්ෂණ මතුව කොතරම් වේලාවකින් ප්‍රතිකාර සඳහා යොමු වෙනවාද කියන කාරණය මත එම ප්‍රතිකාර භාවිතා කිරීම සහ එහි සාර්ථකත්වය රඳා පවතිනවා. එම නිසා හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්.
උදාහරණයක් ලෙස ආඝාතය වැළඳී පැය 4 1/2ක් ඇතුළත රෝහලට පැමිණියහොත් Alteplase යන ප්‍රතිකාරය ලබාදී අවහිර වී ඇති රුධිර වාහිනියේ අවහිරතාව නැතිකිරීම මඟින් මොළයේ අදාල කොටස මියයාම/අකර්මණ්‍ය වීම වළක්වා ගන්න පුලුවන්. එම නිසා ඉතා ඉක්මනින් රෝහලට පැමිණිය යුතුය කියන කාරණාව නැවතත් මතු කරන්න කැමතියි.

🔺ආඝාතය වළක්වා ගන්නේ කෙසේද?

මෙහිදී ආඝාතය වැළඳීමට පෙර එය වළක්වා ගැනීමත්, ආඝාතය වැළඳීමෙන් පසු ඇතිවන සංකූලතා වළක්වා ගැනීමත් සාකච්ඡා කළ යුතු වෙනවා.
විශේෂයෙන්ම තමන්ට ඉහත සඳහන් අවදානම් සාධක පවතිනවා නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමටත්, නිරන්තරයෙන් ඒ සඳහා වන සායන/Clinic වලට සහභාගී වීමත්, නිසි පරිදි වෛද්‍ය උපදෙස් පිළි පැදීමත් වැදගත් වෙනවා.
ඒ වගේම වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම වසරකට වතාවක්වත් තමන්ගේ රුධිර පීඩනය, රුධිරගත සීනී මට්ටම සහ කොලෙස්ටරෝල් ප්‍රමාණය පරීක්ෂා කරගත යුතු වෙනවා. එමඟින් බෝ නොවන රෝග කල් තියා හඳුනා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමටත් හැකි වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 30-50 අතර වයස් වල පුද්ගලයන් වැඩි වශයෙන් ආඝාතයට ලක්වෙන ප්‍රවණතාවක් අපට මේවනවිට දක්නට ලැබෙනවා. ඒ පුද්ගලයන් තමන්ට බෝ නොවන රෝග සහ අවදානම් සාධක පවතින බව කළින් දැනුවත් වෙලා නැහැ වගේම දැනුවත් වී තිබුණත් නිසි ප්‍රතිකාර අරගෙන තිබුණෙ නැහැ.

තම උසට සරිලන බර පවත්වා ගැනීමත්, දුම් පානයෙන් වැළකීමත්, අධික ලෙස මත්පැන් භාවිතය නතර කිරීමත් සිදුකළ යුතු වැදගත් දෙයක්.

කිසියම් පුද්ගලයෙකුට ආඝාතය වරක් වැළඳුන හොත් ඔහුට/ඇයට යළිත් වරක් ආඝාතය පැමිණීමට අවදානම් පවතිනවා. එම නිසා නිසි ප්‍රතිකාර නියමාකාරයෙන් ගැනීම ඉතා වැදගත්. එමෙන්ම වෛද්‍ය උපදෙස් පිළිගැනීම, ව්‍යායාම සඳහා යොමුවීම (Physiotherapy) සහ අනෙකුත් නිර්දේශිත පරීක්ෂණ සඳහා යොමු වීම මඟින් ආඝාතයෙන් පසුව ඇතිවන සංකූලතා වළක්වා ගන්න පුලුවන්.

අවසාන වශයෙන් ආඝාතය කියන්නේ අපේ සමාජයේ ඉන්න නිහඬ මාරයෙක්. ආඝාතය නිසා බලපෑමට ලක්වන්නේ අදාල පුද්ගලායා සහ ඔහුගේ/ඇයගේ පවුල. මෙහිදී ආර්ථික, සමාජීය ලෙස විවිධ ආකාරයේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ ආඝාතය සඳහා පවතින අවදානම් සාධක පාලනය තුළින් ආඝාතය වළක්වා ගන්න පුලුවන් වගේම ආඝාතය වැළඳී ඉතා ඉක්මණින් (පැය 4ක් ඇතුළත) රෝහල් ගතවීම මඟින් ආඝාතයෙන් ඇතිවන බලපෑම අවම කරගන්නට පුලුවන්. ඒ වගේම නිසි ප්‍රතිකාර ගැනීම මඟින් ආඝාතය වැළඳුනු පසුවත් ඇතිවන සංකූලතා වළක්වා ගන්න පුලුවන්.

සටහන:
රංජුල වාහලවත්ත Ranjula Wahalawatte
වෛද්‍ය නිලධාරී
හදිසි ප්‍රතිකාර ඒකකය
දිස්‌ත්‍රික්‌ මහ රෝහල, නුවරඑළිය

02/08/2022
වඳුරු සරම්ප (Monkey Pox) රෝගය ගැන දැන ගනිමු 🦠🦠🦠.................................................. මොකක්ද මේ දවස් වල ලොකය...
02/08/2022

වඳුරු සරම්ප (Monkey Pox) රෝගය ගැන දැන ගනිමු 🦠🦠🦠..................................................
මොකක්ද මේ දවස් වල ලොකයේ හැමෝම කතා වෙන වඳුරු සරම්ප (Monkey Pox) රෝගය

ඔබ සියලු දෙනාම මාරාන්තික වසූරිය රෝගය ගැන අසා ඇති බව අපි සිතමු. 18 වන ශතවර්ෂයේදි යුරෝපයේ පමණක් මරණ ලක්ෂ 4 කට වඩා වසූරිය නිසා සිදු වූ බව වාර්තා වෙනවා. නමුත් වාසනාවකට බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය එන්නත නිපදවීමත් සමඟ ලෝකය පුරා වසූරිය රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් පහළ බසින්න පටන් ගන්නවා. අවසානයේ වර්ෂ 1975 දි ලොකයේ අවසාන වසූරිය රෝගියා වාර්තා වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් වඳ වී ගිය රෝගයක් ලෙස වසූරිය රෝගය නම් කරනවා.
Monkey Pox එහෙම නැත්නම් වඳුරු සරම්ප වෛරසය කියන්නේ වසුරිය වෛරසය අයත් පවුලේම තවත් වෛරසයක්. මේක මුලින්ම හදුනා ගත්තෙ වර්ෂ 1970 දි කොන්ගෝ ජනරජයෙන්. කොන්ගෝ ජනරජයේ අවසාන වසූරිය රෝගියා වාර්තා වන්නේ 1968 දී. එතනින් වසර දෙකකට පස්සේ තමයි Monkey Pox රෝගය මුලින්ම හදුනා ගන්නේ. එතනින් පස්සේ මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල් වලින් දිගින් දිගටම Monkey Pox රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තා. හැබැයි මෑතක ඉඳන් කලින් Monkey Pox රෝගය විශාල වශයෙන් වාර්තා නොවුණු උතුරු ඇමරිකාව සහ යුරෝපීය රටවල් වලින් වැඩි වශයෙන් Money Pox රෝගය වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩි අවධානයක් මේ වෛරසය වෙතට යොමු කරනවා. මේ ලිපිය ලියන මේ මොහොත වන විටත් අපේ ශ්‍රීලංකාවේ කිසිම රෝගියෙක් වාර්තා නොවුණත් අපේ අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට රෝගීන් 5 දෙනෙක් හදුනා ගෙන තියෙන අතර Monkey Pox වෛරසය නිසා එක් මරණයක් සිදු වෙලා තියෙනවා

මේ රෝගය වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ කුඩා ළමුන් සහ විශේෂයෙන් සමලිංගික පිරිමි පුද්ගලයන් තුළින් නමුත් මෙම වෛරසය තවමත් ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයක් ලෙස හදුනා ගෙන නැහැ

*Monkey Pox රෝගය බෝවෙන්නේ කොහොමද
*

මේ Monkey Pox කියන රෝගය මිනිසාට බෝ වෙන්නේ සතුන්ගෙන්. විශේෂයෙන්ම නිවර්තන කලාපයේ වනාන්තර ආශ්‍රිත ලේනුන්, වඳුරු වර්ග සහ මීයන් ගෙන් මෙම වෛරසය මිනිසාට බෝ වෙන බවට හදුනා ගෙන තිබෙනවා. ආසාදිත සත්ත්වයෙක් ගෙ දේහ පටක (මස් අනුභවය), දේහ තරල (රුධිරය, කේඨය, මූත්‍රා) ආදියට නිරාවරණ වීම තුළින් මේ වෛරසය මිනිසාට බෝ වෙන බව මේ වන විට හඳුනාගෙන තියෙනවා.

ආසාධිත මිනිසෙක් ගෙන් තවත් මිනිසෙකුට රෝගය බෝ වෙන්න පුළුවන්. එහිදී ආසාධිත පුද්ගලයෙක් ගෙ ස්වසන මාර්ගයෙන් පිට වන කැටිති සහ බිදිති, ඔහුගෙ/ ඇයගේ දේහ තරල වලට නිරාවරණය වීම (කේඨය, රුධිරය වැනි), ආසාධිතව පුද්ගලයෙක් ගෙ තුවාල වලට නිරාවරණය වීම ආදිය මගින් මිනිසුන් අතර රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. එ වගේම ගර්භනී කාන්තාවකට රෝගය ආසාදනය වුණහොත් ඇයගේ කුස තුළ සිටින දරුවාටත් රෝගය ආසාදනය වෙන්න පුළුවන්. මීට අමතරව ආසාධිත තරල තැවරුණු භාණ්ඩ මගිනුත් රෝගය ව්‍යාප්ත විය හැකිය

Monkey Pox රෝගයේ රෝග ලක්ෂණ මොනවාද

Monkey Pox රෝගය වසූරිය රෝගය තරමට අසාධ්‍ය රෝගයක් නොවේ. මේ වන විට වාර්තා වී ඇති අන්දමට Monkey Pox නිසා මරණය සිදු වීමේ සම්භාවිතාව 3% ත් 6% අතර වෙනවා.
වෛරසය ශරීර ගත වී දවස් 6 ත්13 අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ මතු වීමට ගත වෙන්න පුළුවන්.
එහිදී පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා
1)තද උණ ගතිය
2) තද හිසරදය
3) මස් පිඩූ වේදනාව
4) හන්දි වේදනාව
5) නාසයේ අවහිරතාව
6) උගුර වේදනාව
7) කැස්ස
8)තෙහෙට්ටුව
9) බෙල්ලේ වසා ගැටිති ඉදිමීම

උණ වැළඳී දින තුනක් ඇතුළත ශරීරයේ ලප (Rash) එන්නට පටන් ගනියි. එහිදී මුහුණ, ඇස්, මූඛය, අත්ල, පතුල සහ ලිංගේන්ද්‍රිය ප්‍රදේශ වැඩි වශයෙන් Rash එකට ගොදුරු වෙයි.
ලප සමේ පාට වෙනස් වීමකින් ආරම්භ වී සැරව ගෙඩි දක්වා වර්ධනය වී සැරව ගෙඩි පුපුරා කැළල් ඇතීවීම දක්‌වා පරාසයක දක්නට ලැබේ.

Monkey Pox රෝගය සති 2 ක් හෝ 4 ක් ඇතුළත ඉබේ සුව වෙන රෝගයක් වුවද ඇතැම් පුද්ගලයන් හට නිව්මෝනියා තත්වයන් සහ මොලයේ උණ (Encephalitis) දක්වා ව්‍යාප්ත විය හැකිය. කුඩා දරුවන් සහ දේහයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මේ තත්ත්වයට පත් වන්න අවදානමක් පවතින බව වෛද්‍ය මතයයි

Monkey Pox රෝගය හදුනා ගන්නේ කෙසේද

හමේ එන ලප (Rash) වලින් කොටසක් ගෙන PCR පරීක්ෂණය සදහා යොමු කිරීම මගින් අපට රෝගය පහසුවෙන් හදුනා ගන්න පුළුවන්

Monkey Pox රෝගය සඳහා පවතින ප්‍රතිකාර මොනවාද

Monkey Pox රෝගය සදහා නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර එය ඉබේම සුව වෙන රෝගයක්. වේදනා නාශක, නිසි පෝෂනය, විජලනය වළක්වා ගැනීම, ශරීරයේ ලප මත ඇතිවිය හැකි බැක්ටීරියා ආසාදන පාලනය කිරීම, නිව්මෝනියා තත්වයේදී ශ්වසනය පවත්වා ගැනීම සහ ඔක්සිජන් ලබා දීම ආදිය සිදු කරණු ලබනවා. මීට අමතරව වසූරිය සදහා භාවිතා කරන ලද Tecovirimat නම් බෙහෙතද මේ සදහාද යොදා ගත හැකියි

Monkey Pox රෝගය වළක්වා ගැනීමට එන්නත් තිබෙනවාද

වසූරිය සඳහා ලබා දුන් එන්නත මේ Monkey Pox රෝගය සදහාද සාර්ථකව ක්‍රියා කරන බව සොයාගෙන තිබෙනවා. එමනිසා පෙර වසූරිය සදහා එන්නත් ලබා ගත් අයට මේ රෝගයෙන් ආරක්ෂාවක් පවතිනවා. එලෙස එන්නත් ලබා නොගත් අයටත් Monkey Pox සදහා නිපදවන ලද එන්නතක් මේ වනවිට පවතිනවා

Monkey Pox රෝගය වළක්වා ගන්නේ කෙසේද

Monkey Pox රෝගය වළක්වා ගැනීමට හැකි රෝගයක්. විශේෂයෙන්ම ආරක්ෂක මුව ආවරණ පැළඳීම, ආසාධිතව රෝගීන් හෝ සැක සහිත රෝගීන්ගේ දේහ තරල හා පටක පරිහරනය කිරිමේදී ආරක්ෂාකාරීව කටයුතු කිරීම මගින් මෙම රෝගය වළක්වා ගත හැකිය

මූලාශ්‍ර
1)World Health Organization
2)CDC

DM for more information 📩💊🩺💉

අනතුරකදී මේ ගැන ප්‍රවේසම් නොවුණුහොත් භයානක ඉරණමක් අත් විය හැකිය............................................................
11/07/2022

අනතුරකදී මේ ගැන ප්‍රවේසම් නොවුණුහොත් භයානක ඉරණමක් අත් විය හැකිය...................................................................................

හදිසි අනතුරු කියන්නේ අපේ රටේ සුලභ කාරණාවක්. මාර්ග අනතුරු, රැකියාවන් වල හදිසි අනතුරු, ස්වභාවික ආපදා, කල කෝලාහල වැනි විවධ අනතුරු දිනපතා දක්නට ලැබෙන සුලබ කාරණාවක්.

මේ අනතුර වලදී අපේ ශරීරයේ විවධ අවයව හානි වීමට පුළුවන් ඒ අතරින් සමහර කොටස් වලට සිදු වන හානී ඉතා මාරාන්තික මෙන්ම දීර්ඝකාලීන එක්තැන් වීම් සහ ආබාධිත තත්වයන් ඇති කරන්න පුළුවන්. සමහර හානි අනතුරෙන් පසුව රෝගීයා අනතුර සිදුවන ස්ථානයෙන් පිටතට ගැන්ම සහ ප්‍රවාහනය වැනි අවස්ථා වල සිදු වෙන්න පුළුවන්. මෙවැනි හානි හදිසි අනතුර මගින් කෙලින්ම සිදු වූ හානියක් නොවන නිසා අපි ඒවාට ද්විතීයික හානි (Secondary Injury) කියා හදුන්වන්න පුළුවන්. සමහර වෙලාවකට හදිසි අනතුර මගින් සිදු වුණු හානියට වඩා ද්විතීයික හානිය දරුණු වෙන්න පුළුවන්. එහෙම අවදානමක් තියෙන අපේ සිරුරේ කොඳු නාරටිය ගැන අපි අද කතා කරමු.

කොදු ඇට පේලිය (Vertebral Cloumn) කියන්නේ කශේරුකා 33 එකතු වෙලා හැදුණු අස්ථිමය කුහරයක්. ඒ කුහරය ඇතුලේ සුශුම්නාව (Spinal Cord) අන්තර්ගත වෙනවා. සුශුම්නාව තුළින් අපේ සිරුරේ ස්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය පේශි ආදි කොටස් වලට අවශ්‍යය ස්නායු අඩංගු වෙනවා. අපි ඒවාට සුශුම්නාව ස්නායු (Spinal Nerves) කියනවා [1 පින්තූරය]. යම් අනතුතරකදී කොදු ඇට පේලියට හානි වෙන්න පුළුවන් එ වගේම එම අනතුරින් පසුව රෝගියා හැසිරවීම (Handling) මගින් එම හානිය තවත් දරුණු තත්වයට පත් වී ඇතැම් විට මරණය හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන්නට පුළුවන්. එනිසා එවැනි රෝගීන් අනතුරෙන් පසු හැසිරවීම සහ ප්‍රවාහනය බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ කාරණයක්.

දැන් අපි බලමු මොනවගේ අනතුරු වලද කොදු ඇට පේළියට හානි වෙන්න පුළුවන් කියලා. උසක සිට බිමට වැටීම, මාර්ග අනතුරු වැනි අනතුරු විශේෂයෙන්ම ඉන් ප්‍රධානම තැනක් ගන්නවා. ඒ වගේම තමයි හැම අනතුරකම කොදු ඇට පේළියට හානියක් ඇති බව අනුමාන කරන්න කියන එක වෛද්‍ය විද්‍යාව අනුව පිළිගන්නා කාරණාවක්. එහෙම් රෝගීන් Xray හෝ CT Scan පරීක්ෂණයක් මගින් තහවුරු කිරීම කරන තුරු කොදු ඇට පෙලට හානි වී ඇත ලෙස සිතා කටයුතු කල යුතුය.

කොඳු ඇට පෙළේ බෙල්ලේ (Cervical) ඇති කොටස ඉතාම වැදගත් කොටසක්. අපේ ශ්වසනය 75% සිදු වන්නේ මහා ප්‍රාචීරය (Diaphragm) කියන පේශිය සංකෝචනය මගින්. මේ පේශිය සංකෝචනයට අවශ්‍ය ස්නායු පවතින්නේ බෙල්ලේ ඇති සුශුම්නාව තුළය. ඉතින් අනතුරකදි බෙල්ලට හානි වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. ඒ හානිය අනතුරෙන් පසුව බෙල්ලේ සිදුවන චලිතයන් (Movements) වලින් තවත් වැඩි වන්නට පුළුවන්. බැරි වෙලාවත් මේ ස්නායු හානි වුවහොත් හුස්ම ගැනීම නියමාකාරයෙන් සිදු වෙන්නේ නැහැ. මෙය ඉතා මාරාන්තික තත්ත්වයක්. එ නිසා අනතුරකදී හා ඉන් පසුව කොදු ඇට පෙළ ආරක්ෂා කර ගත යුතුය. එයිනුත් බෙල්ල විශේෂයෙන් ආරක්ෂා කර ගත යුතුය.

දැන් අපි බලමු අනතුරකින් පසුව කොඳු ඇට පෙළ ආරක්ෂා සහිතව තබාගෙන රෝහලට අරන් යන ආකාරය.

අනතුරකට පසුව අපි රෝගියාගේ බෙල්ල සෙලවීමට නොහැකි ආකාරයෙන් [2 පින්තූරය)] තද කර ගත යුතුය. එමගින් බෙල්ලේ සුශුම්නා කොටස සෙලවීම මගින් වෙන හානිය අවම කර ගත හැකිය. අනතුරුව රෝගියා ඝණ පැතලී තලයකට මාරු කල යුතුය. මේ සදහා Spinal Board නම් උපකරණයක් තිබෙනවා. එහෙම දෙයක් පහසුවෙන් සොයා ගැනීමට නොහැකි නිසා ඔබට ලෑල්ලක් පාවිච්ච් කරන්න පුළුවන්. [3 පින්තූරය]. මේ කිසිම අවස්ථාවක බෙල්ල සෙලවීමට ඉඩ ලබා නොදෙන්න. ලෑල්ලට මාරු කරාට පසුව ඔබට බෙල්ල දෙපසට කොට්ට දෙකක් හෝ ගඩොල් දෙකක් වැනි දෙයක් තබා සෙළවිය නොහැකි පරිදි තැබිය හැකිය [4 පින්තූරය] . මෙමගින් බෙල්ලේ සහ ඉන් පහළ කොදු ඇට පේලියට හානි නොවන ලෙස ඔබට රෝගියා රෝහලට රැගෙන යා හැකිය.
අපේ රටේ අනතුරු වලදී රෝගීන් ව ඉතාම අපහසුවෙන් සුන් බුන් තුළින් ඇඳලා එළියට ගන්නවා අපි දැකලා තියෙනවා. එහි වරදක් නැහැ නමුත් එලෙස සිදු කරන විට කොදු ඇට පේලියට හානි සිදු වී සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන්නට ඉඩ තිබෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ දේශකයෙක් ඉන්නවා ඔහු ආබාධිත අයෙක්. ඔහු හදිසි අනතුරකට ලක්ව සිටි අවස්ථාවේ ඔහුව පිටතට ගැනිමේදී ඔහුගෙ සූශුම්නාවට හානි සිදු වී තිබෙනවා එමගින් ඔහුට සාදා කාලික ආබාධිත තත්ත්වයට පත්වන්නට සිදුවුනා. එ වගේම අනතුරකින් පසුව ත්‍රී රෝද රථයක් රෝහලට රැගෙන යාමත් කොඳු ඇට පෙළ සම්බන්ධයෙන් ඉතාම අවදානම් සහගත දෙයක්.
ඔබට කල හැකි හොඳම දෙය කොඳෙ ඇට පෙලට හානි වී ඇති බව සැක කර බෙල්ල සෙලවීමට නොහැකි වන සේ ආරක්ෂා කර ගෙන සිටීමය. ලෑල්ලක් තිබේ නම් ඔබට එයට රෝගියා මාරු කල හැකිය නමුත් කිසිම විටක බෙල්ල සෙලවෙන්නට ඉඩ නොදෙන්න. ඔබට එයත් සිදු කල නොහැකි නම්. බෙල්ල ආරක්ෂා කර ගෙන සිටින්න අසල අයකුට 1990 ගිලන් රථ සේවයට කතා කරන්න කියන්න. ඔවුන් පැමිණ අවශ්‍ය දේ කරණු ඇත.

අනතුරෙන් පසුව රෝගියා හැසිරවීම කොදු ඇට පෙළ ආශ්‍රිත අනතුරු වල ඉතාම වැදගත් අංගයක්. එමනිසා එ සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත්ව සිටීම වැදගත්.
මේ සම්බන්ධයෙන් YouTube නාලිකාවේ කෙටි video පටයක් ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කරා.

https://youtu.be/NLTfOXqpl34

ඔබට මේ සම්බන්ධයෙන් පවතින ගැටලු අපට ඉදිරිපත් කල හැක. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමු.

[5 පින්තූරය] බෙල්ලේ කොඳු ඇට පෙළට හානි වූ අයෙක්

සියලු ඡායා රූප අන්තර්ජාලය ඇසුරෙනි

ස්තූතියි

ඔබටත් ජිවිතයක් බේරා ගත හැකිය...............................................................................................
10/07/2022

ඔබටත් ජිවිතයක් බේරා ගත හැකිය........................................................................................................................................
තෙල් පෝලිමේ මේ වනවිට වටිනා ජීවිත 15 ක් පමණ අහිමි වී අවසන්. ඉදිරියට අපේ කී දෙනෙකුට එලෙස අවාසනාවන්ත ඉරණමක් උරුම වෙයිද කියන එක අවිනිශ්චිත කාරණයක්. මේ අතරේ එලෙස අසනීප වුණ තාත්තා කෙනෙක්ගෙ ජීවිතය බේරා ගැනිමේ වීඩියෝ එකක් මේ දින වල සමාජ ජාල වෙබ් අඩවි තුළ සංසරණය වීම දකින්නට ලැබෙනවා. වාසනාවකට එ ජීවිතය බේරා ගැනීමට පුළුවන් වුණත් එ මොහොතේ එ තරුණයා ගෙ ක්‍රියාව තරමක් විද්‍යාත්මකව සිදුවිය යුතු බව වෛද්‍යවරයෙක් ලෙස තේරුම් ගිය නිසාවෙන් මේ සටහන තබන්න හිතුනා. නමුත් පළමුවෙන් ප්‍රේක්ෂකයෙකු හෝ මාධ්‍යවේදීයෙකු නොවී දිවි ගලවා ගන්නෙකු (Life Saver) ලෙස කිරියාත්මක වීම ගැන එ තරුණයාට ස්තුතිය පුද කරන්න කැමති.

තෙල් පෝලිමේ මරණ වලට ප්‍රධානම හේතුව හදිසි හෘද අකර්මන්‍ය (Sudden Cardiac Death). ඒ කියන්නේ හදිස්සියේම අපේ හෘදය වස්තුව ක්‍රියාත්මක වීම නතර වෙනවා. අපේ ශරීරයේ ප්‍රධානතම අවයව දෙක ලෙස හදවත සහ මොළය හදුන්වන්න පුළුවන්. මේ අවයව වල මනා ක්‍රියාකාරිත්වය සඳහා ඔක්සිජන් (Oxygen) සහ ග්ලූකෝස් (Glucose) අඛණ්‌ඩව සැපයීම සිදු විය යුතු කරුණක්. මේ සංඝටක මේ අවයව කරා පැමිනෙන්නේ රුධිරය හරහායි. රුධිරය අවයව වලට ගමන් කරන්නේ හදවතේ සංකෝචනය මගින් ලැබෙන බලයෙන්. සරලවම කිව්වොත් හදවත පොම්පයක් වගේ හදවතේ ක්‍රියාකාරීත්වය මගින් හදවතටත්, මොළයටත් අනිකුත් අවයව වලටත් රුධිරය පොම්ප කිරීම සිදු වෙනවා. ඉතින් හදවත නතර වුණොත් මේ අවයව වලට රුධිරය සැපයීම නතර වීම සිද්ධ වෙලා ජීවිත අවදානමක් ඇති වෙනවා.

හෘදය වස්තුව හදිසියේ නතර වීමට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් නමුත් ඒ අතරින් ප්‍රධානම හේතුව හදිසි හෘදයාබාධ (Heart Attack /Acute Coronary Syndrome). එහිදී හදවතට රුධිරය සපයන රුධිර නාල අවහිර වීමෙන් හදවතට අවශ්‍ය රුධිර සැපයුම නතර වී ඔක්සිජන් සහ ග්ලූකෝස් ආදී සංඝටක හිඟ වීමෙන් හදවත නතර වීම සිදු වෙනවා. හදිසියේ හදවත නතර වීම ඉතා අසාධ්‍ය තත්වයක්. හැකි ඉක්මනින් හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ නොකළහොත් පරක්කු වන හැම විනාඩියකටම මරණයට පත් වීමේ සම්භාවිතාව 10% කින් පමණ වැඩි වෙන බව ගණනය කර තිබෙනවා.

සුබ ආරංචිය තමයි මෙවැනි රෝගියෙකු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වුනොත් අවශ්‍ය නිවැරැදි ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් රෝගියා ජිවත් කරවීමට හැකියාව පැවතීම. විශේෂම කරුණ වන්නේ ඕනම අයකුට එම ප්‍රතිකාර ඕනැම අවස්ථාවක, ඕනම ස්ථානයක ආරම්භ කිරීමට හැකි වීම. එමගින් ඉතා වටිනා ප්‍රථිපල අත් කර ගැනීමට ඇති හැකියාව නිසාම දියුණු රටවල මේ ප්‍රතිකාර ක්‍රමය පාසල් අධ්‍යාපනය සිට සියලු ස්ථර වල ඉගැන්වීම සිදු කරන ලබන දෙයක්. මේ ක්‍රමයට කියන්නේ මූලික ජිවිත ආධාරක (Basic Life Support) (BLS) ක්‍රමය කියලා. මෙහිදී සිදු වන්නේ හදිසියේ හදවත නතර වුණු රෝගියෙක් ඉක්මනින් හදුනා ගෙන ඉතාම විද්‍යානුකූලව නමුත් සරළ ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කරමින් සෞඛ්‍යය කාර්ය මණ්ඩලය රෝගියා භාර ගන්නා තුරු රෝගියා ගෙ ජිවිතය පවත්වා ගෙන යාම. BLS ක්‍රමය ගැන ගැන දැනුවත් භාවය සහ නොපැකිලව BLS ක්‍රමය ආරම්භ කිරීමට ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මේ ලිපිය මින් ඉදිරියට දිග හැරෙනවා.

මුලින්ම හදිසියේ හදවත නතර වුණ කෙනෙක් හොයා ගන්නේ කොහොමද කියන එක බලමු. අන්තර්ජාතික පිළිගැනීමට අනුව එහෙම රෝගියෙක් හදුනා ගන්නේ මෙහෙමයි

“කිසිම ප්‍රතිචාරයක් නොමැති (Unresponsive) සහ හුස්ම ගන්නෙ නොමැති ඕනැම පුද්ගලයෙක් හදවත නතර වුණු රෝගියෙක් ලෙස සලකා ප්‍රතිකාර ආරම්භ කල යුතුය “ [European Resuscitation Council 2021 Guidelines ]

BLS ක්‍රමය ආරම්භ කිරීමට ප්‍රථම ආරක්ෂිත ස්ථානයකට රෝගියා මාරු කල යුතුය. කලින් video එකේ රියදුරු අසුනේ සිටි රෝගියා එ අවස්ථාවේ ආරක්ෂාකාරීව පාරට හෝ ගත යුතුව තිබුණා. BLS ක්‍රමය ක්‍රියාත්මක කල යුත්තේ සමතලා පොළවක

කිසිම ප්‍රතිචාරයක් නොමැති සිහි සුන් රෝගියෙක් අපිට හමු වුණ හොත් එය තහවුරු කර ගැනීමට අපිට ඔහුට හෝ ඇයට කතා කර ප්‍රතිචාරයක් තිබේද පරික්ෂා කර බැලිය හැකිය. ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නම් අපිට උරහිසට තට්ටු කර ඔහු ප්‍රතිචාර දක්වනවා ද ලෙස පරික්ෂා කර බැලිය හැකිය. ඒ කිසිම ප්‍රතිචාරයක් නොමැති නම් මීළඟට අපිට රෝගියා හුස්ම ගන්නවා ද පරික්ෂා කල හැකිය.

මෙහිදී අපගෙ කණ රෝගියාගේ නාසය අසලට ගෙන ඔහුගෙ හුස්ම ගැනීමේ ශබ්දය ශ්‍රවණය කරන අතරතුර ප්‍රශ්වාස වාතයේ ඇති උණුසුම කණට දැනෙනවාද පරික්ෂා කර බලන්න . එ සමගම ඔහුගෙ හෝ ඇයගේ පපුව දෙස බලා හුස්ම ගැනීමේ චලනයන් පවතිනවා ද පරික්ෂා කර බැලිය යුතුය [1 රූපය]. හුස්ම ගන්නා ශබ්දය නොමැති නම් හා උණුසුම නොමැති නම් හා පපුවේ චලනය නොමැති නම් ඔහු හුස්ම ගන්නෙ නැති රෝගියෙක් බවට තහවුරු කර ගත හැකිය. මේ පුද්ගලයා ට ඉතා ඉක්මනින් BLS ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කළ යුතුය.

BLS ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට පෙර හැකි ඉක්මනින් උදවු ලබා ගන්න. මෙය ඔබට තනිවම සිදු කරන්න අපහසු කාර්යයකි. කව්රුන් හෝ ලවා 1990 අමතා හදවත නතර වුණු රෝගියෙක් සිටින බව දන්වන්න.

දැන් BLS ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය බලමු. අපිට මෙහිදී හදවතේ පොම්ප කිරීම අඛණ්‌ඩව සිදු කිරීමට අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් එය සිදු වන්නේ හදවතේ ස්වයං සංකෝචනය මගිනි. එය නතර වි ඇත. එසේනම් පිටතින් බලයක් යොදා සංකෝචනය ආරම්භ කර පවත්වා ගත යුතුය. ඒ සදහා පිටතින් පපු තෙරපුම (Chest Compression) ලබා දිය යුතුය.

රෝගියා අසළ දණ ගසා ගෙන [2 පින්තූරය] අත්ල එකිනෙක පටලා [3 පින්තූරය] රෝගියාගේ පපුවේ මැද කොටසේ තබා පපු තෙරපුම ලබා දිය යුතුය. සෑම අවස්ථාවකදීම 5cm පමණ ගැඹුරට පපු තෙරපුම දිය යුතුය. තත්පරයකට දෙක බැගින් පපු තෙරපුම දිය යුතුය. මෙලෙස පපු තෙරපුම එක දිගට 30 වතාවක් දිය යුතුය. ඉන්පසු කෘතිම ශ්වසනය සදහා නතර කරණු ලබයි.
මෙවැනි අවස්ථාවක රෝගියා හුස්ම ගන්නෙ නොමැති නිසා අවයව වලට අවශ්‍ය ඔක්සිජන් සිරුරට ලැබෙන්නේ නැත. එමනිසා එ සදහා කෘතිම ශ්වසනය ලබා දිය යුතුය. එහිදී පපු තෙරපුම් 30 කට පසු රෝගියාගේ මුඛය අසලට ගොස් ඔහුගෙ මුව හොඳීන් විවර කර එක අතකින් ඔහුගෙ නාස් පුඩු වසා (එසේ නොකළ හොත් ඔබ මුඛයෙන් පිඹින වාතය පෙනහළු කරා නොගොස් නාසයෙන් එනු ඇත) ගැඹුරු හුස්මක් ගෙන ඔබගේ මුඛය රෝගියාගෙ මූඛයට තබා (වාතය කාන්දු නොවන සේ) තදින් පිඹින්න [4 පින්තූරය] . නැවත ගැඹුරු හුස්මක් ගෙන එලෙස කරන්න. මේ ආකාරයක දෙපාරක් කෘතිම ශ්වසනය ලබාදී නැවත පපු තෙරපුම ආරම්භ කරන්න.

මේ ආකාරයට පපු තෙරපුම් 30 කට වරක් කෘතිම ස්වසන 2 ලෙස 30:2 අනුපාතයට දිගටම BLS ප්‍රතිකාර ක්‍රමය කරගෙන යන්න. ඔබට කෘතිම ශ්වසනය දීමට පැකිලීමක් ඇති නම් ඔබේ අභිමතය පරිදි කෘතිම ශ්වසනය නොදී සිටිය හැක. නමුත් කිසිම අවස්ථාවක පපු තෙරපුම නතර නොකරන්න (European Resuscitation Council 2021 Guidelines)

ඉහත ආකාරයට සහාය වෛද්‍ය කණ්ඩායම් පැමිණෙන තෙක් දිගටම BLS ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්න. කිසිම විටක මෙය නතර කරන්න එපා. මතක තියාගන්න මේ අවස්ථාවේ රෝගියාගේ හදවත ක්‍රියාත්මක වන්නේ ඔබ සිදු කරන පපු තෙරපුම මගින්. තව විදිහකට කිව්වොත් රෝගියා ගෙ ජිවිතය පවත්වා ගන්නේ ඔබයි.

අපේ රටේ මේ වගේ මොහොතක ත්‍රී රෝද රථයක නංවාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙන යාම පුරුද්දක් වුවත් එ ගමන් කරන කාලය ඇතුලත හදවතේ ක්‍රියාකාරීත්වය නොමැති නිසා රෝහලට ඇතුළත් කරන්නේ හදවත සහ මොළය මිය ගිය රෝගියෙක්. ඔහු හෝ ඇය බේරා ගැනීමට කොපමණ උත්සාහ කරත් ඵලක් වෙන්නේ නැත. එමනිසා රෝගියාගේ ජිවිතය බේරා ගැනීමේ හැකියාව යුතුකම සහ එයින් ලැබෙන වැඩි ගෞරවය හිමි වන්නේ ඔබටමය එමනිසා ඔබටත් වටිනා ජීවිතයක් බේරා ගැනීමට හැකියාව පවතින බව අමතක නොකරන්න. අවශ්‍යය වන්නේ හැකි ඉක්මනින් හදවත නතර වුණු පුද්ගලයන් හදුනා ගෙන උදවු ඉල්ලා ගෙන හැකි ඉක්මනින් පපු තෙරපුම සහ කෘතිම ස්වසනය ආරම්භ කිරීමය. මෙමගින් ජිවිතයක් බේරා ගැනීමට හැකිය.

කවුරුන්ගේ හෝ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ස්වාමි පුරුෂයෙක් හෝ බිරිඳක් ඔබ නිසා ජිවය ලබනු ඇත

මෙම ලිපිය තුලින් පුලුවන් තරමට BLS ප්‍රතිකර ක්‍රමය පහදන්න අපි උත්සහ කර නමුත් නියමකරයෙන් මෙය සිදු කරන ආකරය ප්‍රයොගිකව පෑහදිලි කල යුතු දෙයක්. එමනිසා ‍YOUTUBE Web අඩවියෙ මෙය පෑහදිලි කරනා video පටයක් ඔබට ගෙන එමට අපි අදහස් කරා. මෙ සම්බන්දයෙන් ඔබට ඈති ගෑටලු අප පිටුව වෙත ඉදිරිපත් කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

https://www.youtube.com/watch?v=n7kqiAu2gC8

Address

Kandy

Telephone

+94717775871

Website

Alerts

Be the first to know and let us send you an email when EMed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to EMed:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram