Manaranjana Rajasekera Wattage

Manaranjana Rajasekera Wattage ආයු බොහෝ වේවා! Doctor

අඳුර ඉහිරී ඇඳුනු පටලෙන් සිනිඳු තරු මුතු සැඟවුනානොකොඳුරා කිසි කතාවක් මට අනේ සඳවත බොඳ උනාවෙලේ බඩවැටි පඳුරු නිහඬවහඬන විට ප...
07/07/2020

අඳුර ඉහිරී ඇඳුනු පටලෙන් සිනිඳු තරු මුතු සැඟවුනා
නොකොඳුරා කිසි කතාවක් මට අනේ සඳවත බොඳ උනා

වෙලේ බඩවැටි පඳුරු නිහඬව
හඬන විට පිණි දිය සලා
කෙහෙල් දඵවක ගොටුව නැවුනා
එරුණු දිය බර නො උහුලා

හීතලේ පිණි කඳුඵ අතුරා පැලේ පිළ උඩ කරුවලේ
වලාවේ මේ වෙලාවේ ඇයි මගේ අතුපැල කඵ කලේ

අනේ, හාවුනි කදෝ පැණියනි
සීත සුළඟින්වත් අසා
සොයා දෙනු මැන මගේ සඳවත සිටින තැනකින් මට වහා

පපා නෙතගින් ඉඟි බිඟී
නැගී එන් මගේ සඳවතී

සිබිල් වෙත්තසිංහ මැතිනියණි...,ඔබ තුමියට අජරාමර නිවන් සුව පතමි!
02/07/2020

සිබිල් වෙත්තසිංහ මැතිනියණි...,
ඔබ තුමියට අජරාමර නිවන් සුව පතමි!

කරාබු නැටි - (Syzygium aromaticum)Syzygium aromaticum - සිසිජියම් ඇරොමැටිකම් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ලොව හඳුනන කරා...
28/06/2020

කරාබු නැටි - (Syzygium aromaticum)

Syzygium aromaticum - සිසිජියම් ඇරොමැටිකම් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ලොව හඳුනන කරාබු ශාකය Myrtaceae - මිටේසී කුලයට අයත් වේ. ඉංග්රීස් බසින් Clove යයි හැඳිනේ. ලංකාව ඉන්දියාව ආදී රට වල මුහුදු මට්ටමේ සිට අඩි 2,000 පමන වන උස් බිමි හා බෑවුම් නිම්න පෙදෙස් වල සරු පසෙහි වැඩෙන කරාබු ගස දේව කුසුම, දේව පුෂ්ප, දේවතා කුසුම, අමර කුසුම ආදී නම් වලින් සංස්කෘත භාෂාවෙහි සඳහන් වේ.

මේ ගස ලංකාවේ ආර්ථික භෝගයක් වන අතර අඩි 20 ක් පමණ උසට වැවේ. තරමක ශීත දේශගුණයක් හා වර්ෂාව මේ ගසේ වැඩීමට අව්‍ශ්‍යවේ. ජනවාරි මාසයේ පමණ හොඳින් වැඩුනු කරාබු මල් කැකුළු නෙලීමට පටන් ගැනේ. නෙලාගත් කරාබු කැකුළු කිහිප දිනක් අව්වේ වියලා ගැනීමෙන් පසු හොඳින් ගබඩා කර තැබිය යුතුය.

කරාබු නැටි ගුණ වශයෙන් ලඝුය හෙවත් සැහැල්ලුය. රළු ගුණයද ඇත. ඉතා හිතවත් ගුණයෙන් අනූනය. චක්ෂුස්‍ය හෙවත් ඇසට හිතකාරී ගුණ පවතී. තීක්ෂණ ගුණයෙන් යුතුය. වාතය පිත හා සෙම යන තුන් දොසම එකවිට නැසීමේ ශක්තිය ඇත්තේය. උෂ්ණ ගුණයෙන් යුතු වුවද විපාකී හෙවත් ආන්ත්‍රිකව පැසවීමේදී ශීත වීර්යයෙන් යුතුය. අන්ත්‍රමාර්ගික ගින්න වර්ධනය කරයි. මල භේදය හෙවක් මල බිඳීම ඇති කරයි. වමනය - බඩ පිපුම - කැස්ස - ඇදුම - හික්කාව - ක්ෂය රෝගය - මල මුත්ර බද්ධය - ශූල හෙවත් අනින්නාක් බඳු වේදනා, රක්ත රෝග ආදියෙදී භාවිතා කෙරේ. විශේෂයෙන් ක්රිම් නාශක ගුණය ඇත.

කරාබු නැටි වලින් සගන්ධ තෛලයක් (Essential Oil) නිපදවනු ලැබේ. එය අතීශයින්ම මිල අධිකය. මෙය වාෂ්පශීලීය. ගැබැණියන්ගේ වමනය - සෙම් දෝෂ - වාත දෝෂ නසන අතර එය ආහාර පැසවන ගින්න වඩයි. දත් වල මැලියම් බැඳීම අවම කිරීමට මේ තෙල භාවිතා කෙරේ. විෂ බීජ නාශකයක් ලෙසද ඉතා හොඳය. මුඛ සේදුමක් ලෙස දත් කැක්කුමේදී ස්ථානීය නිර්වේදකයක් ලෙසද ආහාර රසවත් කිරීමේ රසකාරකයක් ලෙසද මේ තෙල ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරනු ලැබේ.

කරාබු නැටි අපේ දේශීය ඉතා ඉහල ගනයේ අත් බෙහෙතක් ලෙස භාවිතා වේ. සාමාන්‍ය අජීරණයකදී කරාබු නැටි කිහිපයක් හොඳින් තලා උතුරන වතුර ස්වල්පයකට දමා තැම්බෙන්නට හැර පෙරා බීමෙන් අජීරණය සුවවේ. එයම කුඩා දරුවන්ගේ පණු රෝගයට ඉතාම යෝග්‍යය. දන්ත ගත සෞඛ්‍යය රැකීමේදී කරාබු නැටි තෙල් ඉතා ඉහළ අගයක් ගනී. විදුරුමස ආරක්ෂා කර ගැනීමට එය උපකාරී වේ. පණුගාය නිසා දරුවන්ට ඇති වන පෝෂණ ඌනතා මග හැරීමට ද කරාබු නැටි තැම්බූ වතුර ටික ටික දීම ප්රයෝජනවත්ය.

මනරන්ජන රාජසේකර වත්තගේ
(වෛද්‍යාචාර්‍ය එම්. ආර්. වත්තගේ)
දුරකථන: +94 718285672

16/06/2020

සත්‍යජිත් රායි ඉන්දියානු බෙංගාලි චිත්‍රපට නිමැවුම්කරුවෙකි, ඔහුගේ විස්මිත විවිධ දක්ෂතා සඳහා උපහාර දැක්වීමකි.

සිනමා තිරය මත මිනිස් ජීවිතය සිතුවම් කළ සත්‍යජිත් රායි.

සත්‍යජිත් රායි යනු ඉන්දියානු බෙංගාලි චිත‍්‍රපට නිමැවුම්කරුවෙකි. විසිවන සියවසෙහි සිනමාව තුළ උසස් ශිල්පීන් අතරින් එක් අයෙකු ලෙස ඔහු සලකනු ලැබේ. රායි සිනමා අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් යන අංශ ති‍්‍රත්වයේ වැදගත් කාර්යබාරයක් ඉටු කර ඇත ඉන්දියාවේ කල්කටා නගරය තුළ රායි උපත ලැබුවේ කලා හා සාහිත්‍ය ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රසිද්ධත්වයක් ඉසිලූ බෙංගාලි පවුලකය. වාණිජමය කලාකරුවෙකු ලෙසින් තම වෘත්තීය ජීවිතය ඇරඹු රායි ස්වාධීන චිත‍්‍රපට නිපැයීම වෙත ඇදී ගියේ ප‍්‍රංශ චිත‍්‍රපට නිපැයුමිකරුවෙකු වූ ජෝන් රෝනියර්ගේ හමුවීම සහ ලන්ඩන් නගරයේදී පාපැදි හොරා නමි වූ ඉතාලියානු නව යථාර්තවාදි චිත‍්‍රපටය නැරඹීමෙන් පසුවය.සත්‍යජිත් රායිගේ පෙළපත ගැන සලකා බලන විට ඔහුගේ සීයා වු චෞද්රි රායි මහතා දහනවවන සියවසෙහි ලේඛකයෙක්,දාර්ශනිකයෙක්, ආධුනික තාරකා විද්‍යාඥයෙක් හා බෙංගාලයේ ආගමික හා සමාජ ව්‍යාපාරයේ නායකයෙක් විය.සත්‍යජිත්රායිගේ පියා සුකුමාර් රායි වන අතර මව සුප‍්‍රභාරායි වේ. 1921 මැයි 02 වන දින රායි කල්කටා ප‍්‍රදේශයේ උපත ලැබුවේය. සත්‍යජිත්රායිට අවුරුදු තුනක් පමණ වන විට සුකුමාර් රායි මිය ගිය අතර පවුලේ සියලූ කටයුතු සුප‍්‍රභා රායිගේ සුලූ ආදායම මත තීරණය විය.රායි සිය අධ්‍යාපනය කල්කටාවේ බාලිගියුන්ග් රජයට අයත් උසස් පාසල තුළ අධ්‍යාපනය හදාරන ලදී. එමෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ ශාස්ත‍්‍රවේදී අධ්‍යාපනය කල්කටාවේ ජනාධිපති විද්‍යාලය තුළ සිදුකරනු ලබයි. එමෙන්ම ඔහුගේ උනන්දුව ලලිත කලා අංශයට යොමුවු බැවින් කල්කටා විශ්ව විද්‍යාලයට යොමුව අධ්‍යාපනය හදාරනු ලැබීය. වර්ෂ 1940දී ඔහුගේ මව විසින් සත්‍යජිත්රායිව රවීන්ද‍්‍රනාත් තාගොර් විසින් ආරමිභ කරන ලද ශාන්ති නිකේතනයේ පිහිටි විශ්ව භාරතීය විශ්ව විධ්‍යාලයට යොමු කරන ලදී. රායි විසින් ඔරියන්ටල් කලාව අගය කිරීමට ලක් කරන ලදී.ඔහු පසු කාලීනව ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන් වූ නන්දලාල් බෝස්සහ බිහාරි මුකර්ජිගෙන් බොහෝ දේවල් ඉගෙන ගත් බව පවසයි. පසුකාලීනව ඔහු මුකර්ජි ගැන ඔහුගේ අභ්‍යන්තර ඇසින් වාර්තා චිත‍්‍රපටයක් ඉදිරිපත් කරන ලදී. අජන්තා එල්ලෝරා වැනි ඹහුගේ චාරිකා ඉන්දීය කලාව සදහා රායිගේ උනන්දුව තවත් වැඩි කළේය.

1943දී සත්‍යජිත්රායි ඩී. ජේ. කෙයිමර් නමි බි‍්‍රතාන්‍ය ප‍්‍රචාරක ඒජන්සියක් යටතේ කනිෂ්ඨ නිර්මාණශිල්පියෙක් ලෙස තම රැකියාව තුළ නිරත වේ.එහිදී ඔහු මසකට රුපියල් අසූවක ආදායමක් ලබයි. රායි දෘශ්‍ය නිර්මාණ සදහා වැඩි කැමැත්තක් දක්වන ලදීග මෙම සමාගම තුළ බි‍්‍රතාන්‍ය සේවකයන් හා ඉන්දියානු සේවකයින් අතර ආතතියක් ඇතිවිය. මෙහිදී රායි විසින් පසුව ඩ් කේ ගුප්තා විසින් ආරමිභ කරන ලද සිග්නටි ප්රෙස් නම් මුද්‍රණාලය තුළ සේවය කරන එමෙන්ම එම මුද්‍රණාලය තුළ ප‍්‍රකාශයට පත් කරන ලද කෘති සදහා පොත් ආවරණය සදහා මෝස්තර නිර්මාණය කිරීමට රායිට අවශ්‍ය කලාත්මක නිදහස සමිපූර්ණයෙන්ම ලබා දෙන ලදී රායි බොහෝ පොත් සදහා කවර නිර්මාණය කරන ලදී රායි ජිබනාන්දදාස්ගේ බනලතාසෙන් හා රුපසි බංගල බිබිහුටිබුෂාන් බන්ඩිබපද්යායගේ චන්ඩෙිර් පාහර් කුමාඋන් ජිමි කෝබටිගේ මෙනෙඒටර්ස් සහ ඉන්දියාවේ ජවහර්ලාල්නේරු සොයාගැනීම ඇතුලූ බොහෝ පොත් සදහා කවර නිර්මාණය කරන ලදී. පාතර් පංචාලි නමි බෙංගාලි නවකතාවේ නම වෙනස් කරන ලද ආමි ඇන්ටියර් බිහෙපු යන කෘතිය සදහාද ආවරණ සැලසුමි ඉදිරිපත් කරන ලදී.රායි මෙය තමන්ගේ පළමු සිනමා නිර්මාණය සදහා විෂය කර ගනී.

විදානන්දදාස් ගුප්තා සහ අනෙකුත් අය සමග එකතු වී සත්‍යජිත්රායි කල්කටාවේ සිනමා සමාජය 1948දී ආරමිභ කරන ලදී ඔවුන් බොහෝ විදේශීය චිත‍්‍රපට පෙන්වන ලදී රායි විසින් මෙම චිත‍්‍රපට නරඹන අතරම බොහෝ චිත‍්‍රපට අධ්‍යයනය කරන ලදී. දෙවන ලෝක යුද්ධ සමය තුළ ඔහු අමෙරිකානු ජාතික ජී එල් එස් ස්ටේෂන්ඩි නැමති පුද්ගලයා සමග මිතුරු වෙි එම පුද්ගලයා නගරයේ පෙන්වන ලද නවතම ඇමෙරිකානු චිත‍්‍රපට පිළිබදව රායිට දැනුවත්බාවයක් ලබා දුන්නේය 1949 දී රායි බිජොයා දාස් සමග විවාහ විය ඇය ඔහුගේ කුඩා කල සිටම දන්නා ඥාති සහෝදරියක් විය රායිගේ පුතා සන්දීප් රායි නමි වෙි සන්දීප් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි 1949 දී ප‍්‍රංශ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ජීන් රෙනියර් ඔහුගේ ද රිවර් නමි චිත‍්‍රපටය රූගත කිරීම සදහා කල්කටාවට පැමිණේ සත්‍යජිත්රායි ඔහුට ඉන්දියාව තුළ රූගත කිරීමට අවශ්‍ය දර්ශණ පසුතල සොයා ගැනීමට උදවි කරනු ලබයි රායි විසින් පාතර් පංචාලි සිනමා නිර්මාණය සදහා තමාගේ අදහස රේනීයර්ට කියයි රේනීයර් එම නිර්මාණය සදහා ඔහුව දිරිමත් කරයි,

1950දී රායිව ඩී ජේ කෙම්යර් විසින් ලන්ඩනය තුළ ප‍්‍රධාන මූලස්ථානයේ රැකියාවට යවන ලදී ඔහු ලන්ඩනය තූළ මාස තුනක් ගත කරනු ලබයි රායි චිත‍්‍රපට 99ක් නරඹන ලදී 1948 දී වික්ටෝරියා ඩි සිකා විසින් නිර්මාණය කරන ලද පාපැදි හොරා (Bicycle thieves) නම් චිත‍්‍රපටය රායි විසින් නරඹන ලදී මෙම චිත‍්‍රපටය රායි තුළ චිත‍්‍රපට නිර්මාණය සදහ බලපෑමක් ඇතිකරන ලදී රායි පසුකාලීනව පවසා සිටියේ ඔහු එම සිනමා නිර්මාණය නැරඹීමෙන් පසුව සිනමා ශාලාවෙන් පිටවූයේ චිත‍්‍රපට තැනීමෙි අධිෂ්ඨානයෙන් බවයි.

සත්‍යජිත්රායිගේ පළමු චිත‍්‍රපටියේ පදනම ලෙස 1928දී ඉන්දියානු ජාතික ලේඛක බිභූතිභූෂාන් බන්දෝපාද්‍යයාගේ පාතර් පංචාලි නමි බෙංගාලි සමිභාව්‍ය සාහිත්‍ය නවකතාව භාවිතා කරනු ලබයි මෙය හා අපූගේ ලෝකය පාදක කොට ගෙන අපූ ති‍්‍රත්වය ලෙස රායි විසින් චිත‍්‍රපට තුනක් නිර්මාණය කරනු ලබයි ඒවා නමි පාතර් පංචාලි අපරාජිතයෝ ඔපු සංසාර් යන චිත‍්‍රපටයි මෙම චිත‍්‍රපට බෙංගාල ප‍්‍රදේශයේ කුඩා ළමයෙකුගේ වැඩීම විස්තර කරයි.

පාතර් පංචාලි චිත‍්‍රපටයේ කැමරාකරණය සුබ‍්‍රතා මිත‍්‍ර විසින් හා කාලා අධ්‍යක්ෂණය බන්සි චන්ද්‍රගුප්ත විසින් සිදු කරන ලදී 1952 දී පාතර් පංචාලි රූගත කිරීම ආරමිභ කරනු ලබයි ආධුනික රංගන ශිල්පින් මෙහි රංගනයේ නිරත වෙයි රායි තමන්ගේ පෞද්ගලික ඉතුරුමි මගින් රූගත කිරිම ආරමිභ කරයි. නමුත් රූගත කිරිම සාර්ථක වුයේ නොමැත එහි ප‍්‍රතිඵලයක් ලෙස රායි විසින් අවුරුදු 3ක් පුරාවටම පාතර් පංචාලි චිත‍්‍රපටය රූගත කිරිම සිදු කරන ලදි.

මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු අනිල් චෞදරි මහතා අභ්‍යන්තර අර මුදල් මගින් චිත‍්‍රපටය රූගත කිරිම සිදු කරන ලදි රායි විසින් රූගත කරන ලද දර්ශනයක් ඇමරිකානු අධ්‍යක්ෂවරයෙකු වූ ජොන් හුස්ටන්ටන්ට පෙන්වන ලදි හුස් ටන් විසින් නිවියොක් නුතන කලා කෞතුකාගාරයට මෙම චිත‍්‍රපටයේ දක්ෂතා දක්වයි මෙම හේතුවෙන් බටහිර බෙංගාලි රජයේ අරමුදල් රායිට ලැබේ. රායි විසින් චිත‍්‍රපටය රූගත කිරිම සමිපුර්ණ කරනු ලබයි පාතර් පංචාලි චිත‍්‍රපටය කෑන්ස් චිත‍්‍රපට උළලේ හොදම මානූෂීය වාර්තා චිත‍්‍රපටය යන සමිමානය සහ අන්තර්ජාතික චිත‍්‍රපට උළෙල වලදී අන්තර්ජාතික සමිමාන 11ක් දිනාගෙන ඇත සත්‍යජිත්රායි විසින් අනතුරුව අපරාජිතයෝ චිත‍්‍රපටය නිර්මාණය කරන ලදී අපරාජිතයෝ අපූ නැමති තරුණයා සහ ඔහුට ආදරය කරන ඔහුගේ මවගේ අභිලාෂයන් අතර සදාකාලික අරගලය නිරඋපනය කරනු ලබයි අපරාජිතයෝ වැනිසියේ චිත‍්‍රපට උලෙළදී ස්වර්ණ සිංහයා සමිමානය දිනා ගනී අපු ති‍්‍රත්වය චිත‍්‍රපටය නිර්මාණය සමිපූර්ණ කිරීමට පෙර රායි විසින් තවත් චිත‍්‍රපට 2ක් තිරගත කරනු ලබයි ඔ්වා නමි ප‍්‍රරාරෂ් පාතර් හා ජල්සාග්හර් යන චිත‍්‍රපටයි 1959 දී රායි විසිනි ඔපූර් සංසාර් චිත‍්‍රපටය නිර්මාණය කරනූ ලබයි.

රායිගේ සිනමා කෘති දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ ඒවායේ ඇති විවිධත්වයයි ඔහුගේ මුල්ම කෘතිය වන පාතර් පංචාලි චිත‍්‍රපටයේ කාව්‍යමය ගතිලක්ෂණ දැකගත හැක ඊටපසු නිපදවූ පොරෝෂ් පතර් හාස්‍යජනක උපහාසාත්මක චිත‍්‍රපටයක් යැයි කිව හැක රවීනුද්‍රනාත් තාගොර් පිළිබද වාර්තා චිත‍්‍රපටයක්ද ඊට පසු ශුපිගේ සහ හාඝාගේ වීර කි‍්‍රයා යන නමින් නැටුමි ගැයුමි ඇතූළත් අත්භූත රසයෙන් යුත් චිත‍්‍රපටයක්ද රායි නිපදවා ඇත ප‍්‍රතිවන්දි සහ ජොන අනෙන්‍ය යන චිත‍්‍රපට ඉන්දියාවේ දේශපාලන හා සමාජ ප‍්‍රශ්න දක්වනු ලබයි මොනිහාර් ශොනාර් කොල්ලා ශත්රන්ජ් කේ කිලාරි යන චිත‍්‍රපටද රායි විසින් නිර්මාණය කරනු ලබයි 1962 නිපදවූ කන්චන්චුන්ගා චිත‍්‍රපටය සමකාලීන ඉන්දියානු මධ්‍යම පන්තිය දෙස එබී බැලීමකි අභිජාන් චිත‍්‍රපටයද රායි විසින් 1962 දී නිර්මාණය කරයි රායි විසින් නිර්මාණය කරනලද මහනගර් චිත‍්‍රපටයද සමකාලීන ඉන්දියානු ජීවිතය පිළිබිඹු කරයි 1964 දී තාගොර්ගේ කතාවක් ඇසුරින් නිපදවන ලද චාරුලතාද විශිෂිට සිනමා නිර්මාණයකි ඔශානි ශන්කේත් නායක් යන චිත‍්‍රපටද රායි විසින් නිර්මාණය කරන ලදී 1969දී ඔර්නෙර් දින් රාති‍්‍ර යන චිත‍්‍රපටද රායි විසින් නිරිමාණය කරන ලද උසස් සිනමා නිර්මාණයකි.

ඉන්දියාවේ ජාතික චිත‍්‍රපට සමිමානය රායිට හිමිවේ 1979 දී 11 වැනි මොස්කවි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ගෞරවනීය සමිමානයක් ලබා ගන්නා ලදී බර්ලින් චිත‍්‍රපට උළෙලදී හොදම අධ්‍යක්ෂවරු තිදෙනෙක්ට හිමිවන සිල්වර් බෙයර් සමිමානය හිමිවේ එමෙන්ම ගෝල්ඩන් බෙයර් සමිමානය සදහා හත්වරක් නමි නිර්දේශ වී ඇත වැනිසියේ සිනමා උළෙලදී 1956 නිර්මාණය කරන ලද අපරාජිතයෝ සිනමා නිර්මාණය සදහා 1982 දී ස්වර්ණ සිංහයා සමිමානය දිනා ගනී එම වසරේදීම රායි කේන්ස් චිත‍්‍රපට උළෙලදී ගෞරව සමිමානයෙන් පිදුමි ලබයි.ඉන්දියානු රජයේ භාරත රත්න සමිමානයෙන් රායි පිදුමි ලබයි. 1992 දී ඔස්කාර් සමිමානයෙන් සත්‍යජිත්රායි පිදුමි ලබයි. 2007 වර්ෂයේදී මෝටර් ෆිල්මි සඟරාවේ රායි ශේෂ්ඨතම අධ්‍යක්ෂවරු 100 දෙනාගේ ලැයිසිතුවටද ඇතුළත් කර ඇත. 1992 අපේ‍්‍රල් 23 කල්කටාවේ බටහිර බෙංගාලි ප‍්‍රදේශයේදී මේ මහ සිනමා තරුව මෙලොවින් සමුගත්තේය.

- උපුටා ගැනීමකි -

කළු කැම්මේරිය (Solanum nigrum)Solanum nigrum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කළු කැම්මේරිය හෙවත් කළු කන්වේරිය ප්...
15/06/2020

කළු කැම්මේරිය (Solanum nigrum)

Solanum nigrum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කළු කැම්මේරිය හෙවත් කළු කන්වේරිය ප්රධාන කඳ කොටසින් බෙදී යන අතු ඉති වලින් වාර්ෂික ක්ෂූපයක් හෙවත් පැළෑටියකි. ශ්රී ලංකාව ඉන්දියාව මලයාව වැනි රට වල මේ ශාකය දකින්ට ඇත. සොලනේසී හෙවත් (Solanaceae) හෙවත් බටු කුලයට අයත් වන්නකි. මෙහි බහුලව වැවෙන පත්ර ඒකාන්තරය. සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය අතර කාලයේ මේ පැළෑටියේ මල් පිපෙන බවද ඉන් පසු පොකුරු වශයෙන් ඵල හටගන්නා බවද පෙනේ. පැසී ඉදෙන විට එය දම්පාටට හුරු කළු පැහැයෙන් යුක්තය. මෙහි ගෙඩි ඇඹුල් රස මුසු මද මිහිරි රසයෙකින් යුතුවේ.

ලංකාවේ ඇතුම් පලාතක තැම්බේරිය වශයෙන්ද මෙය හඳුන්වනු ලබන අතර මෙහි පත්ර රසවත් පලාවක් වශයෙන් ව්‍යාංජනයට ගනු ලැබේ. දේශීය වෙදකමේ බොහෝ තැන් වල කළු කැම්මේරිය භාවිත කරනු දැකිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ කාකමාචී, මත්ස්‍යාක්ෂී, බහු ඵලා ආදී නම් වලින් මෙය හැඳින්වෙන අතර රසයෙන් තිත්ත කටුක බව කියවේ. ගුණයෙන් අනුෂ්ණය. නැතහොත් තද ශීත හෝ තද උෂ්ණ නෙවේ. එමෙන්ම සිරුර සන්තර්පනය කරන රසායන ගුණයෙන් යුක්තය. ඇසට හිත බැවින් ඇසේ සෞඛ්‍යය ආරක්ෂා කරයි. ශුකුර ධාතුව වර්ධනය කරයි. වාතය පිත හා සෙම යන තුන් දොස නසයි. මල බද්ධය නසා මල බිඳීම ඇති කරයි. ශූල හෙවත් උල් දෙයකින් අනින්නා බඳු වේදනා, අර්ශස, ඉදිමුම් රෝග, සමේ රෝග, වමනය, හදවත් රෝග, උන, ප්රමේහ රෝග, හික්කා සහ කැසීම වලක්වන බව ආයුර්වේදය කියයි. සමේ රෝග ඉදිමුම ඌරුස්තම්භ හෙවත් කලවා තදවීමේ රෝගය හා ඇස් රෝග වලදීද මී විෂට ප්රතිකාර වශයෙන්ද කළු කැම්මේරිය යොදනු ලබේ. දේශීය චික්ත්සාවේදී අක්මාව දුර්වල වීමේ රෝගය නැසීමට කළු කැම්මේරිය විශේෂයෙන් භාවිතා කරනු ලැබේ. විවිධ රටවල ජලභීතිකාව, උන, ඇස් රෝග, පාචනය, අක්මා රෝග, කිටිභ හෙවත් කබර (පොතු කබර) වැනි සමේ රෝග, වකුගඩු රෝග, මුත්ර දාහය, ගොනෝරියාව (සුදු බින්දුම) වැනි රෝග වලදී භාවිත කරන බව පොත පතේ සඳහන් වේ.

අපේ රටේ දේශීය වෙදකමේදී හා ආයුර්වේද චික්ත්සාවේදී කළු කැම්මේරිය විශේෂයෙන් යොදන අවස්ථා හමුවේ. ඒ අනිද්‍රා හෙවත් නින්ද නොයාම පිළිබඳ රෝගාවස්ථාවේදීය. එහිදී මෙම ශාකය සහමුලින් ගෙන පිරිසිදු කර සිහින්ව කපා පවනේ වියලා තම්බා බීමෙන් හා එයම කලං 12 ක් (ග්රෑම් 60) ගෙන වතුර පත 8 දමා පතට සිඳ පෙරා බීමෙන් ඉතා සුවපත් නින්දක් ලබා ගත හැකිය. ඒ සඳහා මෙය අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන්ම මෙම ගසේ මුල ගලවා නිදිනොලබන්නා හිසට තබන කොට්ටයට ඇතුළු කිරීමෙන් නිදි එළඹෙන බවට දේශීය විශ්වාසයේ පවතී.

අපේ රටේ ජනතාව අතර අප්රකට ඖෂධයක් වන කළු කැම්මේරිය භාවිතයෙන් බොහෝ ගුණ ලබා ගත හැකිය. එහෙත් මෙය නිතර නිතර අභ්‍යන්තරව ගැනීම පිළිබඳව ප්රශ්න පැන නැගී ඇත. එලෙස වනුයේ මෙම ශාකයේ කිසියම් විෂ පදාර්ථයක් සුළු වශයෙන් අන්තර්ගත වී ඇතැයි නවීන විද්‍යාව මගින් සොයාගෙන ඇති බවිනි. එහෙත් රෝගාවස්ථාවකදී පමනක් මෙය භාවිතා කිරීමෙන් එම විෂ පදාර්ථ බහුල වශයෙන් සිරුරු ගත වීම වලක්වා ගත හැකිය. නිතර නිතර භාවිතා නොකළ යුතු යැයි කියනුයේ එබැවිනි.

මනරන්ජන රාජසේකර වත්තගේ
(වෛද්‍යාචාර්‍ය එම්. ආර්. වත්තගේ)
දුරකථන: +94 718285672

ගතට සිතට වදට දෙන සන්ධි රෝගය - Arthritisනූතන සමාජය වෙලා ගෙන තලා පෙළාලන රෝග අතුරින් සන්ධි රෝගය ප්රධාන තැනක් ගනී. එතරමටම එය...
15/06/2020

ගතට සිතට වදට දෙන සන්ධි රෝගය - Arthritis

නූතන සමාජය වෙලා ගෙන තලා පෙළාලන රෝග අතුරින් සන්ධි රෝගය ප්රධාන තැනක් ගනී. එතරමටම එය සමාජ දේහය ගිලාගෙන ඇති බව කිය යුතුය. වැඩිහිටි ස්ත්රී පුරුෂ දෙපක්‍ෂයම මීට ගොදුරු වන අතර බහුල වශයෙන් දැකිය හැක්කේ ස්ත්රී පක්‍ෂය කෙරෙහිය. මැදි වයසට එළඹෙනවාත් සමගම හෙවත් සාමාන්‍යයෙන් වයස අවුරුදු තිස්පහ පසු කරන විට බොහෝ කාන්තාවෝ මේ රෝගයට ගොදුරු වෙති.

සනධි රෝගය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ විවිධ තන්හි සියුම් අයුරින් විග්රහ කර ඇත. මෙම රෝගයට වාතය ප්රධාන වන අතර පිතේ සහ සෙම් දෝෂයේ අඩු වැඩි සම්බන්ධයද පවතී. කිපුණු වාතය සර්වාංගයම ආශ්රය කළ කල මාංශ පේශීන්ගේ කම්පනය ඇට කටු වල බිඳින්නාක් බඳු වේදනාව සන්ධි වල පුපුරන්නාක් බඳු පීඩාව හා සියොළඟ වේදනාව ඇතිවේ. කෝපයට පත්වූ වාතය ගුදයෙහි හෝ ඉන් ඉහළ පක්වාංශය ඇසුරු කළ විට මල මුත්රා දිගේ බැඳීම අනින්නාක් බඳු දැඩි වේදනාව බඩ පිපුම මුත්රාශ්මරී ඇතිවීම කෙණ්ඩ කළවා තුනටිය පාද හා පිට පෙදෙසේ පීඩාව හා සිරුරේ වියළීම ඇති කරන්නේය. කුපිත වාතය ලෙයට පිවිසි කල තැවීම හෙවත් උෂ්ණය සහිත වූ තියුණු වේදනාව වර්ණ විකෘතිය කෙට්ටු බව අරුචිය සිරුරෙහි වණ හා බිබිලි ඇතිවීම සිරුර දරදඬු වීම ඇතිවිය හැකිය. රක්තය හෙවත් ලෙය විසින් දූෂිත වාතය ආවරණය කර ගැනීම මේ තත්වයට හේතුවේ. මෙම තත්වය සන්ධි වාත රෝගීන් කෙරේ වැඩි වශයෙන් දක්නට ලැබේ.

වාත දෝෂය මිදුළු සහ ඇට ගතවූ කල ඇට පුරුක් වල කඩන්නාක් බිඳින්නාක් බඳු තද බල පීඩාද සන්ධි වල අනින්නාක් බඳු දැඩි වේදනාවද මාංශ බලය පිරිහීමද නිදි නැති බවද නිරන්තරව පවත්නා වේදනාවද ඇති වේ. වාත දෝෂය මජ්ජා හෙවත් මිදුළු ගත අවස්ථාවේදී පහ නොවන වේදනාව පවතින බව විශේෂයකි. ඇට හෙවත් අස්ථි ගත අවස්ථාවේදී වියළීම බිඳී යාම හා අනින්නාක් බඳු වේදනාව ඇති වීමද සැළැකිය යුතු ලක්‍ෂණයකි. මෙහි ඇතිවන වේදනාව තීව්රය. වාත දෝෂය මාංශ හා මේදස් ආශ්රය කළ කල ඇඟ පත බර බවද ආඝාතයකට ලක්වූ කලක මෙන් ඇතිවන තද බල පීඩාව හා වේදනාවද දැඩි වෙහෙසද දක්නට ලැබේ.

කුපිත වාත දෝෂය සන්ධි ගත වූ කල්හි සන්ධි ස්ථාන වල තද බව හෝ බුරුල් බව හෝ ඇති කරයි. එයින් සන්ධි ස්ථානයන්හි ක්රියා කාරිත්වය නැසී යයි‍. ඒ ස්ථානයන්හි ඉදිමුම සහ අනින්නාක් බඳු දැඩි වේදනා ඇති කරයි. සන්ධි දිග හැරීමේදී හැකිළීමේදී වේදනාව උපදවයි. මේ තත්වයන් සන්ධි වාත (Arthritis) ආමවාත (Rheumatic Arthritis or Rheumatold Arthritis) වාත රක්ත යන රෝග වලදී මෙන්ම විෂ හේතුවෙන් අභිඝාත ආදී වෙනත් බාහිර හේතුවකින් සන්ධි ස්ථානයන්හි ඉදිමුම හා වේදනාව හටගනී. එම නිසා සන්ධි ක්රියාකාරීත්වයට හානි පැමිණේ.

විසි වන සියවසේ භාරතයේ විසූ සුප්රකට ආයුර්වේද චිකිත්සකයෙකු හා ශික්‍ෂකයෙකු වූ ආචාර්ය ගණ නාථ් සෙන් මහතා ස්වකීය සිද්ධාන්ත නිදාාන ග්රන්තයෙහි ලා සන්ධි වාත රෝගය නව මුහුණුවරක් ඇතිව විග්රහ කර ඇත. එතුමා දක්වන පරිදි යම් වාතාබාධයක් සත්ධීන් ඇසුරු කළ කල වරින් වරද එසැණින්ද ඉදිමුම හා වේදනාව උපදවයි. සන්ධි වාතය යනු එයයි. එහි එන පරිදි සමස්ත සන්ධි වාතය රසවාත - රක්ත වාත - විෂ වාත - ජීර්ණ වාත - ජරා වාත යැයි පස් ආකාර වේ. මෙහි රසවාතය යනු ආම වාතයයි. එය මෙහිලා නොකියැවේ. රක්තවාතය මෙහි විශේෂයෙන් සඳහන් කල යුතුය. පාදයෙහි ඇඟිළි ආශ්රිත සන්ධි ඉන් උඩ කොටසෙහි වූ සන්ධි වළලූ කර සන්ධි දණහිස් සන්ධි ඉකිළි සන්ධි තුනටියේ සන්ධි කොඳු ඇට සන්ධි මැණික් කටු සන්ධි මෙහිලා පීඩාවට පත්විය හැකිය. කුඩා සන්ධි මෙහිලා විශේෂයෙන් ගැනේ. මෙහිදී වේදනාව දැවිල්ල රතු පැහැයෙන් යුත් ඉදිමුම හා හත් අට දිනෙකින් රෝග ලක්‍ෂණ සන්ධියෙන් සන්ධියට ගමන් කිරීමද දැකිය හැකිය. අද බහුලව දක්නට ලැබෙන සන්ධි රෝග වල මෙම ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් තිබෙනු පෙනේ. මෙහිම කියැවෙන විෂ වාත ජනිත සන්ධි වාත තත්වයන්ද දැකිය නොහැකි නොවේ. ඒ උපදංශ ආදී රෝග නිසා ඇතිවන විෂ හේතුවෙන් උපදනා සන්ධි වාත රෝග තත්වයන්ය. දන්ත පූය හෙවත් දත් ආශ්රිත දන්ත මූල විදුරු මස ආදිය පැසවීමට ලක්ව උපදනා විෂද ශරීර ගතව ලෙය ඇසුරු කළ කල ඒ හේතුවෙන් සන්ධි වාත රෝගය උපදී. ජීර්ණ වාත සන්ධි රෝගය ත‍්‍රිවිධය. ආමවාත රක්තවාත විෂ වාත ජනිත සන්ධි රෝග නිසි පරිදි සුව නොවී කල් ගත වීමෙන් මේ තත්වය උපදී. එය අත් පා හන්දි තුනටිය තුන් ඇට මූට්ටුව පිට ආදී තන්හි වේදනා උපදවන ක්රියාකාරීත්වය ඇන හිටුවන රෝගාවස්ථාවකි. මේ හැර තවත් බොහෝ ලොකු කුඩා සනධි ආශ්රය කරයි. මෙහිදී සන්ධි ඇදවීම් ක්රියා කළ නොහැකි ලෙස සවි විම අස්ථි වල විකෘති පහළ විය හැකිය. එය කල් ගත වීම නිසා ඇති වන්නකි. එහිදී ඇඟිලි වකුටු වීම සන්ධි ස්ථාන ගත අර්බුද ඇතිවීම දක්නට ලැබේ. සමස්තයක් වශයෙන් ගත් කල යට කී තත්වයන් නිසා ශරීරයේ අස්ථි විකෘතිය දිරාපත් වීම ලොකු කුඩා සන්ධි අස්ථි ගතව මහත්වීම ක්රියා කිීරීමට බැරි කම ආදී රෝග තත්ව ඉස්මතු වේ.

මෙහි රෝග නිදානය දැන ගැනීම මෙම රෝග වලින් වැළකී සිටීමට මහදුපකාරවත් වේ. දිරවීමට අපහසු බර ආහාර නිතර නිතර ගැනීම - මෙහිදී දිරවීමට කල්ගත වන සහ ප්රමානාත්මකව වැඩිපුර ගන්නා ආහාරය විශේෂයෙන් දැක්වේ. බොහෝ තෙල් සහිත ආහාර මිහිරි රසැති ආහාර මත්ස්‍ය මාංශ ආහාර වැඩිපුර ගැනීමෙන් ආහාර දිරවන ශරීරස්ථ ගින්න මද බවට පැමිණීමෙන්ද ව්‍යායාම රහිත වීමෙන්ද අජීර්ණ හෙවත් දිරවීම නිසි පරිදි සිදු නොවීමේ තත්වය උදාවේ. එයින් බොහෝ විට ආමවාත තත්වයක් උදාවිය හැකිය. ශීත වාතයට නරාවරණය වීම බොහෝ කොට සීත සුළං වැදීම මල මූත්ර හා අධෝ වාත වේග පහ නොකැර දරා සිටීම සන්ධි වාත රෝගයේ හේතූන් වේ. නිතර මත් පැන් සේවනය දාහය ඇති කරවන ආහාර වර්ග ගැනීම අඩුවෙන් ජල පානය කිරීම ආදී හේතු රක්ත ගත සන්ධි වාත රෝගය උපදවයි. උපදංශ පූයාමේහ ආදියෙන් ඇතිවන විෂ හා වැරදි ආහාර විහරණ දන්ත වේෂ්ට හෙවත් විදුරුමස පැසවීම නිසාද සෙම් ගෙඩි පැසවීම නිසාද උපදනා විෂ ශරීර ගත වීම ආදී හේතූන් නිසා විෂද සන්ධි වාත රෝග තත්වය පහළ වේ. (කටුක ඇඹුල් තියුණු රස බහුල ආහාර නිතර ගැනීම අධික ජල පානය හා අල්ප ජල පානය රක්ත ගත සන්ධි වාතයට හේතු වේ. මෙහි දැක්වෙන ජල පානය ගැන සැළකිලිමත් විය යුතුය. ආහාර ගන්නා කල ටික ටික වරින් වර ජලය පානය කළ යුතු බව කියවේ. අහර දිරා ගිය කල වැඩියෙන් වතුර පානය කළ යුතුය. එයින් පිපාසය විඩාව දාහය ආදිය නැසේ. ජල පානය නිසා මල මූත්ර ඩහදිය ආදී සිරුරෙන් බැහැර වන ද්‍රව කොටස් හොඳින් පහ වේ. එසේම ලේ වල ස්වභාවික තරලතාව රැකදෙයි. පිත නිසා උපන් ධාතු දාහයෙන් වන තැවීම හෙවත් සන්තාපය සමනය වේ. ශරීරයෙන් පිටවන විවිධ වූ මල කොටස් බැහැර කිරීමට උපකාර වේ. එබැවින් ජල පානය සෞඛ්‍ය සංරක්‍ෂණයෙහි ලා අවශ්‍යාංගයකි).

විශේෂයෙන් රළු සිසිල් සැහැල්ලූ මද වූ ආහාර නිතර භාවිත කිරීම - අති මෛථූනය - වැඩියෙන් නිදි වැරීම වැරදි හැසිරීම් රටාව (හිඳ සිටීම් නිදා ගැනීම් ඇවිදීම් ආදියේ වැරදි) කාලයට වයසට හා ජීවත් වන දේශගුණික කලාපයට නොගැලපෙන ආහාර වැඩි වැඩිය ගැනීම නොකා සිටීම දැඩිව මහන්සි වීම ධාතු ක්‍ෂය වීම අධික සිතිවිලි ඇතිවීම දැඩිව ශෝක කිරීමවෙනත් රෝග වලින් පෙළීම ආදියෙන් දැඩි අබල බවට පත් වීමද නොදැරිය යුතු ශාරීරික වේග දැරීමද අමු ආහාර රසය බඩ වැලෙහි ඇති වීමද අභිඝාත මගින් සිරුර පීඩාවට පත් වීමද සිරුරේ මර්මස්ථාන පීඩාවට පත්වීමද වේගයෙන් දුවන වාහන වලින් හා ඇතුන් අසුන් ආදී සතුන්ගේ පිටෙන් බිමට වැටීමද ආදිය නිසා ප්රකෝප වූ වායුව සිරුරේ වාතයට ගමන් කළ හැකි හිස් තැන් පුරවා සර්වාංගයෙහි හෝ එක් අංගයක හෝ විවිධ රෝග උපදවයි. මේ කියැවුනේ වාතය කෝප වන ආකාරයයි. සන්ධි රෝගයේදීද මෙලෙසම වාතය කිපෙයි.

පොත පතේ දැක්වෙන වාතය දූෂණය වීමේ කරුණු වලට පරිබාහිරව නූතන සමාජගත කරුණුද බොහෝය. එයින් කොටසක්වත් මෙහි සාකච්ඡුා කළ යුතුය. වාණිජමය අගයක් ගන්නා කලබලකාරී සමාජ වටපිටාවක අපේ පාරම්පරික ආහාර රටාව මුළුමනින්ම වෙනස් වී ඇත. ක්‍ෂණික ආහාරයෙන් බඩ පුරවා ගැනීමට සමාජය පුරුදු වී සිටියි. මොනසෝඩියම් ග්ලූටමේට් නැමැති රසායනික රස කාරක යෙදූ ආහාර බහුලව භාවිතය, පෙර පිසූ ආහාර බහුලව ගැනීම, පිසීමෙන් පසු අධි ශීතකරණ වල බහා වැඩි කලක් තිබූ ආහාර රත් කර කෑමට ගැනීම, උදේ පිසූ ආහාරය පවා ශීතකරණයේ තබා රාත්රියට රත් කර කෑම. (වරක් පිසූ ආහාරය නැවත ගින්නට යොමු කිරීමෙන් විිෂ පදර්ථ උපදනා බව ආයුර්වේද ශාස්ත‍්‍රය අවධාරණයෙන් කියා ඇත). විවිධ තාලයේ අච්චාරු ලූණු දෙහි වැනි ආහාර නිතර භාවිතය, එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග කීපයක් එකට ගැනීම (උත්සව වලදී මෙය බහුලව දැකිය හැක. උදාහරණ: බැදපු මස් මාලූ වර්ග, තෙලෙන් තැම්බූ ධන්‍ය හා එළවළු වර්ග, විවිධ අච්චාරු වර්ග, මුදවපු කිරි, අයිස් ක්රීම්, පුඩිං හා වටලප්පන් වැනි දේ දැක්විය හැකිය. නොයෙකුත් සෝස් වර්ග භාවිතයද එසේමය). රසායනික සංඝටක හා අසම්මත මධුර පදාර්ථ යොදා රස කල පැණි බීම වර්ග භාවිතය අබ සහ විනාකිරි යෙදූ ආහාර භාවිතය ආදිය එම වර්තමාන හේතු වශයෙන් දැක්විය හැකිය. එසේම අපේ ඇවතුම් පැවතුම් හා විහරණ රටාව මෙතෙක් මෙරට වැසියන් පිළිපැදි රටාවෙන් ඔබ්බට ගිය සංකීර්ණ රටාවක් වීම සන්ධි වාත රෝගයට ප්රධාන හේතුවක් වේ.

ළිඳෙන් වතුර ඇදගෙන එළිමහනේදී ස්නානය කළ රට වැසියා අද නාන කාමර තුල පයිප්ප වතුරෙන් නා ගනී.කිසි ව්‍යායාමයක් එහි නැත. හමන සුළඟට නිරාවරණය වූ ළිං ජලය හි නැත.එසේම නෑමට කාලයක්ද නැත. දිනකට කිහිප වරක් උක්කුටිකයෙන් හිඳ මල මූත්ර පහ කළ රට වැසියා අද උස් වැසිකිළි බඳුනක් මත වාඩිවී එ් කාරිය කරයි. එයින් ඔවුන්ගේ දණහිස් අන්තයටම නැවෙන්නේ නැත. කාලයක් එලෙස කරන කල දණහිස් නවන්නට බැරිව යයි. පන්සලකට යද්දී වුවද පුටුවක් රැගෙනයාමට සිදුවෙයි. ගෙදර මුළුතැන් ගෙයි බිම හිඳ පලා ලියූ ලිප ගිනි මෙලවූ කාන්තාව ඒ සියලූ වැඩ හිට ගෙන කරයි. පහසුව සඳහා යැ කියමින් කාල වේලා ඉතිරි කර ගන්ට සිතමින් කළ අලූත් දේවල් නිසා සිදුව ඇත්තේ සමාජ දේහයටම හන්දි වාත රෝගය වැළඳීමය. කොළ පලා එළවළු ධාන්‍ය මංශ ජනකයන් හා මේද ඇතුලත් වූ අපේ සම්ප්රදායික සමබර ආහාර වේල සෞඛ්‍යාරක්‍ෂක සම්මන්ත්රණ වලට පමනක් සීමාවී ඇත. අප ඝර්ම කලාපීය රටක වසමිනුත් කන්නේ යුරෝපයේ, ඇමරිකාවේ, නවසීලන්තයේ, අප්රිකාවේ, මොංගෝලියාවේ, චීනයේ, තායිලන්තයේ හෝ ජපානයේ ආහාරය. බොන්නේද එම රටවල බීමය. ඝර්ම කලාපික අපට අපේ බඩවැලට මේවා ගැලපෙන්නේ නැත. අප වැඩි වැඩියෙන් බෝ නොවන රෝග ගණයේ ලෙඩ වලට බඳුන් වන්නේ මෙකී කරුණු නිසාය.

අපේ මානසික සෞඛ්‍යය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. මේ සෞඛ්‍ය හානියට ඇතැම් මාධ්‍ය ද බලපා ඇති බව පෙනේ. සිත සන්සුන්ව සෟඛ්‍යාරක්‍ෂිතව තබා ගන්නට මාධ්‍ය ඉඩ දෙන්නේ නැත. මා මේ පිළිබඳව වැඩිපුර කියන්නට නොයන්නේ එය සදාචාර සම්පන්න නොවන බැවිනි. මානසික ආතතියෙන් පෙළීම භයානක රෝග ගණනාවක් උපදවන්නට හේතු වේ. මධුමේහය නොහොත් වැඩි දෙනා දන්නා පරිදි දියවැඩියාව (මෙම රෝග නාමය භාවිතා කිරීම වැරදිය) අම්ල පිත්තය හා ආමාශයික ප්රදාහය, අධි රක්ත චාපය, විවිධ හෘදයාබාධ, අන්තර් ගත ආහාර අජීර්ණ වැනි රෝග, විවිධාකාර සමේ රෝග ආදිය මෙහි ලා අවධාරණය කල යුතුය.

රස්සාවට නිදි වරන කොටස් අපේ රටේ බහුලය. වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව විවිධ ඖෂධ පාවිච්චි කරන ජනතාව ලොව කිසිම රටකටත් වඩා අප රටේ බහුල බව ඖෂධ වර්හ ඉස්මතු කරන වෙළඳ දැන්වීම් වලින් වටහා ගත හැකිය. කාර්ය බහුලත්වය නිසාම නිසි පරිදි නින්ද නොලබන අය දුකසේ නිදා ගන්නා අය සමාජයේ පෙරට වඩා දක්නට ලැබේ. වැඩි වැඩියෙන් මෙවුන්දම් සෙවීම සමාජ ව්‍යාධියක් බවට පත්ව ඇති සේය. විවිධ වූ ක්රීඩා වලට යොමු වීම සන්ධි රෝග කාරක විය හැකිය. ජිම්නාස්ටික් වැනි ක්රීඩා විවිධ සටන් ක්රම පුහුණු වීම ආදිය නිසා සන්ධි ආශි‍්‍රතව විවිධ ආපදා සිදු විය හැකි බැවිනි. අපේ රටේ මිනිසුන්ගේ මානසික ගුණ ධර්ම පිරිහී යාම ඔවුන් පහසුවෙන්ම රෝග ග්රස්ථ විය හැකි කාරණයකි. ශාරීරිකව හා මානසිකව යහ පැවැත්මෙන් තොරවූ ජීවිතය අල්පායුෂ්ක බවද ඉතාම පහසුවෙන් රෝග වලට ගොදුරු විය හැකි බවද බටහිර විද්‍යාඥයින් පවා අද වන විට පෙන්වා දී ඇත.

සන්ධි රෝග පිළිබඳ කීමෙදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කාන්තාවන්ගේ ආර්තවාභාවයයි. කාන්තා පක්‍ෂයට මෙම රෝගට වැඩියෙන් වැළඳෙන බව පෙරද කියැවිනි. ඔසප් චක්රය නවතින විට කාන්තා ශරීය තුල හෝමෝන හා එන්සයිම පිළිබඳ ඇතැම් වෙනස්කම් ඇතිවේ. එහි ප්රතිපලයක් ලෙස අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම කලවා බාහු උදර පෙදෙස් වල ඇතිවන තරබාරුව එම නිසා සිරුරේ බර වේගවත්ව වැඩිවීම එම නිසා විශේෂයෙන් දණහිසේ හා වළලූකර සන්ධියේ වේදනා දැවිලි ඉදිමුම් ඇතිවීම ආදී තත්වයන් දක්නා ලැබේ. එවිට දණහිස් නවා මිටි අසුනක හෝ හිඳ ගැනීමටත් නැගිටීමටත් වඩාත් අපහසු වේ. වැඩිපුර ගනන් නොගන්නා කාන්තා රෝගයක් වන ස්වේත ප්රදර හෙවත් සුද යාම රෝගයට නිසි ප්රතිකාරයක් නොකර කල් ගත වූ විටද දනහිස් ආදී සන්ධි ගත ඇතිවන වේදනාකාරී අවස්ථාවක්ද අපට හමුවේ. මෙහිදී සිරුරේ දිරාපත් වීම, ශක්තිය හීන වීම, දත් මුල් දිය වීම, විදුරු මස පැසවීම, යෝනි මාර්ගයෙන් බැහැර වන උකු සෙවල සහිත පදාර්ථ වල සුදු පැහැය කහ පැහැයට හැරීම, උරහිස් දනහිස් ආදී ලොකු සන්ධි සමග ඇඟිලි පුරුක් වැනි කුඩා සන්ධි වල පවා ඇතිවන වේදනාව දැකිය හැකිය. මෙහිදී වයස් පරතරයක් නැතිව තරුණ හා ඔසප් චක්රය නැවතී ගිය වැඩි වයසේදී ද දක්නා ලැබේ. අපේ කාන්තා පක්‍ෂය මේ පිළිබඳවද නිසි අවධානයක් යොමු කල යුතුය.

ශීතය වැඩියෙන් දැනෙන කාලයට සන්ධි වාත රෝගීන්ගේ වේදනාවද වැඩිය. ශීතල වාතයට නිරාවරණය වීම ඊට හේතු ලෙස දැක්විය හැකිය. වර්ෂා කාලයටද මේ රෝගයේ ප්රබලතාවක් දක්නට ලැබේ. වැසිබර සීත සුළඟ වැදීම වැහි වතුර පෑගීම වැනි දෙ ද, එවැනි කාලයක ගෙතුල විදුලි පංකාවෙන් එන සුළඟ වේදනා ඇති කරන සන්ධි වලට වැදීමද සන්ධි වාත රෝගීන්ගේ වේදනාව වැඩි කරයි. නිසි පරිදි නොපැසුනු අමු බවෙන් යුතු ආහාර රසය ලේ සමග එක්ව සිරුරෙහි හැසිරෙද්දී අමු බව නිසාද උපදනා සෙම එ් සමග එක් වීමෙන් ලේ ගමන් කරන මාර්ගයන්හි ගමන් ගනිමින් ආම විෂ තුනටිය පිට කොන්ද හා අනෙකුත් සියලූම සන්ධි පීඩාවට පත් කරයි. එයින් තද බල පීඩාවක් හා දැඩි රුදාවක් ඇතිවේ. සන්ධි බන්දන කලා ප‍්‍රදාහ ඇතිවේ. ස්නායූන්ගේ ප්රදාහයද ඇතිවන බැවින් වේදනා බහුල වේ. තවත් අවස්ථාවකදී දැවුනු පිත නිසා උපදින ආහාර රසය ලෙයට එකතුව ලෙය දූෂණය කර ඉතා දැඩි වාත කෝපයක් උපදවා පාද හා අතේ ඇඟිලි වල කුඩා සන්ධි මැණික් කටු සන්ධි වළලූකර සන්ධි ආක්රමණය කර ඒ තැන් වල දාහය රතු පැහැ වීම ඉදිමුම හා වේදනා ඇති කරයි. මේ අයුරින් එම දෝෂ තත්වය අනිකුත් සන්ධි කරාද ගමන් කරයි. මෙහිදී පිත අධික බැවින් දාහය රතු පාට වීම නොඉවසිය හැකි වේදනාව ඉදිමුම දැකිය හැකිය.

අස්ථි ගත වාත රක්ත රෝගයේදී ද මෙවැනි ලකුණු දැකීමට පුලූවන. එම ලක්‍ෂණ බොහෝ විට පාද මූලයෙන් ඇරඹී පිත අධිකව කිපුණු කල විදාහ හෙවත් තද දැවිල්ල සන්ධි රතු පැහැ ගැන්වීම, ඒ ආශ්රිතව ඉදිමීම දක්නට ලැබේ. මෙය කල්ගත වීමෙන් පා ඇඟිලි හැකිලීම වකුටු වීම විකෘතිතාවට පත්වීම ඒ ආශ්රිතව කුඩා බිබිලි හට ගැනීම, අර්බුද හෙවත් නව ප්රවර්ධන ඇතිවීම ආදිය දක්නට ලැබෙන අතර වෙව්ලීම හිරි වැටීම සීතලට අකමැති වීමද මෙහිදී ඇතිවිය හැකිය. පාද මූලයේද සමහර විටෙක අත් වලද මේ තත්වය ඇතිවන බව පෙනේ. තරුණස්ථි විකෘතියද කල්ගත වීමෙන් දකින්ට ලැබේ. සමෙහි පැන නැගිය හැකි වාත රක්ත රෝගය පසු කාලීනව ඇඟිලි වළලූ කර මැණික් කටුව දණ හිස් සන්ධි ආක්රමණය කරන බව පොත පතේ සඳහන් වේ. සන්ධියෙන් පිටතද සන්ධි අභ්‍යන්තරයේද සන්ධි බන්ධන අතරද පටක අතරද මේ තත්වය ඉපදිය හැකිය. මෙහිදී අර්බුද ඇතිවන බව කියවේ. ඒවා කඩල ඇට මෙන් තරුණස්ථි මත ඇති වී පිටතට නෙරා එන ඒවාය. අස්ථි සන්ධි බිඳීමෙන් සන්ධි පැනීමෙන් ආදී තත්වයන් මතද සන්ධි වාත රෝගය ඇතිවිය හැකිය. එය බොහෝ විට සන්ධි නිශ්චලව තබා ගැනීමෙන් හා ප්රතිකාරයෙන් සමනය වේ. එසේ නැතිනම් ශල්‍ය කර්ම වලට භාජනය කළ යුතු වන්නේය. මේ හැර ගැඹුරු වාත රක්ත රෝගය යැයි නම් කළ රෝගයක්ද ආයුර්වේදයෙහි සඳහන් වේ. වාත රක්තයේදී ශාරීරික වාතයේ ප්රමුඛ සම්බන්ධය ඇත. මෙහිදී ලෙයද දූෂණය වේ. මෙය වැඩි සැප ඇතියනට වැළඳෙතියි ද මතයකි. වාතයෙන් ආවරණය වී දූෂණය වන රක්තය නිසා බලවත්ව උපදනා රෝගයකි. මෙහිදී සිරුර ගත සෝඩියම් පදාර්ථය සෘජුවම සම්බන්ධ වේ. එය ස්ථානික වශයෙන් තරුණාස්ථි ස්නායු (Ligaments) කණ්ඩරා (Tendons) වකුගඩු කණ වැනි තැන් වල පිහිටි තරුණස්ථි ධමනියේ ඇතුලත බිත්ති ආදී තැන්වල එකතු වී විවිධ රෝග ලක්‍ෂණ උපදවයි. මෙවැනි තත්වයකදී රෝගියාට රැුයේදී පා ඇඟිලි ආදී තැනෙක අධික වේදනාවක් ඇතිවිය හැකිය. එය දැවෙන්නාක් බඳු තීව්ර වේදනාවකි. ඒ තැන් පසුව ඉදිමෙයි. සමහර විට ගඩුද පැන නැගිය හැක. යම් කලක එම වේදනා තත්වය වළලූකර හා මැණික් කටුව අතේ ඇඟිළි ආදී තැන් වලට යයි. රෝගියා පීඩාවට පත්ව ඩහදිය වගුරුවයි. ඉන් ටික වේලාවකින් පීඩාව අඩුවේ. පීඩාවට පත් ස්ථානය රතු පැහැයක් ගනියි. පාදයෙන් ආරම්භ වන රෝගය දණහිස් අත පිළිබඳ ලොකු කුඩා සන්ධි ආක්රමණය කරයි. මුලදී සිරුරේ එක් පැත්තකින් නැගී මුළු සිරුරේ ලොකු කුඩා සන්ධි වලට පැමිණ බලවත් පීඩා ඇති කරයි. මෙම රෝගය වේගවත්ය. එක් වරක් වේගවත් වී නැවත සන්සිඳේ. යලිත් සන්ධි වල පීඩා ඇති කරයි. මෙලෙස වරින් වර පීඩා ඇති කරමින්ද සන්සිඳු වමින්ද රෝගාක්රමණය කරන බැවින් සන්ධි වල ස්ථාන විකෘති තත්වයක්ද ඇතිවේ.

මෙහිදී වාතය පිත සෙම හා රක්තය යන ප්රධාන කොටස් 4ම කිපෙන බැවින් අනින්නාක් බඳු වේදනාව කැඞී බිඳී ගියා සේ දැනෙන පීඩාව ඉදිමුම කළු පැහැ බව පීඩාව වරින් වර අඩු වැඩි වීම ඇඟිළි ආදිය හැකිලීම ඇඟ පතේ තද බල රුදාව ඇඟ තද බව වෙව්ලීම හිරි වැටීම ආදී ලක්‍ෂණද පිත ප්රබල නම් දැවිල්ල ඩහදිය වැගිරීම මුලාව මත් බව පිපාසය රුදාව රතු පැහැ වීම හා අධික උෂ්ණත්වයද සෙම ප්රධාන වී නම් ඇඟ පත බර බව වතුරට තෙමුනා සේ දැනීම හිරි වැටීම සිනිඳු බව සීතල කැසිල්ල මන්ද රුදාවද ලෙය බලවත් වී නම් ස්ථානිකව ඉදිමීම තද බල වේදනාව අනින්නාක් බඳු වේදනාව ස්ථානය තඹ පැහැ වීම කැසීම පහසුවෙන් වේදනා සන්සිඳ වීම නොහැකි වීම යන ආදී රෝග ලක්‍ෂණ දක්නට ලැබේ. එහෙත් හැම අවස්ථාවකදීම වාගේ එකම දෝෂයක් පමණක් පැන නොනැගී දෝෂ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ බලවත් විය හැකිය. එවිට යට කී රෝග ලක්‍ෂණ මිශ්රව අඩු වැඩි වශයෙන් පවතී. ග‍්‍රන්ත ගත කරුණු අනුව වාත රක්ත නමින් ගන්නා සන්ධි රෝගය පළමුව කුඩා කුඩා සන්ධීන්හි හට ගෙන පසුව ලොකු සන්ධීන් කරා ක්රමිකව සෙමින් සෙමින් පැතිරී යයි. යම් වාත රක්තයක් සමේ ඉපිද පසුව සන්ධි කරා ගමන් කරන බවද පෙනේ. මෙම රෝග අවස්ථාව පටන් ගැන්මේදී ප්රයත්නයෙත් සුව කර ගත යුතු අතර පැරණි බවට පත් වීමෙන් සුව කල නොහැකි තත්වයට පත්විය හැකිය. මෙවැනි රෝග වලින් වැලකී සිටීම ඒවා සුව කර ගන්නවාට වඩා ලාභදායකයි.

මෙය කියවන රෝගීන්ගේ පහසුව තකා මට එක දෙයක් සඳහන් කල හැකිය. ඒ සඳහා යම් සහනයක් ලබා ගැනීමට සීමාසහිත මෙඩිහර්බ්ස් සමාගම යටතේ නිපදවන වන "ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් පානය" (Gluteala Ayurvedic Herbal Drink) නම් ඖෂධීය පානය දිනකට පැකට් 2 ක් හෝ 3 ක් උදේ සවස නටන උතුරන වතුර කෝප්පයකට දමා නිවෙන තුරු තබා බීම මැනැවැයි ප්රකාශ කළ හැකි අතර එයින් සහනයක් සහ ගුණයක් ලැබෙන බවත් රෝගියාගේ රෝගී තත්වය අනුව රෝගය නිට්ටාවටම සුව වීම සඳහා මනා ප්රතිකාර යෙදිය යුතු බවද සඳහන් කරමි.

මනරන්ජන රාජසේකර වත්තගේ
(වෛද්‍යාචාර්‍ය එම්. ආර්. වත්තගේ)
දුරකථන: +94 718285672

අම්ල පිත්ත රෝගය - Hyper Acidityවර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගය සමාජයේ වැඩි දෙනා අතර හැඳින්වෙන්නේ ගැස්ට්‍රයිටී...
15/06/2020

අම්ල පිත්ත රෝගය - Hyper Acidity

වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගය සමාජයේ වැඩි දෙනා අතර හැඳින්වෙන්නේ ගැස්ට්‍රයිටීස් (Gastritis - ආමාශයික ප්‍රදාහය) වශයෙනි. අම්ල පිත්තය පුළුල් රෝගයක් වන අතර ගැස්ට්‍රයිටීස් යනු එක් අංශයක් පමණක් වන බව කිව හැකිය. අමිල පිත්ත ස්වතන්ත්‍ර රෝගයකි. එහෙත් ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශයික ප්‍රදාහය ස්වතන්ත්‍ර රෝගයක් විය නොහැකිය. අම්ල පිත්ත රෝගය පිළිබඳ දැනගැනීම ආමාශයේ ඇති විය හැකි බොහෝ රෝග වලින් වැළකී සිටීමට හේතු කාරණා වේ.

ආයුර්වේද විඥානයට අනුව වැළඳීමට හේතු වන කාරණා වන්නේ එකිනෙකට විරුද්ධව ආහාර වර්ග (උදාහරණ උෟරු මස්, හරක් මස්, මුදවාපු කිරි වැනි දෑ) නිතර අනුභව කිරීම, නරක් වූ ආහාර (වර්තමානයේ රසකාර යෙදු පෙර පිසින ලදුව අධි ශීතකරණ වල බහා කල් තබාගන්නා ආහාර වර්ග) නිතර කෑමට ගැනීම සැර ඇඹුල් ආහාර වර්ග ගැනීම (උදාහරණ අන්නාසි වැනි) විදාහී හෙවත් දැවිල්ල ඇති කරන ආහාර වර්ග (උදාහරණ රතු මිරිස් බහුල ආහාර, විනාකිරි, අබ වැනි දෑ යොදා සකස් කළ ආහාර) පිත කුප්පන සුළු ආහාර වර්ග (මත් පැන්, කිරෙන් තැනූ මෝරු රා ආසව ආදිය). උඳු මෑ අවර වැනි අහාර බහුලව හා වැඩි වාර ගනනක් ගැනීම, ආදී කරුණු හේතු කොට ගෙන කිපුණු ශාරීරික පිත අම්ල බවට පත්ව අම්ල පිත්ත රෝගය උපදවයි. ආයුර්වේදයේ ග්රන්ථාගත කරුණු මේ වුවද වර්තමාන ජන සමාජයේ දෛනික ජීවන රටාව විමසා බැලූ විට මෙම රෝගයට හේතු විය හැකි තවත් බොහෝ හේතු අපට හමුවේ.

විවිධ ආකාරයේ ශීත කළ හෝ නොකළ රසකාරක යෙදු කලින් පිසින ලද ක්‍ෂණික ආහාර, කෘත්රීම පාන වර්ග, වෛද්‍ය උපදෙස් නොලැබ බටහිර හා ආයුර්වේදීය ඖෂධ භාවිතා කිරීම, රැකියාවේ ක්රියාකාරකම් වලදී විෂ සහිත රසායනික ද්‍රව්‍ය හෝ ද්‍රව ආශ‍්‍රිතව සිටීමට සිදුවීම, මත් කුඩු හෝ කංසා භාවිතය, ධූම පානයට ඇබ්බැහි වීම, රාත්රිය නිදි වරමින් වැඩ මුරයේ වැඩ කරන්නට සිදුවීම, රෙදි හා ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත විවිධ ක්රියාකාරකම්, Take away කෑම කඩ හරහා සමාජගත වන විවිධ නොගැලපෙන හා නරක් වූ ආහාර පාන ගැනීමට පෙළඹීම, නිසි වෙලාවට ආහාර නොගැනීම හා ගත් ආහාර දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම, විවිධ කරුණු හේතුවෙන් මානසික ආතතියට ලක්වීම ආදී මෙවැනි කරුණු රාශියක් වර්තමානයේදී අම්ල පිත්ත රෝග නිදානාංශයට ඇතුළත් කළ යුතු බැව් පෙනේ. දේශිය ආහාර රටාවෙන් හා චින්තන රටාවෙන් ඔබ්බට ගිය ආහාර රටාවකට ඇබ්බැහි වීම හා අවුල් සහගත සිතිවිලි ඇති කර ගැනීමද අම්ල පිත්තයට පමණක් නොව තවත් බෝ නොවන රෝග ගනණයකට හේතු වී ඇත.

ශරීරික පිත ප්‍රකෘත හා විකෘත යැයි ශාස්ත්රයේ සඳහන් වේ. ප්‍රකෘති පිත කටුකය. එය ආහාර පරිපාකය හොඳින් සිදු කර සිරුරට සැප ලබාදෙයි. විකෘත පිත අම්ලාධිකය. ඒ තත්වය අම්ල පිත්ත රෝගය ලෙස ගැනේ. එලෙස පිත විකෘත වීමට යට දැක්වූ හේතු සමුදාය ඉවහල් වේ. බටහිර මතය අනුව Hyper Acidity යයි ගැනුයේ එයයි. ආමාශය හා ඉන් පහළ කොටසේ වණ තුවාල හට ගැනීම, අධික දුම් පාණය, පිටි සහිත ආහාර වැඩි පුර ගැනීමෙන් රා ආදිය පැහෙන්නාක් මෙන් පැහීමට පත්වීම ආදිය ඊට හේතු වෙතියිද ඉන් උපදනා අම්ලය පිත සමඟ එක්වීමෙන් අම්ල පිත්තය Hyper Acidity හටගනිතියි ද ඔව්හු සළකති. මෙය ආයුර්වේද මතය නොවුනද ආයුර්වේදය එය ඉවත නොදමයි.

බටහිරින් කියැවෙන තවත් මතයක් වන්නේ අම්ල පිත්තය හෙවත් Heart Burn තත්වයැයි කියනුයේ ගලනාලයේ මුල ඇතිවෙන දැවිල්ලටය යන බවයි. එම තත්වය ඇති වන්නේ ආහාරගෙන ටික වේලාවක් ගතවූවාට පසුව බවද එහිදී දැවිල්ල සමඟම ඇඹුල් රසැති ඔක්කාරය ඇතිවන බවද බොහෝ විට මේ දැවිල්ල ගලනාලය කෙලවර හෝ ආමාශය කැලඹීමෙන් හෝ ඇති වන බවද ඊට බාහිරව අම්ල වර්ග කරණ කොට ගෙන ඇති විය හැකි බවද කියැවේ. එහෙත් Gastritis හෙවත් ආමාශික තීව්ර ප්රදාහය (දැවිල්ල) හටගන්නේ අධික මත් පැන් පානයෙන් හෝ ආහාර අජීරණයෙන් හෝ එම දෙකින්ම යැයි සඳහන්වේ. එහි දී බඬේ තද බල කැක්කුම ඔක්කාරය හෝ වමනය හා ඇතැම් විට උණ ගතියද ඇති විය හැකි බවත් කල් ගත වීමේ දී ආහාර අරුචිය ඔක්කාරය විටින් විට සෙම වමනය විය හැකි බවත් මෙබඳු තත්වයන් දිරවීමට අපහසු ආහාර නිතර ගැනීමෙන් ඇතිවිය හැකි බවත් ආමාශය පිළිබඳ පිළිකා වැනි වෙනත් රෝග වලදී ද මෙබඳු තත්වයන් ඇති විය හැකි ඉවත් බටහිර රෝග විඥානයේදී කියැවේ. මානසික උද්වේග මුත‍්‍ර විෂ වීම වැනි අවස්ථා වලදීද ආමාශය රෝග ග්රස්ත වේ යැයිද සඳහන් වේ.

මෙහි රෝග ලක්‍ෂණ ලෙස ආයුර්වේදීයව කිව හැක්කේ කෑ දේ නිසි පරිදි නොදිරවීම, වෙහෙසීමෙන් තොරව සිරුරට දැනෙන මහන්සිය - විඩාව, ඔක්කාරය, තිත්ත ඇඹුල් රස උගුරට ඒම, සිරුර බර බව, පපුවේ හා බෙල්ල (ගලනාලය) ඇතුලතින් එන දැවිල්ල, ආහාර අරුචිය යනාදී රෝග ලක්‍ෂණයන්ය. මේ හැර මේවාටම යාවන සුළු සුළු වෙනස්කම් ඇතිව උපදනා අපහසුතාද හමුවේ.

අම්ල පිත්තය දෙආකාර බව ආයුර්වේදය කියති. ඒ ඌර්ධ්වගත සහ අධෝගත වශයෙනි. අම්ල පිත්තයේ දෝෂය පිතයි. වාතය සහ සෙම පිත අනුව ක්රියා කරයි. ඌර්ධ්වගත අම්ල පිත්තය ආමාශය හා ඉන් ඉහළටම ගිය අවස්ථාවයි. බහුලව දැකිය හැක්කේ මෙයයි. මෙය සෙම සමඟ විශිෂ්ට ලෙස සම්බන්ධ වූ රෝග අවස්ථාවකි. අධෝ ගත අම්ල පිත්ත අන්ත්ර මාර්ගයේ ආමාශයෙන් පහළ කොටසට පැතිරුනු රෝගාවස්ථාවයි. මෙය නිතර දක්නට නොලැබෙයි.

සෙම සමග එක් වූ ඌර්ධ්ව ගත අම්ල පිත්තය කොළ කහ නිල් කළු පාටයි. සෙම සහිතව වමනය ඇති කරයි. පිටත මද රතු පාටද ඇතුළ තද රතු පාටද වෙයි. තද අම්ලයක් ඇති කරයි. ඒවා මස් සේදු වතුර මෙන් කළු රතු වර්ණ වෙයි. බොහෝ සෙම් සහිත බවක් පෙන්වයි. විවිධ වූ රස ඇති කරයි. කෑ අහර විකෘතව පැසුණු කල්හිද අහර ගත යුතු වේලාවේ නොගෙන සිටීමද නිසා තිත්ත වූත් ඇඹුල් වූත් වමනයක් ඇති කරයි. එලෙස ඔක්කාරයද වෙයි. උගුර පපුව හා බඬේ තද දැවිල්ල හා තද බල හිසේ කැක්කුම ඇති කරයි. එසේම සෙම සම්බන්ධය ඇත. අම්ල පිත්තය අත් පා වල පවා දැවිල්ල ඇඟේ ගිණියම තද අරුචිය උණ, කැසීම, පලූ දැමීම බොහෝ කොට බිබිලි ඇති වීම සහ වෙනත් නොකියූ රෝග ගහනයක් උපදවයි.

අධෝ ගත අම්ල පිත්තයෙහි සෙම සම්බන්ධයක් නැත. ඇත්තේ ශාරීරික පිතේම කිසියම් විශේෂත්වයක් පමණි. පිපාසය දැවිල්ල මූර්ච්ඡා වීම - කරකැවිල්ල - මුළාව මෙහිදී ඇතිවේ. විවිධ වර්ණ සහ දුර්ගන්ධයේ එක් වීමෙන් කිසි විටෙක උපදනා පිත්ත විකෘති තා නිසා ඔක්කාරය - ඇඟේ පලූ නැගීම - ගින්න මද කම - ලොමු දැහැ ගැන්ම - ඩහදිය වැඩිපුර ගැලීම - ඇඟ පත කහ පැහැ වීම ආදිය සිදු කරමින් අධෝගත වෙයි. මේ අවස්ථාව නිතර දක්නට නොලැබෙයි. අළුත් අම්ල පිත්ත රෝගය උත්සාහයෙන් සුව කර ගත යුතු බවද කල් ගත වූ අම්ල පිත්තය හිතවත් ඖෂධ ආහාර පාන විහරණ උපයෝගී කර ගනිමින් වැර වෑයමින් සුව කර ගත යුතු බවද ආයුර්වේදය අවධාරණයෙන් දක්වයි. ඒ වෙනත් රෝග ගහණයකට අම්ල පිත්ත රෝගය හේතු විය හැකි බැවිනි.

වාත දෝෂය පර්ධාන අම්ල පිත්තය වාත සහ සෙම පර්ධාන අම්ල පිත්තය හා සෙම පර්ධාන අම්ල පිත්තය යැයි මෙය ත‍්‍රිවිධාකාරය. වාත පර්ධාන අම්ල පිත්තයේදී වෙව්ලීම, නන් දෙඩවීම, මූර්ච්ඡාව, පුපුරු ගසන්නාක් බඳු වේදනාව, ඇඟ පත පණ නැති වීම, අවයවයන්හි බුරුල් බව, අනින්නාක් බඳු වේදනාව, දකින දේ අඳුරු පැහැයෙන් දැකීම, කරකැවිල්ල, මුලා බව, ලොමු දැහැ ගැන්ම ආදී රෝග ලක්‍ෂණ දකින්ට ලැබේ.

සෙම අධික අම්ල පිත්තයේදී බොහෝ කොට සෙම කාරා දැමීම, සෙම බේරීම, ඇඟ පතේ බර බව වැඩිපුර දැනීම, ක්රියා හානිය, සියල්ල අරුචි වීම හෙවත් නොරිස්සුම, සීතල දැනීම, ඇඟ පත අවයව බුරුල් වූවා සේ දැනීම, වමනය යාම, මුඛයේ සෙම ඇලී තිබීම, මන්දාග්නි තත්වය ඇතිවිම, ශරීර ශක්තිය හීන වීම, කැසිල්ල, නිදිමත ආදී ලක්‍ෂණ දැකිය හැකිය. වාත හා සෙම් ප‍්‍රධාන අම්ල පිත්තයේදී ඉහත කී රෝග ලක්‍ෂණ මිශ්රව පවතින්නේය.

පිතේ විශේෂතාව සහිත සෙම අධික අම්ල පිත්තයක් ගැන ආයුර්වේදයේ සඳහන් වේ. එහිදී තිත්ත ඇඹුල් හා කුළු (කටුක) රසයෙන් යුතු ඔක්කාරයක් ඇතිවේ. හෘදය පෙදෙස උදර පෙදෙස බෙල්ල ආදී තන්හි දැවිල්ල කරකැවිල්ල මුලාව අරුචිය වමනය අලස ගතිය හිසරදය සෙම් වැගිරීම මුඛයේ පැණි රස දැනීම ආදී ලක්‍ෂණ ඇතිවේ. අම්ල පිත්තයේ පර්ධාන දෝෂය පිතයි. මෙහි සාමාන්‍ය සහ විශේෂ තත්ව දක්නා ලැබේ. සෙම බහුල අම්ල පිත්තයේදී පිතේ ඇති එම විශේෂත්වය යහමින් දක්නට ලැබෙන බව සැළකිය යුතුය.

මෙකී සියලූම රෝග ලක්‍ෂණ එක රෝගියෙකු කෙරේ දකින්ට නොලැබෙතත් බොහෝ ලක්‍ෂණ දක්නට ලැබේ. බෝ නොවන රෝග ගණයේ බහුලව දක්නට ලැබෙන රෝගයක් වන මෙම රෝගය වැළඳීමෙන් පසු බොහෝ දුක් උසුලා සුව කර ගැනීමට වඩා රෝගය වැළඳීමෙන් වැළකී සිටීම ඉතා අගනේය. ඒ සඳහා අප ගත යුතු ක‍්‍රියා මාර්ග රාශියකි. පළමුකොට සිරුර හා මනස පවිත්රව තබා ගත යුතුය. ආහාර පරිවෘත්ති හෙවත් දිරවා එහි රසය සිරුරට උරා ගැනීමේ ක‍්‍රියාවලිය හෙඳින් සමබරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

විශේෂයෙන්ම ආහාර පැසවන ශාරීරික ගින්න නිසි පරිදි පවත්වා ගත යුතුය. මෙහදී සුදුසු කල්හී ආහාරයට ගත් සැහැල්ලූ හිතකර ආහාරය පවා වැඩිපුර වතුර බීම නිසා නිසියාකාර පැසවීමකට නොයන බව ශාස්ත්රයේ සඳහන් වේ. එවිට අග්නිය හෙවත් ගින්න මන්දාගිනි තත්වයට යයි. එවිට සිරුරේ අමු බව හා සෙම වර්ධනය වෙයි. එකල අවයවයන්හි ක්රියාකාරීත්වය දුබල වීම සිරුර බර බව ආදී ලකුණු පහළ වෙයි. ආහාර අඩුවෙන් හෝ වැඩියෙන් ගැනීමද නොකල්හි ආහාර ගැනීමද මළ මූත්ර කිවිසුම් අධෝ වාත ආදී ශාරීරික වේග පහ නොකර දරා ගෙන සිටීමද රාත‍්‍රී නිදි වැරීම හා දහවල් හි නිදි ගැනීම යනාදී කරුණු ආහාර පැසවෙන ගින්න මැඩ පැවැත්වීමට හේතුවේ. එකල අම්ල පිත්ත පමණක් නොව ආමාශය අන්ත්ර මාර්ග ගත වෙනත් බොහෝ රෝගයන් පවා පහසුවෙන් උපදී. මානසික දෝෂ වශයෙන් ගැණෙන ඊර්ෂයා කිරීම, අධික ලෙස බිය වීම, දැඩි සේ ක්‍රෝධ කිරීම, ආදී කරුණු ලබන්නා කෙරෙහිද අධික ලෝභයෙන් යුතු වූවන් කෙරෙහිද මානසිකව නිවට ගති ඇත්තවුන් කෙරෙහිද රෝග පීඩිතයින් කෙරෙහිද අනුන්ට දිවේශ කරන්නන් කෙරෙහිද ගත් ආහාරය නිසි පැසවීමකට නොයයි. එමෙන්ම නිසි පමණින් නිසි පරිදි වැළඳු හිතකර ආහාරය වුවද අධික සිතිවිලි ඇතිව දැඩි කණගාටුවට පත්ව දැඩි බියෙන් යුතුව අනුනට ක්‍රෝධ සිතින් යුතුව නම් නිසි පැසවීමට නොයයි. සුව පහසු නැතිව දුකසේ නිදා ගැනීමද නිදි වැරීමද ආහාරය නොදිරවීමට පර්ධානවම හේතුවේ. මේ බැව් ආයුර්වේදයේ මූලික ග්රන්ත දෙකක් වන සුශ්රැත සංහිතාවේ සහ චරක සංහිතාවේ කෙළින්ම දක්වා ඇත.

නින්ද ආහාර ජීරණයට බලපාන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. දහවල හි සිරුරේ බාහිර අවයව මෙන්ම අභ්‍යන්තර අවයවද ක‍්‍රියාකාරීව සිට රැයේදී විශ්රාමයට පත්වෙති. බඩවැල සහ අක්මාව ඊට වෙනස්ව රැයේදී හොඳින් ක්රියාත්මක වේ. රැයෙහි නිදි මැරීමෙන් ආහාර පැසවීමේ ක‍්‍රියාව අඩපණ වන්නේ එබැවිනි. එයින් වාත දෝෂය වර්ධනය වී ආහාර නොදිරවීමේ තත්වය පැන නැගේ. දහවල් හි නිදා ගැනීමෙන් සෙම වැඩිවී ගින්න නිවී යයි. එම නිසා ආහාර නිසි පරිදි නොපැසවා පල් වෙයි; විෂ වෙයි. ඊර්ෂයා භය ආදී මානසිකතත්වයන් නිසා මොළයේ සහ නාඩි ව්‍යූහයේ සිදුවන විකෘතිතා නිසා ආහාර පැසවන පාචක ද්‍රව්‍ය වැගිරීමේ ඇණහිටීමක් සිදුවේ. නිසි මානසික ව්‍යාපාරය ආහාර දිරැවීමේ ක්රියාවලිය නියමිත පරිදි මෙහෙයවයි. ආයුර්වේදය ඈත අතීතයේ දුටු මේ තත්වය අද නවීනයෝත් එකහෙළා පිළිගනිති.

මේ රෝගය හා ඇති විය හැකි තවත් රෝග බොහෝමයක් ආහාර ජීරණ පද්ධතියේ ක්රියා විකෘතිය නිසා උපදී. අසාත්මක භෝජණය හෙවත් නොගැලපෙන ආහාර ගැනීම අර්ධපක්ව භෝජණය හෙවත් බාගෙට පිසූ ආහාර ගැනීම පිලූනු වූ ආහාර ගැනීම හොඳින් නොපිසූ ආහාර ගැනීම සහ අද බහුලව දක්නට ලැබෙන වරක් පිස ශීතකරණ වල බහා තබා පසුව ගෙන නැවත රත්කර කර ආහාරයට ගැනීම අතිශයින්ම අන්ත්ර මාර්ගික රෝග උපදවයි. එසේ නැවත රත්කර ගන්නා ආහාර විෂ බව ආයුර්වේදය සාරංගධර සංහිතාවේ ලා දක්වයි. මෙවැනි තත්වයන්ගෙන් තොර වූ හිත ආහාරය ලෙඩ හදන්නෙ නැත. බහුල වශයෙන් පොල්තෙල් ද ඊට අඩුවෙන් මීතෙල් එලඟිතෙල් දුන්තෙල් ද ආහාරයට ගත් අපේ රටේ වැසියන් අද තෙල් යැයි කියා කන්නේ මොනවාදැයි ඔවුන්ම නොදනී. විවිධ වූ ඇට වර්ග මද වර්ග සිඳි තෙල් වෙළඳ පලේ බහුලය.

ඒ තෙල් සහිත ආහාර ගැනීම නොකළ යුතුය. විවිධ දේශගුණික කලාප වලට අයත් නොරටුන්ගේ ආහාර රටාවට අප පුරුදු විය යුතු නැත. පාන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලෙඩ හැදෙන බවට අද සමාජය තරමකට හෝ දැනුවත් වී ඇත. අම්ල පිත්තයට එයද පර්ධාන හේතුවකි. මිරිස් තෙල් අධික ආහාර මෙන්ම ඒවා රසවත් කිරීමට යොදා ගනු ලබන මොනසෝඩියම් ග්ලූමේට් නමැති කෘත්රීම රසාකාරකය අපේ ආහාර ජීරණ පද්ධතියට කරන අපරාධය පිළිබඳව හොඳින් අවබෝධ කර ගත යුතුය. එමෙන්ම කෘත්රීමව සෑදු පැණි බීම වර්ග ශරීරයේ ක්‍ෂණික ශක්තිය ඇති කරවතියි වෙළඳ ප‍්‍රචාරණයට පත් පානීය වර්ග ශක්ති ජනක බව කියන කිරිපිටි වර්ග භාවිතය පිළිබඳව අපේ රට වැසියා මීට වඩා අවබෝධයෙන් ක‍්‍රියා කළ යුතුය.

එමෙන්ම මානසික යහ පැවැත්ම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. සිතේ දුර්ගුණ වැඞීමෙන් ගතේ රෝග හට ගන්නා බව බටහිරින්ද අවධාරණය කරන කරුණකි. අදහන ඕනෑම ආගමකට ධර්මයක සමාජයේ අනුනට කරදරයක් නොවන පරිද්දෙන් ජීවත්වන ක්රමය දැක්වෙයි. එලෙස ජීවත් වන්නාගේ මානසික දුර්ගුණ විකෘතිතා ඇති නොවේ. බෞද්ධයින් නම් සිල් පද පහ හොඳින් රැක ගැනීමෙන් නිරෝගී පුද්ගලයෙකු ලෙස ජීවත් වීම හැකිවේ.

මත් ද්‍රව්‍ය හා මත්පැන් වලින් වැළකී සිටීම සෞඛ්‍යය රැකගැනීමට වඩාත් ඉවහල් වේ. මත් පැනින් වළකින්නටම බැරි නම් එය ප්රමාණාත්මකව ක්රමයෙන් අඩු කළ හැකිය. එළෙස ක්රමානුකූල පැවැත්මෙන් මත්පැනින් වැලකී සිටීමටද පුරුදු වන්නට පුළුවන. එවිට ලෙඩ දුක් නැති නිරෝගී ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව පෑදේ. මධුමේහය හෘදයාබාධ අධි රුධිර පීඩනය අක්මාගත ආබාධ ආමවාත සන්ධිවාත පීනස වැනි රෝග ගහණයකින්ද වැළකීමට යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය සංරක්‍ෂණය හේතු වේ.

මනරන්ජන රාජසේකර වත්තගේ
(වෛද්‍යාචාර්‍ය එම්. ආර්. වත්තගේ)
දුරකථන: +94 718285672

Address

125, Moronthuduwa Road
Maha Wadduwa East
12560

Alerts

Be the first to know and let us send you an email when Manaranjana Rajasekera Wattage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Manaranjana Rajasekera Wattage:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category