15/10/2025
රතගාය
රතගාය යනු රක්ත දූෂණය හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි.
මෙය දේශීය වෙදකමේ සඳහන් වන රෝගයකි. " ලේ නරක් වීමෙන් ඇති වන රෝග " ලෙස සරලව දැක්විය හැකි අතර පොඩි දරුවන්ට ඇති රෝග බොහොමයකට මෙම නාමය යෙදී ඇත. සමහර ළදරුවන් ඉපදෙන විටම රතගාය වැනි තත්ත්වයන් තිබෙනු දැක ගත හැකිය.
එය ඇති වන ස්ථානය අනුව බාහිර හා අභ්‍යන්තර ලෙස කොටස් දෙකකි.
බාහිර රතගාය
ඇති වන ස්ථාන ලෙස හිස, මුහුණ, බෙල්ල, අත්, පාද, ඉකිලි, වෘෂණකෝෂ ආශ්‍රිතව හෝ මුළු ශරීරය පුරාම ලෙස දැක්විය හැකිය.
විවිධාකාර අන්දමේ බිබිලි, ගඩු, ගැටිති ආදිය සම මත ඇති කරයි.
ඉදීමීම ඇති විය හැක.
කැසීම බහුල වේ.
දැවිල්ල තිබිය හැක.
වසා ගැටිති ඉදිමීම ද සිදු විය හැක.
අභ්‍යන්තර රතගාය
උණ
අතීසාරය හෝ මළ බද්ධය
බඩ පුරවා දැමීම
මුඛය වියළීම
නින්ද නොයාම
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය ආදී ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග
මීට අමතරව රෝග ලක්ෂණ අනුව රතගාය මෙසේද දැක්විය හැකිය.
ලේරත
මල්රත
වදමල්වන් රත
නාරත
ගල් රත
ඉසේ අල්ලන රත
කනේ අල්ලන රත
පිටේ අල්ලන රත
දුවන පනින රත
පණු රත
මාන්දම් රත
වලිප්පු රත
කසන රත
රතගාය ඇති වීමට බලපාන හේතු
ගර්භණී මවට හා මව්කිරි දෙන මවට අදාළව පහත හේතු දැක්විය හැකිය.
1. තමක ශ්වාස, කුෂ්ඨ, පීනස, ආසාත්මිකතා ආදී රෝග වලින් මව පෙළීම.
අහිතකර ආහාර භාවිතා කිරීම.
2. සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් පැවතීම.
3. තරහව, බිය, ක්‍රෝධය වැනි මානසික තත්ත්ව බහුල අයෙක් වීම.
ළදරුවාට අදාළ හේතු මෙසේය.
1. ලබා දෙන මව්කිරි දෝෂ සහිත වීම,
2. සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර ලබා ගැනීම.
3. පෝෂණ ඌණතා සහිත වීම.
4. ක්‍රිමි රෝග සහිත වීම.
සහජ රෝග පැවතීම.
රතගාය ආශ්‍රිත ප්‍රතිකාර, රෝගය වළක්වා ගැනීම හා රෝගය වැළඳුණු පසු සිදු කරන ප්‍රතිකාර ලෙස කොටස් දෙකකට දැක්විය හැකිය.
රතගාය ඇති වීම වළක්වා ගැනීම පිණිස ගර්භණී මවට මෙන්ම අලුත උපන් නිරෝගී ළදරුවන්ට ද ඖෂධ ලබා දෙනු ලබයි.
එමෙන්ම රෝගය වැළඳුණු දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී ද දරුවාට මෙන්ම මව්කිරි ලබා දෙන මවටද ඖෂධ ලබා දීම සිදු කෙරේ.
මෙහිදී ළදරුවන් සඳහා භාවිතා කරනු ලබන ප්‍රධානම අභ්‍යන්තර ඖෂධය වන්නේ රත කල්කයයි.
(රත කල්කය පිළිබඳ සවිස්තරාත්මක කරුණු රැසක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.)
ඉහත සඳහන් කළ පරිදි ඉපදී සති දෙකක් ගත වන නිරෝගී ළදරුවන්ට රත කල්කය ලබා දීමෙන් ඔවුන් ඉදිරි කාලයේදී රතගාය ආශ්‍රිත රෝග තත්ත්ව වලට පත් වීමෙන් වළක්වා ගත හැකිය.
මෙහිදී රත කල්කය ලබා දීමට දරුවා සුදුසු වේද නොවේද යන වග, ලබා දිය යුතු මාත්‍රාව හා අනුපාන, ලබා දිය යුතු වේලාව සහ කාල සීමාව පිළිබඳව නිසි අවබෝධයක් සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් ය.
ඒ සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඔබේ ළදරුවාට ඉතා හිතකර වනු ඇත.
සටහන: ආයුර්වේද වෛද්‍ය නිමේෂිකා මඩිතියවල.
BAMS (Hons)
University of Colombo