27/11/2025
කැඩුම් බිඳුම් වෙද පොත.
පළමු කොටස.
මිනිස් සිරුර
කැඩුම්, බිඳුම් වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීමට යන ආධුනිකයා පළමු කොට මනුෂ්‍ය ශරීරය පිළිබඳව තත්වාවබෝධයක් ඇතිකර ගත යුතුය. ශරීර කූඩුවේ නිර්මාණය පිළිබඳව තත්වාවබෝධයක් නොමැතිව කැඩුම් බිඳුම් වෛද්‍ය ශාස්ත්‍රය හැඳෑරීමට යාම කඩුව නැතිව යුධයට යාමක් වැනි වේ. එම නිසා ප්‍රථමයෙන් අපි මිනිස් සිරුරේ නිර්මාණය පිළිබඳ නිවැරදි වැටහීමක් ඇතිකර ගැනීමට උත්සාහ කරමු. හිස, කඳ, ගාත්‍රා වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදීයන අපේ මේ ශරීරය ලෝකයේ ඇති සියලුම සජීව, අජීව වස්තු මෙන්ම ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහ භූතයන්ගේ සංකලනයකින් නිර්මිත වී ඇති අතර එය රන්, රිදී, මුතු, මැණික් ආදියකින් නිර්මිත වූවක් නොව කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී දෙතිස් කුණප කොට්ඨාශයකින් නිර්මිතවූවක් බව අමුතුවෙන් විස්තර කළයුතු නොවේ. කැඩුම් බිඳුම් වෛද්‍ය ශාස්ත්‍රයේදී ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමුවන්නේ මේ දෙතිස් කුණප කොට්ඨාශයන් දරා සිටින අස්ථිපංජරය හෙවත් ඇට කූඩුවටය. එමනිසා ප්‍රථම කොට එම අස්ථිපංජරය නිර්මාණය වී ඇති අන්දමත්, එයට අයත් ඇට සංඛ්‍යාවත් ඒ එක් එක් ඇටයක් ශරීර විද්‍යාවේදී හදුන්වන නාමයනුත් එම ඇට සම්බන්ධවී සෑදෙන සන්ධි සංඛ්‍යාව කොතෙක්ද යන්නත් පැහැදිලිව හැඳින ගැනීමට උත්සාහ කරමු. මේ සඳහා ඉතාම උචිත ක්‍රමය නම් මිනිස් ඇට සැකිල්ලක් සහාය කර ගැනීමය. එහෙත් එය බොහෝ දෙනෙකුට කළ හැකි දෙයක් නොවන නිසා ඒ වෙනුවට ක්‍රමානුකූලව අදින ලද ඇටසැකිල්ලක (අස්ථිපංජරිය) රූප සටහනක් අනිවාර්යයෙන් ම ඔබ විසින් සපයා ගත යුතුය. එතෙක් මේ චිත්‍රයෙන් හැකිතාක් ප්‍රයෝජන ගන්න.
අංක හැඳින්වීම.
1. හිස්කබල.
2. ග්‍රීවාස්ථී.
3. උරපත්ත.
4. පපු ඇටය.
5. අකු ඇටය.
6. ඉළඇට.
7. අග්‍රබාහු ඇට.(ප් රගන්ඩාස්ථිය)
8. කොඳු ඇට.(කණ්ඨකය)
9. වැලමිට සන්ධිය.
10. උකුල් ඇට.(ශ්‍රෝණිය)
11. අන්වරාස්ථිය.
12. අරාස්ථිය.
13. මැණික්කටුව.
14. හස්ථකූර්ඡාස්ථි.
15. හස්තඋපකූර්ඡාස්ථි.
16. අඟුලිකාස්ථි.
17. කලවා සේඇට.(ඌර්විය)
18. දනිස්කටුව.
19. ජංගාස්ථිය.
20. අනුජංගාස්ථිය.
21. පාදකූර්ඡාස්ථි.
22. පාද උප කූර්ඡාස්ථි.
23. පාද අංගුලිකාස්ථි.
සිසිර කුමාර ලියනාරච්චි මහතාගේ කැඩුම් බිඳුම් වෙද පොතෙන් උපුටාගන්නා ලදී.