03/09/2021
යූරීන් 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞 යූරීන් 𝐅𝐮𝐥𝐥 𝐑𝐞𝐩𝐨𝐫𝐭
මුත්‍රා රෝග හෝ මුත්‍රා ආසාදන අද බොහෝ දෙනෙක් අතර ඉතා සුලබ තත්ත්වයක්. කුඩා දරුවන් සේම වැඩිහිටියන් අතරත් බහුලව ඇතිවන මෙවැනි තත්ත්වයකදී ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂණ දෙකක් හදුනා ගත හැකියි. ඒ, මූලික මුත්‍රා පරීක්ෂාව (Urine Full Report) හා මුත්‍රා කල්චර් පරික්ෂාවයි.
මේ පරීක්ෂණ දෙක සිදුකළ යුත්තේ කුමන තත්ත්වයකදී ද, මේ පරීක්ෂණ හරහා හඳුනා ගත හැකි රෝග තත්ත්ව මොනවාද යන්න හඳුනා ගැනීම ඒ අනුව වැදගත් විය හැකියි. මුත්‍රා රෝග සම්බන්ධ පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. එම පරීක්ෂණ මුත්‍රා, ලේ ආදිය මගිනුත් ස්කෑන් හා එක්ස් රේ පරීක්ෂණ හරහාත් සිදුකළ හැකියි. ම්‍රත්‍රා රෝගයක් ගැන සැක කළ අවස්ථාවකදී සිදුකරන සුලබ පරීක්ෂණය මූලික මුත්‍රා පරීක්ෂණයයි.
UFR එකක් සඳහා දවසේ ඕනෑම වේලාවක සාම්පලයක් ලබා දිය හැකියි. ඒ සදහා කිසිදු පෙර සූදානමක් අවශ්‍ය නොවේ. මූලික මුත්‍රා පරීක්ෂණයක් ඇසුරෙන් මුත්‍රා ආසාදනයකදී සිදුවන විවිධ වෙනස්වීම් හඳුනාගත හැකියි. එවැනි මුත්‍රා සාම්පලයක පැසවූ සෛල (Pus cells) බහුලව තිබෙනවානම් එය මුත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇති බව හඟවයි. ඊට අමතරව UFR පරික්ෂාවකින් මුත්‍රා සමඟ ලේ පිටවීමක් සිදුවනවාද යන්න හඳුනා ගත හැකියි.
ලබාගත් මුත්‍රා සාම්පලයේ රතු සෛල දක්නට ලැබුණොත් එය මුත්‍රා සමඟ ලේ පිටවන බවට ලැබෙන සලකුණක්. මුත්‍රා සමග රතු සෛල පිටවීමක් වන්නේ එක්කෝ මුත්‍රා මාර්ගයේ ආසාදනයක්, වකුගඩු රෝගයක් හෝ පිළිකා තත්ත්වයක් නිසාත් විය හැකියි. අප ලබා ගන්නා ආහාර හේතුවෙන් ද මුත්‍රාවල පැහැය වෙනස් විය හැකි නිසා මුත්‍රාවල පැහැය, රෝග විනිශ්චය සදහා ස්ථීර සාධකයක් නොවේ. (උදා: රතු පැහැති ආහාර පාන ලබා ගැනීමෙන් මුත්‍රාවල පැහැයේ වෙනසක් ඇතිවේ) එනිසා ඉහත රෝග තත්ත්ව හඳුනා ගැනීමට මූලික මුත්‍රා පරීක්ෂණයක් UFR එකක් මගින් ඉතා වැදගත් තොරතුරු අනාවරණය කරනවා.
මුත්‍රාවල ප්‍රෝටින්
මුත්‍රා සමඟ ප්‍රෝටින් පිටවන ප්‍රමාණය අනුව යම් රෝග තත්ත්ව පිළිබඳ විනිශ්චයකට පැමිණීමට පුළුවන්. විශේෂයෙන් වකුගඩු රෝගවලදී මුත්‍රා සමඟ ප්‍රෝටින් පිටවීම වැඩිවිය හැකියි. සෙංගමාලය වැනි තත්ත්වයකදී යූරින් බයිල් පිටවීමක් සිදුවන අතර, UFR පරික්ෂාවකින් එවැනි තත්ත්වයක්ද නිරීක්ෂණය කළ හැකියි.
මුත්‍රා කල්චර් පරික්ෂාව
මුත්‍රා ආසාදනයක් පිළිබඳව සැක කළ අවස්ථාවකදී මූලික මුත්‍රා පරීක්ෂණයක් හරහා ලබා ගන්නා වාර්තාවක පැසවූ සෛල , ප්‍රෝටින ස්වල්ප වශයෙන් හෝ රතු සෛල පෙන්නුම් කර තිබුණොත් ඒවා මුත්‍රා ආසාදනයක් පිළිබඳ තහවුරු කරන සාධක හැටියට පිළිගත යුතුයි. මුත්‍රා පරීක්ෂණ වාර්තාවේ මෙවැනි සාධක පෙන්නුම් කිරීමට අමතරව තද උණ හෝ ඇඟ සීතල කොට උණ ගැනීමක්, යටි බඩේ කැක්කුමක්, කොන්දේ දෙපැත්තේ වේදනාවක් සහ එය යටි බඩ පුරා පැතිරී යනවානම් හෝ මුත්‍රා පිටවන වාර ගණන වැඩි වනවානම්, මුත්‍රා දැවිල්ලක් හෝ මුත්‍රා දුඹුරු පාට නම් ඒවා ද මුත්‍රා ආසාදනයක ලකුණුයි.
එවැනි අවස්ථාවක ඊට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට ප්‍රථමයෙන් කළ යුතුම පරීක්ෂණයක් වනුයේ මුත්‍රා කල්චර් පරික්ෂාවයි. මෙහිදී කරන්නේ මුත්‍රාවල ඇති විෂබීජ වගා කිරීමයි. මෙහිදී මුත්‍රාවල ඇති විෂබීජ පමණක් හඳුනා ගැනීම හෝ තහවුරු කර ගැනීම වැදගත්වන නිසා මුත්‍රා සාම්පලයට අවට පරිසරයේ විෂබීජ එක් වීම හැකිතාක් වළක්වා ගැනීම වැදගත්. ඒ නිසා ලබා ගන්නා සාම්පලය පිරිසුදුව හා නිවැරදිව ලබාගත යුතුයි.
මුත්‍රා සාම්පලයක් එකතු කරන්නේ කොහොමද?
දෑත් සෝදා පිරිසුදුව මුත්‍රා පිටකරන ප්‍රදේශය හොඳින් සෝදා රසායනාගාරයකින් ලබාගත් ජීවානුහරණය කරනලද විශේෂ භාජනයකට මුත්‍රා එකතු කළ යුතුයි. මුත්‍රා එකතු කිරීමේදී මුලින් ඉවත්වන මුත්‍රා කොටස බැහැර කර පසුව පිටවන මුත්‍රාවලින් කොටසක් එකතු කරන්න. ලබාගත් මුත්‍රා සාම්පලය හැකි ඉක්මනින් රසායනාගාරයට භාරදීම වැදගත් වන අතර රසායනාගාරයක් තුළදීම සාම්පලයක් එකතු කර භාරදීම ඉතාම සුදුසුයි.
මුත්‍රා කල්චර් පරීක්ෂණයක් හරහා විෂබීජය වගා කිරීමෙන් ආසාදනයට හේතු වූයේ කුමන විෂබීජයක්ද යන්න නිවැරදිව තහවුරු කරගත හැකි අතර එම විෂබීජයට අදාළ ප්‍රතිජීවකද හඳුනාගත හැකියි. ඒ අනුව කල්චර් පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට හැකියාවක් තිබෙන අතර කල්චර් පරීක්ෂාව හරහා නිශ්චිත විෂබීජය හඳුනා ගැනීමෙන් එතෙක් ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ හෝ නිශ්චිත විෂබීජයට ආදාළ ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් ආසාදනය මර්දනය කළ හැකියි.
උපුටා ගැනීම - සමුද්‍රිකා වර්ණකුල