MOH Rasnayakapura

MOH Rasnayakapura Healthier community through preventive& promotive Health care system which ensure equity& efficiency

03/12/2025
16/06/2023

මරු - කටින් ගැලවූ මිතුරා ( සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
—--------------------------------------------------------

"ඇත්තටම මේ අමාරුව මට දැනෙන්න අරගෙන මාස දෙක හමාරක් විතර වෙනවා. මුලින්ම යටි තොලේ වම් පැත්තේ උෂ්ණ බිබිලක් වගේ දෙයක් මතු වුණා. ඒක සනීප වෙන්න කල් ගත වුණ නිසා ඩිස්පෙන්සරියකින් වතාවක් බෙහෙතුත් අරගත්තා. ඊට පස්සෙ කාලයක් ගොඩ වෙදකම් කළා. ඒ කිසිම දේකින් තුවාලෙ නිට්ටාවට සනීප වුණේ නෑ. ඒ වෙලාවෙ ඔෆිස් එකේ යාළුවෙක් තමා කිව්වෙ, අපි මේක ඩෙන්ටල් එකට පෙන්නමු කියලා. අපි ගමේ ඉස්පිරිතාලේ ඩෙන්ටල් එකට ගියා. එතනින් ලොකු ඉස්පිරිතාලේ විශේෂඥ දන්ත සායනයට යැව්වා. එතනදි තුවාලෙන් කොටසක් ටෙස්ට් කරන්න අරගත්තා. රිපෝට් එක ගන්න මට ආපහු එන්න කියල පණිවිඩයක් එව්වා. රිපෝට් එකේ හැටියට මේක මුඛ පිළිකාවක්. ඇඟේ අනිත් තැන් වලටත් පැතිරෙන්න ඉඩ තියෙන නිසා ඉක්මනින් ඔපරේෂන් කරන්න ඕනෙ බව මම දැනගත්තෙ ඒ වෙලාවෙ"

ඊලඟ දවසේ ශල්‍යකර්ම ලැයිස්තුවේ මුලටම ඇතුළත් වෙලා ඉන්න 44 වියැති සුරේෂ්, මහ රෝහලේ වාට්ටුවක දි අපට හමුවුණ වෙලාවෙ තමන්ගෙ කතාව විස්තර කරන්න පටන්ගත්තේ ඒ විදිහට.

“මම පුද්ගලික ආයතනයක අයකිරීමේ නිලධාරී විදියට වැඩ කරන කෙනෙක්. අරක්කු සිගරට් නිසා මේ වගේ දේ වෙන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒ හින්දා මම සිගරට් බිව්වේම නෑ. අරක්කු බීමත් හරිම කලාතුරකින්. ඒ වුණාට මම අවුරුදු විස්සෙ විතර ඉඳන් බාබුල් කියන විට කනවා. ඒවා ගෙදර ගෙනැත් තියාගෙන හැමදාම හවසට ටික ටික කෑවා. ටික කාලයක් මෙහෙම යනකොට පොඩි සැර දෙයක් කෑවත් කට දන්න පටන්ගත්තා. කොටින්ම මට කෑම කන්න වුණේ සුදට හදලා විතරයි. නෝනා පෙරැත්ත කළත් මේ පුරුද්ද මම මුලදී නැවැත්තුවේ ම නැහැ. නෝනගෙ ඉල්ලීම පිට පස්සේ නතර කරල දැම්මත්, දැන් පේන විදිහට ඒකේ බලපෑම දිගටම තිබිල තියෙනවා. බාබුල්වල තියෙන පුවක් දුම්කොළවලින් මෙච්චර විනාශයක් වෙන්න පුළුවන් කියලා මම හිතුවෙ නෑ”.

එහෙම කියලා සුරේෂ් මොහොතක් කල්පනාවට වැටුනා. ලෙඩ්ඩු බලන වෙලාව පටන්ගෙන, නැවතිලා ඉන්න අයගේ නෑදෑ හිතවත්තු එක්කෙනා දෙන්නා වාට්ටුවට එන්න පටන් ගනිද්දි, සුරේෂ් ආයෙම කතාව පටන්ගත්තා.

"මට ඉස්කෝලෙ යන වයසෙ දුවල දෙන්නෙක් ඉන්නවා. එයාල බය වෙයි කියල තාම ඇත්ත කතාව කිව්වෙ නෑ. ඉස්පිරිතාලෙන්, නෝනට ඇත්ත විස්තරේ කියන්න කියනකොටත් එයා රිපෝට් එක අඳුනන ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා මේක පිළිකාවක් බව දැනගෙන තිබුණා. යාළුවගෙ පෙරැත්තෙට එදා ඉක්මණින් මෙතනට නාවානම් මොනවයින් මොනවා වෙයි ද කියන්න බෑ. පවුලෙ රස්සාවක් කරන්නෙත් මම විතරයි". දිග සුසුමක් හෙළන ගමන් ඔහු එහෙම කිව්වා.
මගේ වාසනාවට මුඛ පිළිකාවේ මුල් අවස්ථාවේදීම ආපු නිසා ඔපරේෂන් එකෙන් පස්සේ එන්න පුළුවන් ප්‍රශ්න අඩුයි කියලා දොස්තර මහත්තය කිව්වා.

හෙට ශල්‍යකර්මය 100% ක්ම සාර්ථක වෙලා, මුඛ පිළිකාව නිට්ටාවටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මරු - කටින් යාන්තමින් ගැලවුනු ඔහුගේ කතාව ඔබට කියන්න අවසරයත් අරගෙනම අපි සුරේෂ්ට සමු දුන්නා.
…………….
මුඛ පිළිකාවට ප්‍රධාන හේතූන් ලෙස හඳුනාගෙන තිබෙන්නේ දුම්කොළ හෝ පුවක් සමඟ බුලත් විට සැපීම, දුම් බීම සහ මත්වතුර භාවිතයයි. සාම්ප්‍රදායික බුලත්විටට අමතරව විවිධ ආකාරයෙන් සැකසූ බාබුල් වැනි පුවක් සහ දුම්කොළ නිෂ්පාදනත් පිළිකාකාරක ලෙස ක්‍රියා කරනවා.

මුඛ පිළිකා යනු ශ්‍රී ලංකාවේ පිරිමි අය අතර සුලබම පිළිකා වර්ගයයි. සෑම දිනකම ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු මුඛ පිළිකාව නිසා මියයනවා. සෑම දිනකම හය දෙනෙකු මුඛ පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර වඩාත් කනගාටුවට කරුණ වන්නේ ඒ අතරින් 70% ක් පමණ දෙනා රෝහලට පැමිණෙන විටත් තුන්වන හෝ හතරවන මට්ටමට වර්ධනය වූ සුව කිරීමට අපහසු අවසාන අවස්ථාවල පසුවීමයි. අවසාන අවස්ථාවල දී ප්‍රතිකාර කලත් මුහුණේ විකෘතිතා ඇති වන අතර, ආහාර ගැනීමේදී සහ කතා කිරීමේදී ඇති වන අපහසුතා ජීවිත කාලය පුරාවටම අත් විදීමට සිදුවෙනවා. ඒ වගේම තම රැකියාව පවා කර ගෙන යාමේ දුෂ්කරතා මතු වෙනවා.

මෙලෙස ඔබේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත අඳුරට ඇද දමන ඉහත කී භයානක පුරුදු වලින් නොපමාව අත්මිදීම මඟින් මුඛ පිළිකාවට ඇති අවදානම අඩු කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අවදානම් හැසිරීම්වල යෙදෙන ඔබේ ආදරණියයන් එක්ක මේ පණිවිඩය බෙදාගෙන ඒ අයවත් ගලවාගන්න ඔබ කටයුතු කරාවි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබට යම් මුඛ සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම්, කල් නොයවා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමත් ඉතා වැදගත්. ඔබ සැමට නිරෝගී දිවියක්!

HPB

16/06/2023

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කරන පුද්ගලයින් අතර මරණ කීපයක් ද වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව නියමාකාරව දැනුවත්වී අන් අයවත් මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් සමාජ වගකීමක් වනවා.

දැන් අපි බලමු මෙම NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර්ග මොනවා ද ? ඒවා ගත්තම මොකද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රා වලින් ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන.

ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා වනවා. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේ දී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත් මෙම නිසා ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් ඔබට වන්නට ඉඩ තිබෙනවා. මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිතා කිරීමයි. උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කල යුතුයි. ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර්තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු වන්නේ නැහැ.

මේ වෙනවිට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නවා. අපේ ජනගහනයේ වැඩිදෙනා ප්‍රතිශක්තියක් නොදක්වන , ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් ( DEN 3) අප අතර සංසරණය වීමට පටන් ගෙන තිබීම, වහා ක්‍රියාත්මක නොවුවහොත් ඉදිරියේදී තත්වය තවත් අවදානම් විය හැකි බවට බරපතළ ඉඟියක්.

මේ නිසා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ හැකිතාක් පාලනය කරගනිමින් ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා වීම ඉතාම වැදගත්. ඔබගේ නිවස අභ්‍යන්තරය වගේම නිවස අවට, වැහි පිහිලි ආශ්‍රිතව සහ ඔබේ දෑසට හසු නොවන තැන්වල ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට හැකි ස්ථාන නිර්මාණය වී තිබෙන්නට පුළුවන්. නිවෙස්වලට අමතරව පාසැල්, පෙර පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ආයතන, ඉදිකිරීම් ස්ථාන අප රට තුළ ඩෙංගු කීටයන් වැඩි වැඩියෙන් හමුවන තැන් බවට පත්ව තිබෙනවා. මෙවැනි, මදුරුවන් බෝවෙන ස්ථාන සොයා බලා විනාශ කරන අතරතුර මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමටත් පියවර ගත යුතුයි.

විශේෂයෙන්ම මදුරුවා වැඩිපුර ගැවසෙන වේලාවන්හි නිවසෙන් පිටතට යන විට ශරීරය ආවරණය වන ඇඳුම් භාවිතය , මදුරු විකර්ශක වර්ග භාවිතය, මදුරු දැල් වැනි වෙනත් ආරක්ෂණ උපාය මාර්ග භාවිතය මදුරුවා දෂ්ට කිරීමෙන් ඔබව ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

මේ සියලු කරුණු ගැන අවධානය යොමුකර අප මුහුණ දී සිටින දැඩි අවදානම් අවස්ථාවෙන් ඉක්මනින් මිදීමටත්, තව දුරටත් ජීවිත හානි ඇතිවීම වළක්වා ගැනීමටත් ලාංකික ඔබ සියලු දෙනා, ඉක්මන් පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

HPB

16/06/2023

📌අළුහම් හැදෙන්නේ ඇයි? 🤔
අළුහම් බෝ වෙනවද?

අළුහම්, පෙති ගෝමර, මල් ගෝමර කියලා සාමාන්‍යයෙන් හඳුන්වන ‍රෝගය වෛද්‍ය විද්‍යාත්මකව Pityriasis versiclor නැත්නම් Tinea Vesicolor තත්ත්වයයි.🥲

📍අළුහම් කියන්නේ මොකක්ද?🤔

අළුහම් කියන්නේ බහුලව හමුවන සම මතුපිට ඇතිවන දිලීර රෝගයක්😟
අපේ සාමාන්‍ය සමේ වාසය කරන දිලීර විශේෂයක් තමයි Malassezia කියන්නේ🙂 විවිධ හේතු හා තත්ත්ව නිසා මේ දිලීර වර්ධනය වැඩි වීමෙන් අළුහම් කියන රෝගය ඇතිවෙනවා😟

📍ඇයි අළුහම් හැදෙන්නේ?🤔

සාමාන්‍යයෙන් සමේ ඉන්න Malassezia කියන දිලීරයෙන් අළුහම් කියන රෝගය ඇතිවෙනවා.මේ දිලීරය නිපදවන රසායනික ද්‍රව්‍යයක් සමේ epidermis නම් ස්ථරය මත ක්‍රියා කිරීම නිසා එහි ඇති melanocytes නම් සෛල වර්ගයේ ක්‍රියාකාරීක්වය අඩු වීම නිසා සුදු පැහැති හෝ ලා පාට පැල්ලම් ඇතිවෙනවා.මෙහෙම දිලීරය සම මත සක්‍රීය වීමට පහත සාධක බලපානවා👇

01. ජානමය හේතු සාධක
ඔබේ පවුලේ අයට අළුහම් තිබෙනවා නම් ( විශේෂයෙන් දෙමාපියන්ට) ඔබට එය ඇතිවීමේ වැඩි අවධානමක් තියෙනවා🤔

02. උණුසුම්, ආර්ද්‍රතාවය වැඩි පරිසරය
සාමාන්‍යයෙන් තෙතමනය අධික පරිසර තත්ත්ව වලදී දිලීර ආසාදන ඇතිවීමේ වැඩි ඉඩක් තියෙනවා🤨 විශේෂයෙන්ම උණුසුම් කාලවලදී මේ අළුහම් ඇතිවීම වැඩිපුර දැක ගන්න පුළුවන්🥲

03. ප්‍රතිශක්තිය හීන වීම
සමහර රෝග සහිත පුද්ගලයින්ට ප්‍රතිශක්තිය අඩුවෙනවා🙂 ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමේදී ප්‍රතිශක්තිය අඩුවිමක් සිදුවෙනවා🙁 මේ නිසා සාමාන්‍ය සමේ ඇති දිලීර ආසාදනයක් දක්වා වර්ධනය වෙනවා🤨

04. මන්දපෝෂණය
05. ගර්භණීභාවය
06. තෙල් අධික ආලේපන භාවිතය

📍අළුහම් හඳුනාගන්නේ කෙසේද?🤔

අපේ සාමාන්‍ය සමේ වර්ධනයට වඩා වෙනස් ( තද පැහැ හෝ ලා පැහැති) රවුම් ආකාර හෝ ඕවලාකාර පැල්ලම් , පොකුරු ආකාරයෙන් ප්‍රධාන වශයෙන් උඩු කයේ දැකගන්න පුළුවන්🙂
මේ පැල්ලම් බෙල්ල, අත්, ඉකිලි, කිහිලි, කකුල් දක්වා පැතිරී යන්න පුළුවන්😟
සමහර අවස්ථා වලදී මේ පැල්ලම් සියුම් පොතු ආකාරයෙන් දක්නට ලැබෙනවා🥲
රස්නෙ කාලෙට මේ පැල්ලම් පැහැදිලිව දැකගන්න පුළුවන් අතරම දහඩිය සමඟ ඒ තැන්වල කසන සුලු බවක් සමහරුන්ට දැනෙනවා😟

ඔබේ අවධානයට👉

සමහර වෙලාවට මේ හා සමාන වෙනත් සමේ රෝග පවතිනවා🙂 උදාහරණයක් ලෙසට පොතු කබර රෝගය මේ ආකාරයෙන් දිස්වෙන්න පුළුවන්
සාමාන්‍ය ලාදුරු රෝගීන් නොදැනුවත්කමින් තමන්ට ඇත්තේ අළුහම් කියා සිතා ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කරගන්නවා😟

📍අළුහම් වලට බෙහෙත් මොනවාද?🤔

ප්‍රතිකාර ක්‍රමය අළුහම් රෝගයේ ත්‍රීව්‍රතාවය, පැතිරී ඇති ප්‍රමාණය මත තීරණය වෙනවා🙃

📍ආලේපන ක්‍රීම් භාවිතය

දිලීරනාශක ඖෂධ අඩංගු ආලේපන වර්ග භාවිතයෙන් මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්🙂 ගොඩක් දෙනා කරන වැරැද්දක් තමයි දින තුන හතරක් මේ ආලේපන භාවිතා කර ඉන්පසු නතර කරනවා😑 එය වැරදියි😑 බොහෝවිට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් භාවිතා කල යුතු වෙනවා🙂
පැල්ලම් අවට ප්‍රදේශයේ විශාල පෙදෙසක් ආවරණය වන පරිදි බෙහෙත් ආලේපන කිරීම කල යුතුයි🤨
හිසේ හා බෙල්ලේ පැල්ලම් ඇතිවිට ප්‍රතිදිලීර ඖෂධ අඩංගු ෂැම්පු භාවිතා කරනු ලබනවා🙂

📍ප්‍රතිදිලීර ඖෂධ භාවිතය

ප්‍රතිදිලීර ඖෂධ පානය කිරීමට සමහර රෝගීන්ට නිර්දේශ කරනවා🙂 ඖෂධ වර්ගය හා මාත්‍රාව රෝගී තත්ත්වය මත තීරණය වෙනවා🤨 මේ ඖෂධ නියම කරන ලද මාත්‍රාවෙන් සම්පූර්ණ කාලයම භාවිතා කල යුතු වෙනවා🤨

📍අළුහම් බෝවෙනවාද? 🤔

නැහැ.🙂 අළුහම් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවීම සිද්ධවන්නේ නැහැ🙂

📍අළුහම් සුවවී නැවත ඇතිවෙන්න පුළුවන්ද?🤔

ඔව්🙂 සාමාන්‍යයෙන් අළුහම් නැවත ඇතිවීමේ වැඩි ඉඩකඩ තිබෙන රෝගයක්🥲 මේ නිසා එවැනි රෝගීන්ට එය වළකාගැනීමට කඩින් කඩ ප්‍රතිකාර කිරිමට සිදුවෙනවා🙁

✍️සටහන

Dr.Hasanka Rajaguru
MO Dermatology
BH Kantale

16/06/2023

📌ඔබේ පුංචි දරුවා නින්දෙන් ගොරවනවාද?🤔
හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා නින්දෙන් අවදි වෙනවාද?🤔

සෙම්ගෙඩි කියන්නේ පුංචි දරුවන්ට නිතර වැළඳෙන රෝගී තත්වයක්😢 කුඩා දරුවන් වගේම දෙමාපියනුත් මේ තත්ත්වය නිසා පීඩා විඳිනවා😖 ඉතිං සෙම්ගෙඩි ගැන හරියටම දැනගන්න මේ ලිපිය කියවන්න🙂 මේ වටිනා වෛද්‍ය දැනුම ඔබට ලබා දෙන්නේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. සෙල්වරත්නම් වෛද්‍යතුමා විසින්🤗

📍 වෛද්‍යතුමනි, සෙම්ගෙඩි කියලා කියන්නෙ මොකක්ද?🤔

සෙම්ගෙඩි නැත්නම් ටොන්සිල් කියලා හඳුන්වන්නේ උගුරේ පසුපස පිහිටා ඇති පටකවල ගැටිතියි🙂 මේ ගැටිති උගුරේ දෙපැත්තෙන් පිහිටා තිබෙනවා. ඒ වගේම නාස් කුහරයේ පිටුපසින් ඇඩිනොයිඩ් ( Adenoid) කියන පටක කොටස පවතිනවා🙂 සෙම්ගෙඩි හා ඇඩිනොයිඩ් කියන්නේ අපගේ ශරීරයේ ඇති වසා පද්ධතියේ කොටසක්. සාමාන්‍යයෙන් ඇඩිනොයිඩ් දරුවාගේ වර්ධනය සමඟ වයස අවුරුදු පහක් හයක් පමණ වනවිට නැතිවී යනවා🙂
කුඩා දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමත් සමඟ ඇඩිනොයිඩ් විශාල වෙනවා.මේ තත්වය Adenoid hypertrophy කියලා හඳුන්වනවා. Adenoid hypertrophy නිසා නාසය අවහිර වෙන්න පුළුවන්. සමහර වෙලාවට සෙම්ගෙඩි විශාල වීම නිසා හා ඇඩිනොයිඩ් විශාල වීම යන දෙකම නිසාවෙන් නාසය හිරවෙන්න පුළුවන්😖

📍ඉතිං වෛද්‍යතුමනි සෙම්ගෙඩි ඇතිවීමට හේතු මොනවාද?🤔

දරුවාගේ උගුරේ සෙම්ගෙඩි ඇතිවීම බැක්ටීරියා නිසා මෙන්ම වෛරස් ආසාදන නිසාත් සිදුවෙන්න පුළුවන් 🤨
උගුර ආශ්‍රිතව සෙම්ගෙඩි ඇතිවන්නේ Streptococcus pyogens කියන බැක්ටීරියාව නිසාය🙂
මීට අමතරව,
ප්‍රතිශක්තියේ දුර්වලතාවයන්🫠
සීතල ආහාරපාන🍧
සීතල පරිසරයක ජීවත් වීම🌨️
ආදී හේතු බලපානවා.🙂

📍මේ විදියට සෙම්ගෙඩි විශාල වීමෙන් දරුවාට ඇතිවන ගැටළු මොනවාද?🤔

•උගුරේ වේදනාව 😩
• ආහාර ගිලීමේ අපහසුතාවය 😖
• සෙම්ගෙඩි වටා කහ හෝ සුදු ග්ලේස්මල ඇතිවීම🙁
• බෙල්ල ප්‍රදේශයේ ඉදිමුම😟
වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා😑

ඒත් එක්කම මේ නිසා දරුවාට ගැටළු රාශියක් ඇතිවෙන්න පුළුවන්

නාස් කුහරය අවහිර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය දරුවාට ඇතිවෙනවා😣 මේ නිසා දරුවා කටින් හුස්ම ගැනීම සිදුකරනවා. මේකට අපි Mouth Breathing කියලා කියනවා.
දරුවාට නින්ද ගිය පසු මෙහෙම හුස්ම හිරවීම නිසා දරුවා හුස්ම ගැනීමේ අපහසුවක් සමඟම නින්දෙන් අවදිවෙනවා😟 රාත්‍රී කාලයේදී කිහිප වතාවක්ම මේ විදියට හුස්ම හිරවී නින්දෙන් අවදි වෙනවා🤨 මේක අපි sleep apnea කියලා හඳුන්වනවා.
සාමාන්‍යයෙන් පුංචි දරුවන් නින්දෙන් ගොරවන්නේ නැහැ🙂 ඒත් මේ ආකාරයට ඇඩිනොයිඩ් විශාල වීම නිසා නින්දෙන් ගොරවන්න පුළුවන්.

📍 විශේෂඥ වෛද්‍යතුමනි, මේ ආකාරයට බැක්ටීරියා නිසා හටගන්න සෙම්ගෙඩි නිසා අතුරු ආබාධ හෝ සංකූලතා ඇතිවෙනවාද?🤔

සෙම්ගෙඩි නිතර නිතර ඇතිවෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනී🤨
සෙම්ගෙඩි නිසා ඇතිවන සන්ධි ප්‍රදාහය හේතුවෙන රුමටික් ආතරිටිස් (Rheumatic arthitis )හා රුමටික් උණ🤒 (Rheumatic fever) යන රෝග වැළඳෙන්න පුළුවන්🙃
මේ රුමටික් උණ තත්ත්වය සමඟ හෘදය වස්තුවට බලපාන Carditis නම් තත්ත්වය ඇතිවීමෙ අවදානමක් දරුවාට තිබෙනවා🥲
පුංචි දරුවන්ගේ වකුගඩු වලටත් නිතර නිතර සෙම්ගෙඩි ඇතිවීමෙන් බලපෑමක් එල්ල වෙන්න හැකියාවක් තිබෙනවා🙃
වකුගඩු ආශ්‍රිතව ඇතිවන මේ තත්ත්වය Acute glomerular nephritis කියලා හඳුන්වනවා.
එවැනි අවස්ථාවකදී,
• මූත්‍රා රතු පැහැති වීම
• මූත්‍රා කිරීමේදී පිටවන වේගය හා පීඩනය අඩු වීම.
• උණ
වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා.

මේ වකුගඩු රෝගී තත්ත්වය නිසා පුංචි දරුවන් අධිරුධිර පීඩනය වැළඳීමේ හැකියාවක් තියෙනවා🤨

📍ඉතිං වෛද්‍යතුමනි, මේ සෙම්ගෙඩි සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?🤔

බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සිදුවෙනවා🙁 වෛරස් ආසාදනයකදී සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාදෙනවා🙂
නමුත් මේ ඖෂධ ප්‍රතිකාර වලින් සුවයක් නොලැබෙනවානම් හෝ නිතර නිතරම ආසාදනය වෙනවා නම් සෙම්ගෙඩි ඉවත්කිරීම ශල්‍යකර්මයක් මඟින් සිදු කරනවා🙂

📍ශල්‍යකර්මයක් කිව්වම අපේ අම්මලා ටිකක් බයවෙන කාරණාවක් ඔබතුමා මේ ශල්‍යකර්මය පිළිබඳව විස්තර ඉදිරිපත් කලොත් එහෙම අනවශ්‍ය බියක් ඇතිකර ගන්නේ නැතිවෙයි🙃

මෙහිදී ශල්‍යකර්මයක් මඟින් Adenoid ඉවත් කිරීම සිදුකරනවා. මෙහෙම Adenoid ඉවත් කිරීමෙන් දරුවාට කිසිම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ🙂 මෙයින් දරුවාට පහත වාසි ලැබෙනවා👇

• දරුවාට රාත්‍රියට සුව නින්දක් උරුම වෙනවා☺️ එහෙම උනාම දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය වගේම ඉගෙනීමේ කටයුතුත් අපහසුවකින් තොරව ප්‍රබෝධයෙන් සිදුකරනවා🙂
• දරුවා කටින් හුස්ම ගැනීම අඩුවී යන නිසා එසේ කටින් හුස්ම ගැනීමෙන් කිරි දත් වල ඇතිවන විකෘතිතාවය නැතිවී දත් ඉදිරියට නෙරා ඒමත් නැතිවෙනවා🙂
•. ශ්‍රවනය හා කථනය සම්බන්ධ ගැටළු සමථයකට පත්වෙනවා🙂

✍️සාකච්ඡා මෙහෙයවීම

Punya Chandani De Silva

විශේෂඥ අදහස් දැක්වීම
Consultant ENT and Head and Neck surgeon
Dr. S Selvarathnam
Kandy.


09/06/2023

ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හදුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබදවයි.

සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,
1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,
suwasawana@health.gov.lk ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,
1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.

සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

09/05/2023

මෑත කාලයේ අහන්නට දකින්ට ලැබුනු සිදුවීම් එක්ක, උණක් හැදුණොත් අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ මේක සාමාන්‍ය වෛරස් උණක් ද ? නැතිනම් ඩෙංගු වෙන්න පුළුවන් ද ? එහෙමත් නැත්නම් කොරෝනා තත්වයක් වෙන්න පුළුවන්ද කියල නේ ද?

නමුත්, ඔබ මැලේරියා අවදානම තවමත් පවතින රටකට ලඟක දී ගිහින් ආ කෙනෙක් නම්, ඔය උණ තත්වය මැලේරියාව වෙන්නත් පුළුවන් කියන එක කිසිවිටෙකත් අමතක කරන්න එපා.

අපි මේ සිහිපත් කිරීම කරන්නට සති දෙකකට පමණ කලින්, ලංකාව තුළ මැලේරියා මරණයක් වාර්තා වුණා. මැලේරියාවෙන් මෙවැනි ජීවිත හානියක් ලංකාවේ අවසාන වරට වාර්තා වුණේ මීට අවුරුදු දාහතරකට පෙර.


මැලේරියාව තුරන්කල රටක් වෙන ශ්‍රී ලංකාව තුළ දී තවදුරටත් මැලේරියාව බෝ වීම සිදු නොවුණත්,

- අප්‍රිකානු
- ආසියානු
- ඩොමිනිකන් රජය / හයිටි
- මැද පෙරදිග ඇතැම් කලාප
- ඇතැම් පැසිපික් දූපත්

වැනි,

රෝගය ව්‍යාප්තව පවතින කලාපයක සංචාරය කරන අවස්ථාවක පහසුවෙන්ම අප එයට ගොදුරු විය හැකියි.

මැලේරියා පරපෝෂිතයා ආසාදිත ඇනෝපිලිස් මදුරුවෙකුගේ දෂ්ටනයකට ලක් වුවහොත් සාමාන්‍යයෙන් දින 10 - 15 ත් අතර කාලයක දී රෝග ලක්ෂණ ඇති වෙනවා. එනමුත් ඇතැම් පුද්ගලයන්ට මැලේරියාව ආසාදනය වී මාස ගණනක්, ඇතැම් විට වසර කිහිපයක් ගත වූ පසු රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව මැලේරියා අවදානම සහිත රටක සිට පැමිණි ඔබ, වසර තුනක් ගතවන තුරු උණ රෝග තත්ත්වයන් වැළඳෙන අවස්ථා වල දී මැලේරියාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.

උණ රෝග තත්ත්වයක දී ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාට ඔබෙන් විමසනතෙක් නොසිට, මැලේරියාව පැතිර පවතින රටක සිට ඔබ පැමිණියේ නම් ඒ බව පැවසීමෙන්, නොපමාව මැලේරියා පරපෝෂිතයා හඳුනාගැනීමේ රුධිර පටල පරීක්ෂණයකට [ Malaria Parasite (MP) Test] යොමු කිරීමට පුලුවන්. කල් වේලා ඇතිව රෝගය හඳුනා ගතහොත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දී මාරාන්තික තත්වයන් හා සංකූලතාවයන් වළකාගැනීමට හැකියාව තිබෙනවා.

ඔබෙත් ඔබේ ආදරණීයයන්ගේත් වටිනා ජීවිත ආරක්ෂා කර ගැනීමට මෙම පියවර දැඩිව පිළිපදින අතරේ, මෑතක දී මැලේරියා අවදානම් රටවල සිට පැමිණි ඔබගේ හිතවතුන් සමග මේ පණිවිඩය බෙදා ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

HPB

Address

MOH Office Rasnayakapura
Nikaweratiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 13:00

Website

https://fhb.health.gov.lk/, http://www.hpb.health.gov.lk/

Alerts

Be the first to know and let us send you an email when MOH Rasnayakapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram