06/01/2022
වයඹට පින්කෙතක් වූ ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙන
------------------------------------
වයඹට පින්කෙතක් වූ ද අධ්‍යාපනයට කෙම්බිමක් වූ ද ගොකරැල්ල පොල්ගොල්ල පිංගල්පොත්ත රජ මහා විහාරය වූ කලී මහනුවර රාජධානි සමයෙහි දී කීර්ති ශ‍්‍රී රාජසිංහ නරේන්ද්‍රයන් විසින් වල්පොල ශ‍්‍රී සිද්ධාර්ථ නම් වූ යතින්ද්‍රයාණන් වහන්සේට තුඩ පතකින් පවරනු ලැබූ බිම් වරයකි. රජතුමන් විසින් මෙම භූමිය පවරනු ලැබ ඇත්තේ භික්ෂූන් වහන්සේගේ විනය කර්ම කරනු සඳහා ය. ඒ සමගම අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ද මෙම ස්ථානය ප‍්‍රසිද්ධියට පත්විය.
වල්පොළ ශ‍්‍රී සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇවෑමෙන් ගනීමුල්ලේ සුමන නම් යතිවරයෙක් ද අනතුරුව තම්මිට ධම්මපාල, උඩතම්මිට සෝභිත වැනි තෙරවරුන්ගේ කීර්තිය මුළු මහත් හිරියාල සිසාරා පැතිර ගියේය. පිංගල්පොත්ත රජමහා විහාරය ඉතිහාසය පිඩු කොට දැක්වීමේ දී තම්මිට ධම්මපාල අනුනාහිමියන් ගේ සුප‍්‍රකට නාමය අමතක කළ නොහැකිය. ස්ථාවර විහාරස්ථානයක් ලෙස දෙමහල් විහාර මන්දිරයක් සහ මහනුවර යුගයේ ප‍්‍රකට ප‍්‍රතිමාලක්ෂණයක් වූ මැටි මුවා පිළිම ශෛලිය අනුගමනය කරමින් පිළිම නෙළීම සහ දැනට පවත්නා චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීමද උන්වහන්සේ අතින් ම සිදු විය. චෛත්‍ය රාජයාණන් වහන්සේ ශෛලමය නිර්මාණයක් ලෙසින් උන්වහන්සේ විසින් ම නිර්මාණය කොට ඇත.
අසාමාන්‍ය චතුර දේශකයෙක් වූ උන්වහන්සේ විහාරස්ථානයේ ඉදිරි පැවැත්ම සඳහා අවශ්‍ය වූ සකලාංග පරිපූර්ණ කළහ. රජතුමාගේ පරිත්‍යාගවලට අමතරව මෙම විහාරස්ථානය වෙත ලැබුණු ඉඩකඩම් බොහොමයක් මුන්වහන්සේගේ පාරම්පරික ඉඩකඩම් වෙයි. තම්මිට ධම්මපාල සහ පොල්ගොල්ලේ සුනන්ද තෙරවරුන්ගේ ශිෂ්‍ය වූ පොල්ගොල්ලේ ශ‍්‍රී ධර්ම රක්ෂිත සිරි සුමංගල තෙරණුවෝ ද කීර්තිධර ධර්ම දේශකයෙක් වූහ. උන්වහන්සේගේ ශිෂ්‍ය උඩතම්මිට ශ‍්‍රී ධර්මරක්ෂිත සිරි සුමංගල විමලසාර ඉහළ දොලොස්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ පොල්ගොල්ල පිංගල්පොත්ත රජමහා විහාරය අද පවත්නා ස්ථාවර තත්ත්වයට වැඩි දියුණු කළ සංඝනේතෘවරයාණෝ වෙති.
මේ වනවිටත් අවිධිමත් ව මෙහි පවත්වාගෙන ආ භික්ෂූ අධ්‍යාපනය විධිමත් කිරීම උදෙසා 1941 මැයිමස 5 වැනිදා ශාස්ත‍්‍රාරවින්ද නමින් පිරිවෙනක් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී. ඒ සඳහා උන්වහන්සේට ආරාධනා කරන ලද්දේ එවකට මංමාවත් හා කර්මාන්ත භාර අමාත්‍යවරයා වූ ද පසුකලෙක අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වූ මහාමාන්‍ය ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන් විසිනි. වසර දෙකක් තිස්සේ ම එතුමාගේ ධන පරිත්‍යාගයෙන් පිරිවෙන පවත්වාගෙන එන ලදී. 1943 දී කොතලාවල මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් විසින් එහි කටයුතුවලට අනුග‍්‍රහය දක්වන ලද අතර 1973 දක්වා ප‍්‍රදේශයේ මන්තී‍්‍රවරයා සහ උප දිසාපතිවරයා මෙම පාලක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.
1973 මාර්තු මස 1 වැනිදා උඩතම්මිට ශ‍්‍රී ධර්මරක්ෂිත සිරි සුමංගල විමලසාර නායක මාහිමිපාණෝ අපවත් වී වදාළහ. උන්වහන්සේ අපවත් වන විට විවිධ කුසලතාවන්ගෙන් හෙබි 28 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් සහ සිය ගණනක් සිසු දරුවන්ගෙන් ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙන බැබලෙමින් පැවතුණි.
භික්ෂු අධ්‍යාපනය
වර්තමානයෙහි මෙම පිරිවෙන පළමු වසරේ පටන් උපාධිය දක්වා අධ්‍යාපනය ලබා දෙන විද්‍යා, කලා, වාණිජ, කෘෂිවිද්‍යා, කර්මාන්ත තාක්ෂණය, පරිගණක, භාෂා ශාස්ත‍්‍ර වැනි සංවර්ධනය වන රටකට අවශ්‍ය විෂයයන්ගෙන් ගිහි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙන්නා වූ ද බෞද්ධ දර්ශනය, සමයාන්තර දර්ශන, පාලි සංස්කෘත, චන්දෝලංකාර, වැනි පාරිවේණික අධ්‍යාපනයෙන් සහ නූතන භාෂාවන්ගෙන් සහ තාක්ෂණික ඥානයෙන් පරිපූර්ණ භික්ෂූ අධ්‍යාපනයක්ද ලබා දෙන විද්‍යාස්ථානයක් බවට පත්ව ඇත.
හිරියාල වැනි දුෂ්කර ප‍්‍රදේශයක ජීවත් වන දරුවන්ට නගරයේ දරුවන්ට ලැබෙන වරප‍්‍රසාද ලබාදෙන ඉංග‍්‍රීසි මාධ්‍ය අංශයන්ද සිසුවියන්ට අධ්‍යාපනය හැදෑරීමට දේවපාල විද්‍යාලය නමින් රජයේඅනුමත පාසලක්ද, ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක්ද වර්තමානයෙහි ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙනට අනුබද්ධව පවත්වාගෙන යනු ලබයි. එබැවින් වයඹ පළාතේ ආදර්ශ අධ්‍යාපන ආයතනයක් ලෙස මෙම ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙන් විද්‍යායතනය සැලකීමට අධ්‍යාපන බලධාරීන් බොහෝවිට උත්සුක වෙයි.
මෙම ප‍්‍රගතියෙහිලා පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මීට වසර දහතුනකට පෙර අපවත් වී වදාළ ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙන් විද්‍යායතනාධිපති රඹුක්වැල්ලේ ප‍්‍රඥාසාර ඉහළ දොලොස්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේට ය. ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙනෙහි ප‍්‍රගමනය උදෙසා උන්වහන්සේගේ කැපවීම සහ නිවැරැදි නායකත්වය මිල කළ නොහැකි ය. ලක්දිව පිරිවෙන් ඉතිහාසයෙහි කිසිදා නොවෙනස් කළ හැකි අයුරින් 1986 වසරේ ප‍්‍රථම වරට පිරිවෙනක මහපොළ අධ්‍යාපන සංදර්ශනයක් පවත්වන්නට උන්වහන්සේට හැකිවිය. කුඩා සිරුරකින් හා මනා පෞරුෂත්වයකින් හෙබි වූ පඤ්ඤාසාර හිමියන් වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ පොල්ගොල්ලේ පණ්ඩිත හාමුදුරුවෝ යන ගෞරව නාමයෙනි.
ශාස්ත‍්‍රාලාභයෙහි නොසන්සිදුණු පිපාසයකින් හෙබි උන්වහන්සේ නව දැනුම නිරතුරුව ගවේෂණය කළහ. ශිෂ්‍ය ප‍්‍රජාව විශ්ව දැනුමෙන් පෝෂණය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම උන්වහන්සේගේ අපේක්ෂාව විය. වහිනා වැස්සෙන් සිය කුටිය තෙමෙද්දී සිසු දරුවන්, දැනුම් වැස්සෙන් තෙමෙන්නට දෙමහල් තෙමහල් ගොඩනැගිලි ඉදි කළ උන්වහන්සේ ඔවුන් සමාජයේ ඉහළට යනු බලා අප‍්‍රමාණ සතුටට පත්වූහ.
තීක්ෂණ බුද්ධිය
තීක්ෂණ බුද්ධියකින් හෙබියා වූ රඹුක්වැල්ලේ පඤ්ඤාසාර නාහිමිපාණන් වහන්සේගේ අනාගත දැක්ම ඉතා පුළුල් විය.
යුද්ධයක් හෝ අඩුම තරමින් සිංහල - දෙමළ භේදයක් වත් දැඩිව නොපැවැති හැත්තෑව දශකයේ මැද භාගයේ පටන් ශාස්ත‍්‍රාරවින්ද පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට දෙමළ භාෂාව ඉගැන්වීමට උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී. ඒ සඳහා යාපනයෙන් පවා ගුරුවරුන් ගෙන්වා ගත්හ. ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් සිංහල භාෂාවෙන් පමණක් අධ්‍යාපනය හැදෑරීම ප‍්‍රමාණවත් නොවන බව මනාව අවබෝධ කරගත් රඹුක්වැල්ලේ පඤ්ඤාසාර නාහිමිපාණෝ 1985 දී පමණ ඉංග‍්‍රීසි මාධ්‍ය අංශයක් සිය පිරිවෙනෙහි ආරම්භ කළහ.
අතීතයෙහි ලක්වැසියා ගමේ විහාරස්ථානය හා බැඳ තැබූ ආයුර්වේද වෙදකම හා ඡ්‍යොතිෂය කටයුතු පුනර්ජීවනයට පත්කිරීමෙහි ඇති අත්‍යවශ්‍ය බව උන්වහන්සේ මැනවින් වටහා ගත්හ. ඒ අනුව පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන පැවිදි සිසුන්ගේ විෂයයන් අතරට ආයුර්වේද සහ ඡ්‍යොතිෂය ද ඇතුළත් විය. උන්වහන්සේගේ උත්සාහය සහ උනන්දුව හේතුවෙන් ආගමික පරිසරයක් තුළ බාලිකාවන්ට අධ්‍යාපනය හැදෑරීමට දේවපාල නමින් බාලිකා පාසලක් ආරම්භ කිරීමට හැකිවිය. වර්තමානය වන විට එහි ශිෂ්‍යාවන් දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරණ අතර ගුරුවර ගුරවරියන් හතළිහක් පමණ ඔවුනට ශිල්ප ලබා දෙති.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
ඉදිරිපත් කිරීම Behetha.com
=අපේ බෙහෙත්= වලට වටිනාකමක් දෙමු.