07/04/2026
අභිරහස් සබ්මැරීනය 39 කොටස
========================
පසුගිය කොටසින්
=============
මදින් මද පිරිසිදු වන මතුපිට පියනේ ස්වස්තික සළකුණ පැහැදිලිව පෙනෙන්නට විය. පියන වටේ වූ ලෝහ තහඩුව දරුණු ලෙස මළ බැදී තිබුණි. එය විවෘත කිරීමට අපොහොසත් වූ බ්‍රිගේඩියර්වරයා බෑගය කාර්නි අසලට කළේය. පිහිතලයක් යොදා තැනින් තැනින් පියන බුරුල් කරගත් කාර්නි එය සම්පූර්ණයෙන් විවෘත කර බ්‍රිගේඩියර්වරයා අතට දුනි.
විවෘත කර ගත් බෑගය ඉදිරිපිට දණ නමා වාඩි වූ බ්‍රිගේඩියර්වරයා පියවා තිබූ ලියුම් කවර වලින් පළමුවැන්න ගෙන එය විවෘත කළේය. එතුල වූ ලිපියක් ගත් ඔහු එය දිග හැර බැලීය.
"මගේ ජර්මන් දැනුම එතරම් ප්‍රමාණවත් නැහැ, ඔබ ප්‍රවීණයෙක්නෙ" කියමින්
බ්‍රිගේඩියර්වරයා එය ඩිලාන්ට දුනි. ඩිලාන් එය හඩ නගා කිවන්නට විය.
අද එතැන් සිට
============
"රාජ්‍ය ප්‍රධානියාද, පක්ෂ සභාපතිද වන මා විසින් - අපේ සංවිධානයට ඉතාම වැදගත් වන දූත මෙහෙවරක් සදහ මාගේ පුද්ගලික අණ මත මාටින් බෝමන් ක්‍රියා කරයි. ඔහු වග කිව යුත්තේ මා හට පමණක් වන අතර, සිවිල් මෙන්ම නිල ලත් සෑම කෙනෙකුම අවශ්‍ය සෑම විටකම ඔහුට සහාය විය යුතුය. අත්සන ඇඩොල්ෆ් හිට්ලර්"
"ඇත්තට, ඔය ලියවිල්ල ඩොලර් දාස් ගණනකට වෙන්දේසියෙ දාන්න පුළුවන්" බ්‍රිගේඩියර්වරයා එය පසෙකින් තබන අතර තවත් කවරයක් ඩිලාන් අතට දුන්නේය. එය විවෘත කළ ඩිලාන් එතුල වූ ලිපි ගොනුවක් අතට ගත්තේය.
"මේක විශේෂ නාම ලේඛනය විය යුතුයි. අකාරාදි පිළිවෙලටයි නම් ඇතුලත් කරල තියෙන්නෙ.''
"බලන්න පාමර්ගෙ නම තියෙනවාද කියල"
ඩිලාන් පිටු කීපයක් පෙරලා එක් තැනක අැඟිල්ල තබා ගත්තේය.
"ඔව්, මේජර් ජෝෂප් පාමර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හෙදර්ලි කෝට්, හැම්ප්ෂයර්, ඔස්වර්ල්ඩ් මෝස්ලිගෙ සමීප සගයෙක්. නාසි ජාතික සමාජවාදයට කැපවෙලා වැඩකරනව"
"ඇත්තට?" හිස වනමින් ෆර්ගියුසන් පැවසීය.
එහි වූ අනෙක් පිටුවල නම් දෙස බැලූ ඩිලාන් "දෙවියනේ, හිතන්න බැරි තරම් වැදගත් එංගලන්ත පවුල් වල නම් මේකෙ තියෙනව"
ඩිලාන්ගේ අතින් ලිපිගොනුව ගත් ෆර්ගියුසන් පිටු කීපයක් පරික්ෂා කර බැලීය. ඔහුගේ මුහුණට දැඩි පෙනුමක් ආරූඪ විය. එය පසෙකින් තැබූ ඔහු තවත් කවරයක් ඩිලාන් අත තැබීය. ඩිලාන් එය විවෘත කල විට එතුළ වූයේ ලෝකයේ නොයෙක් රටවල බැංකු හා සම්බන්ධ ලිපි වූ අතර එහි වැදගත් යමක් නැති බව පවසමින් ඔහු එය ආපසු තැබීය.
"මෙන්න මේක. හිතන්න පුළුවන්ද මේක මොකක්ද කියල? මේක වෙන්න ඕනෙ වින්ඩ්සර් කෙටුම්පත" තවත් දිග ලියුම් කවරයක් ගත් බ්‍රිගේඩියර්වරයා එය ඩිලාන් අතට දුන්නේය. වහාම එය විවෘත කල ඔහු සුවිශේෂ තත්වයේ කඩදාසියක් පිටතට ගත්තේය. ඔහු එය කියවන්නට විය.
"1940 ජූලි වලදී පෘතුගාලයේ දී ලියලා තියෙන්නේ. අත්සන වින්ඩ්සර් ආදිපාදවරයාගේ වගේ තමයි."
"ඉතිං මොනවද ඕකෙ තියෙන්නෙ?" කාර්නි විමසීය.
"බොහොම සරල දෙයක්. ආදිපාදවරයා කියනවා දෙපාර්ශවයේම බොහොම දෙනෙක් දැනටමත් මැරිලා. යුද්ධය තේරුමක් නැති දෙයක්. හැකි ඉක්මනින් එය අවසාන කළ යුතුයි කියල. ඒ වගේම ඔහු එකඟ වෙනවා ජර්මන් ආක්‍රමණය සාර්ථක වූ පසු බ්‍රිතාන්‍ය සිහසුන භාරගන්න."
"දෙවියනේ! ඕක හොර අත්සනක් නොවෙයි නම් මේ ලියවිල්ල කාල බෝම්බයක්" කාර්නි පැවසීය.
"සත්තකින්ම හොර අත්සනක් නෙවෙයි නම්. නමුත් නාසිකාරයෝ හොර අත්සන් සම්බන්ධ ප්‍රවීණයෝ" මුහුණෙහි වූ ශෝකාකූල පෙනුමෙන් යුතු
බ්‍රිගේඩියර්වරයා සියලු ලිපි බෑගයේ තැන්පත් කර එය වහා දැමීය.
"දැන් මොකක්ද ඉදිරි පියවර?" කාර්නි විමසීය.
"අපි දැන් ආපහු සෙන්ට් ජෝන් වලට යමු. සෙන්ට් තෝමස් වල ලියර් ජෙට් එකක් තියෙනව මගේ අණ ලැබෙන තුරු" අමාරුවෙන් මුවගට සිනාවක් නගාගත් බ්‍රිගේඩියර්වරයා "මේක දැකගන්න ඉතාමත් නොඉවසිල්ලෙන් ඉන්නෙ අපේ අගමැතිවරයායි" කියමින් බෑගය සුරක්ෂිතව තැන්පත් කළේය.
මේ වන විට මාරියා බ්ලැන්කෝ යාත්‍රාව පැරඩයිස් බීච් හි නැංගුරම් ලා තිබිණි. යාත්‍රාව අසල බෝට්ටුවේ සිටි අල්ගාරෝ හා ගුවේරා උපදෙස් බලාපොරොත්තුව සිටියහ. සාන්තියාගෝ කපිතාන් සේරා වෙතට හැරුණි.
"මොකක්ද පවතින තත්වය කපිතාන්?"
"ඔවුන්ට සෑහෙන දුරක් එන්න තියෙනවා සිංඥෝරේ. සමහර විට තව පැය දෙකක් විතර යයි." සේරා දැන්වීය.
"අපි අද රෑම ප්‍රහාරයක් එල්ල කරනවද සිංඥෝරෙ" අල්ගාරෝ විමසීය.
"නැහැ. ෆර්ගියුසන් හැකි ඉක්මනින් ලන්ඩනයට යාවි. අපිට ලැබුණු තොරතුරු වලට අනුව ලියර් ජෙට් එකක් තියෙනවා සෙන්ට් තෝමස් වල. ඒ නිසා හැකි ඉක්මනින් පියවරක් ගන්න ඕනෑ"
"හොදයි ඔබේ උපදෙස් මොනවාද?" අල්ගාරෝ නැවතත් ඇසීය.
"වැඩි කලබල නැති මෙහෙයුමක්. අල්ගාරෝ සේරාත් එක්ක සංචාරක වෙස් අරගෙන ෆර්ගියුසන්ගේ කුටිය අසල ගැවසෙනවා. සේරා සෙලියුලර් ෆෝන් දෙකක් දෙයි. අල්ගාරෝ පුළුවන් තරම් කුටියට කිට්ටුවෙන් ඉන්න ඕනෑ."
"එතකොට මම සිංඥෝරෙ?" ගුවේරා ඇසීය.
"උඹ ජැටිය ලග. සී-රයිඩර් ආපු ගමන් අල්ගාරෝට දැනුම් දෙන්න ඕනෑ. ඩිලාන් හා ෆර්ගියුසන් කුටිවලට ඇවිදින් ගමනට සූදානම් වෙයි. එතකොට පැනල බෑග් එක අරගෙන කුඩා බෝට්ටුවෙන් ආපසු එන්න ඕනේ. ඇළුමිනියම් තහඩු වලින් හදපු රිදී පාට බෑග් එකක්."
අසල වූ ලාච්චුවක් ඇර එහි වූ විවිධ ගිනි අවි වලින් බ්ර්වුනින් පිස්තෝලයක් ගත් සාන්තියාගෝ එය අල්ගාරෝට විසි කළේය.
"මේ වැඩේ මගේ ජීවිතයට ඉතාම වැදගත්. මම කවදාවත් පරාජයට කැමති නැහැ." ඔහු බැරෑරුම් හඩින් කීය.
"ඒ ගැන සැක හිතන්න එපා සිංඥෝරෙ. බෑග් එක හම්බවෙලා නම්, ඒක ඔබ අතට ලැබෙයි." අල්ගාරෝ පොරොන්දු විය.
"මට ඩිලාන් හොදටම විශ්වාසයි. අනිවාර්යෙන්ම මිනිහා බෑග් එක හොයාගෙන ඇති." සාන්තියාගෝ පැවසීය.
මධ්‍යහන වන විට ජැටිය කරා ලගාවූ සී - රයිඩර් යාත්‍රාව නැංගුරම් ලා එහි පිරිස ගොඩබිමට එන විට තැන්තැන් වල නොයෙක් ඇදුමෙන් සැරසුනු සංචාරකයෝ අව්ව තපිමින් සිටියහ. ගුවේරාද අසල පුටුවක වාඩිවී සිටියේය. කළු උපැස් යුවලකින් හා කොඩ කලිසමකින් පමණක් සැරසී සිටි ඔහු පිරිස ලගා වන විටම අතවූ හිස් වැසුම දමා ගනිමින් ජංගම දුරකතනයෙන් අල්ගාරෝව ඇමතිය.
මතු සම්බන්ධයි.
#අබ්හිරහස්සබ්මැරීනය #සිංහලකතා #නවකතා **er